ජනවාරි 27 : අවුෂ්විට්ස් වධකාගාරය මුදා ගැනේ


1945 වසරේ අද වැනි දවසක සෝවියට් රතු හමුදාව විසින් පෝලන්තයේ අවුෂ්විට්ස් වධකාගාරය මුදා ගනු ලැබිණ. මනුෂ්‍යත්වයට අනම්‍ය, කෲර නාසිවාදය හරහා ඉදිවුණු මේ වධ කඳවුර මිහිමත දැවෙනා අපායකි. මුදාගන්නට පෙර ජීවිතයෙන් මිදී ගිය පිරිස සහ ඔවුන් විඳි වධ වේදනා ඇදහිය නොහැකි තරම් ය.
අවුෂ්විට්ස් යනු මානව ඉතිහාසයේ විශාලතම මිනිස් ඝාතකාගරයයි. ජර්මානු පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් මේ සියලුම ව්‍යසනයන්ට මූලිකයා ය. ඔහු ඇතුළු ‘ජර්මානු ජාතික සමාජවාදි පක්ෂයේ’ සාමාජිකයින් විශ්වාස කළ පරිදි ජර්මානුවන් සුපිරි ආර්යය මිනිස් කොට්ඨාසයකි. යුදෙව්වන් යනු පහත් සත්ත්ව වර්ගයක් වන බැවින් අවසාන විසඳුම ලෙස යුදෙව් වර්ගයා මෙලොවින් තුරන් කර දැමිය යුතු බව ඔවුන්ගේ තීරණය විය. දෙවැනි ලෝක යුද්ධයත් සමග ගොඩනැගෙන ජර්මානු වධ කඳවුරුවල ඔවුන්ගේ සිරකරුවන් රඳවා තැබීමේ පටිපාටිය අමානුෂික ක්‍රියාන්විතයකට දිගුවන්නේ එම තීරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. සෝවියට් සමූහාණ්ඩුව , පෝලන්තය , ප්‍රංශය , බෙල්ජියම , ඕලන්දය , චෙකොස්ලෝවැකියාව , හංගේරියාව , ඉතාලිය සහ ග්‍රීසිය යන රටවල් වල සිරකරුවන් ජර්මානු බල ප්‍රදේශ පුරා කඳවුරු ගත කොට තිබිණ. යොහෝවාගේ සාක්ෂිකරුවන් නම් වූ ආගමික අනුගාමිකයින් ද සමකාමීන් ද මේ වධ කඳවුරු වලට ගාල් කර තිබිණ. අනාර්යයින් සංහාරය කිරීමේ කෲර වැඩ පිළිවෙළ ඇරඹේ. අවුෂ්විට්ස් යනු එහි මර්මස්ථානය ය.
හිට්ලර් ගේ සිහිනය සඳහා මාවත වූයේ Holocaust හෙවත් සමුල ඝාතනයයි. අනෙකුත් සෑම වධකඳවුරක් තුළදී මෙන්ම අවුෂ්විට්ස්හි දී ද ඝාතනයට ලක් වූ මිනිස් ජීවිත ප්‍රමාණය නිශ්චිතව පැවසිය නොහැකිය. නමුත් එය අවම වශයෙන් මිලියන දෙකක් වත් වන්නට ඇතැයි උපකල්පනය කෙරේ. ඒ හුදෙකලා පෝලන්ත බිම් තීරුවේ ඉදිවුණු මරණයේ දොරටුව අතිශය භයංකාර ය. සිරකරුවන් පිරිසක් එකවර විශේෂිත කුටියක් තුළට දමා දොරගුළුලන නාසි හමුදාව අනතුරුව සයික්ලෝන් බී (Zyklon B) විෂ වායුව එතුළට මුදා හැරේ. මිනිත්තු කිහිපයකින් ඉතිරිවන්නේ එකිනෙකා පිට නැගී ඉහළට යන්නට තැත් කර වහළය දක්වා කන්දක් සේ ගොඩ නැගුණු මළ සිරුරු සමූහයක් පමණි. පසුකාලීනව මේ ඝාතකයින් , සයික්ලෝන් බී වායුව ඉතිරිකර ගැනීම සඳා වෙනදා යොදන විෂ වායු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් යෙදූ බව පැවසේ. එහි ප්‍රතිඵලය වන්නේ ගොදුරුවන්නන් ජීවිතය වෙනුවෙන් සටන් කරමින් වධ විඳින කාලය දෙගුණ වීමය. මෙලෙස ගෑස් කුටි තුළ මිය ගිය පිරිසට අමතරව තවත් බොහෝ පිරිසක් වසංගත රෝග , අධික වෙහෙස , කුසගින්න සහ වධ බන්ධන හේතුවෙන් මිය ගොස් තිබිණ.

ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ ජර්මානු නාසිවාදීන්ට එල්ල වන තවත් ප්‍රබලතම චෝදනාවක් වන්නේ අවුෂ්විට්ස් වධකාගාරයේ සිරකරුවන් විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් සඳහා යොදා ගැනුණු බවය. ගෑස් සංහාරයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු දහනය කර මිනිස් අළු, මංමාවත් වලට යෙදවූ බවත් රැඳවුම්කරුවන්ගේ සම් වලින් ලාම්පු ආවරණ නිපදවූ බවත් පැවසිණ. මේ චෝදනා වල සත්‍යතාව පිළිබඳව සියයට සියයක්ම තවුරු වී නැතත් කඳවුර මුදා ගැනීමේදී හමුවන යුදෙව් නිවුන් දරුවන් සමූහය සම්බන්ධයෙන් කුකුසක් පැණ නැගීම සාධාරණය. නාසි හමුදාව විසින් අනෙකුත් දරුවන් සහ කාන්තාවන් හිත් පිත් නැති ලෙස ඝාතනය කළද මෙම යුදෙව් නිවුන් දරුවන් පමණක් ඝාතනය නොකිරීමට කටයුතු කර තිබිණ. ඔවුන් ඉතිරි කරනු ලැබුවේ නාසි වෛද්‍ය ජෝශප් මැන්ගල්ගේ වෛද්‍ය පර්යේෂණ සඳහා යොදා ගැනීමට යන්න අදටත් පිළිගැනෙන අනුමානයකි.

1945 ජනවාරි 27 වැනිදා මරණයේ මිටියාවත වෙත අපේක්ෂාවේ සේනාව කඩා වැදිණ. රතු හමුදාව අවුෂ්විට්ස්වලට ළඟාවන බව ආරංචි වූ නාසි සෙබළුන් තවත් හැටදහසකගේ මරණය කඩිනම් කරති. කඳවුර තුළ තිබූ ආහාර වලටද වස කවා තිබූ බැවින් නිදහස ලැබූ රැඳවුම් කරුවන් විශාල සංඛ්‍යාවක් ඒ හරහා මිය ගිය බවද පැවසේ.
අවසානයේ සෝවියට් රතු හමුදාවට හමුවන්නේ ජීවිතය ඉල්ලා සිටින , ජීවිතය පිළිබඳ අපේක්ෂා සුණු විසුණු වූ මිනිස් ඇටසැකිලි සමූහයකි. ඔවුන් 3,000 ට අධිකය. එයට අමතරව මිලියනයක් ඇඳුම් කඩමාලු ද , සපත්තු කුට්ටම් 45,000 ක් ද , කාන්තා හිසකෙස් ටොන් 7 ක් ද හමු වේ.


ඒකාධිපතීත්වය සහ අමානුෂිකත්වය එකට එක් වූ තැන ඉතිරිවන්නේ බිහිසුණු මතක සටහන් ය. හිට්ලර්ට එරෙහිව නැගෙන මේ සියලුම චෝදනා එක බැගින් නිවැරදි හෝ සත්‍යයැයි පැවසිය නොහැක්කේ පසුකාලීනව එක් වන සාහිත්‍යමය පුවත් ද සත්‍යානුරූපීව ජනගත වන බැවිනි.

කිසිදු පාලකයෙක්ට හෝ පාලන ත්‍රන්තයකට අනෙක් මිනිසුන්ගේ ජීවිතය හෝ මරණය තීරණය කිරීමේ අයිතියක් නොමැති බව අපට උගන්වන්නේ හිට්ලර් සහ නාසි හමුදාවය. අමානුෂිකත්වයේ සීමාව ගෑස් කාමරයෙන් හෝ වධ කඳවුරෙන් ඔබ්බට විය යුතුම නැත. මිනිසුන් අතුරුදන් කිරීම් , පැහැර ගැනීම් සහ තමා නුරුස්සන මිනිසුන් මැඩලීම ද චූල නාසිවාදීයේ ලක්ෂණ බැව් හඳුනාගැනීම පුරවැසි වගකීමය.
අද වනවිට ජර්මනිය දියුණුවෙන් දියුණුවට පත් වූ සුරපුරයකි.
නමුත් ශිෂ්ට සමාජය ඉදිරියේදී දියුණුවේ නාමයෙන් ඉතිහාසගත ලේ පැල්ලම් වසන් කිරීමට ජර්මනියට කෙදිනක හෝ නොහැකිය. 
තවත් බොහෝ දේ එලෙසමය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment