නිර්මලා : සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක් වී



නිර්මලා රණතුංග ලාංකේය ගීත ඉතිහාසය තුළ නිරන්තරයෙන් පෙනෙන නොපෙනෙන දුරක සිටින චරිතයකි. ඇය නිරතුරුව , සෑම මොහොතක ම දක්නට නැත. නමුත් නිර්මලා ගැයූ ගී කාලයේ වැලිතලාවට යටපත් වන්නේ ද නැත. නිර්මලා විෂයයෙහි දක්නට ලැබෙන සුවිශේෂීතාව වන්නේ ඇයගේ ජනප්‍රිය ගීත අතරින් බොහොමයක් යුග ගීත වීම ය. ලක්ෂ්මන් විජේසේකර සමග ගයන "මේ ප්‍රේම සීමා මාලකේ" "ඔබ මට තරුවකි" සහ "පාවේදෝ බිඳී ඈත ප්‍රේම ප්‍රාර්ථනා" වැනි ගී ද , වික්ටර් රත්නායක සමග ගයන "පොඩි විහඟ තුඩේ" , සෙව්වන්දි රණතුංග සමග ගයන "සිනා මල් ගොඩක්" ඒ අතරින් විශේෂිත ය. නිර්මලාගේ යුග ගී මාලාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ගීතය ලෙස හැඳින්විය හැක්කේ ඇය 1993 වසරේ තිරගත වූ "ගුරු ගෙදර" චිත්‍රපටයට අමරසිරි පීරිස් සමග ගැයූ "මගෙ මන්ද්‍රි නම් බිසෝ" ගීතය ය. එම නූර්ති ගීත. මේ තාක් බොහෝ දෙනෙක් ගේ හඬින් අසා තිබුණ ද අමරසිරි - නිර්මලා සුසංයෝගයට අභියෝග කළ හැකි ගැයුමක් අද වන තුරු අසා නැත්තෙමි. 1994 වසරේ ස්වර්ණ සංඛ සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වන්නට තරම් නිර්මලා රණතුංග ගේ මනා සංයමයකින් යුතු ගායනය කැපී පෙනිණ. 

රත්මලේ බන්දුල ගුණවර්ධන යනු රණතුංග පවුලේ ගායිකාවන් සමග නිතරම කියැවෙන නමකි. "කොළොම්තොටින් නැව් නැග්ගා" නම් ආන්දෝලනාත්මක විරෝධාකල්ප ගීතය සමග ගීත රචනයට පිවිසුණ හෙතම "රත්මලේ බන්දුල" සලකුණ තහවුරු කරන්නේ "වසන් කරන්නට බෑ මට" නම් ගීතය සමගිනි. පසුකාලීන ව සෙව්වන්දි රණතුංග ගායිකාවක් බවට අභිෂේක කළ "සිනා මල් ගොඩක්" ලියූ මේ ප්‍රතිභාපූර්ණ ගීත රචකයා අදටත් ගාල්ල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරියෙක් ලෙස සේවය කරන්නේ ය. මහා සමාජයෙන් වියුක්තව වෙසෙන්නෙකුයැයි සිතෙන තරමට නිහඬව නිර්මාණකරණයේ යෙදෙන්නේ ය. අකුරු , පද වැල් අතර ම ගැවසෙන්නේ ය.

"මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක් වී "

රත්මලේ බන්දුල ගුණවර්ධන එසේ නිර්මලා රණතුංග ට සහ එඩ්වඩ් ජයකොඩි වෙත "මිටින් මුදා හැර බැලුවෙමි" ලීවේය. 

"සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියත් නිවී යාවිදෝ"

නිර්මලාගේ පැහැදිලි හඬ සමග එඩ්වඩ් ගැයුවේ ය. රත්මලේ ලියූ හැඟීම් දනවන පදවැල් වලට පණදෙන නිර්මලා ට නොමද සහායක් වන එඩ්වඩ් බොහෝ විට චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමග ගයන "පන්සලේ පල්ලියේ " වැනි ප්‍රචාරණවාදී ගීත වලට වඩා බොහෝ දුරක් ගොස් සිටගත්තේ ය. නමුත් අවසාන මොහොතේ දී සමස්ත ගීතයම තම අණසකට ගන්නා නිර්මලා රණතුංග , පද රචකයා බොහෝ වෙහෙස වී වචන රාසියක් තුළ සැඟවූ ගීතයේ හදවත ඉතා පහසුවෙන් සොරකම් කරන්නී ය. එය තමා සන්තක කර ගනිමින් ගයන්නීය. 

"සමුගන්නට සිදු වූවත්
අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ" 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment