ජනවාරි 30 : මහත්මා ගාන්ධි ඝාතනය වේ


1948 වසරේ අද වැනි දවසක ඉන්දීය නිදහස් සටනේ ප්‍රබලයෙකු වූ මහත්මා ඝාන්ධි ඝාතනයට පත් විය. වේලාව දහවල් 12 ට පමණය. ස්ථානය නවදිල්ලියේ බිර්ලා භවන් ය. අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් තෙවරක් වෙඩි තබන ඝාතකයා නතුරාම් ගොඩ්සේ ය. මහත්මා ගාන්ධි අතීතයට එක් වී අවසානය.



1869 වසරේ ඔක්තෝබර් මස දෙවැනිදා ඉන්දියාවේ ජෝර්බන්දාර් ගම්මානයෙහි උපතලබන මොහන්දාස්‌ කරම්චාන්ද් ගාන්ධි ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළු කරන්නේ ඔහුගේ පියා විසිනි. ඔවුන් ප්‍රදේශයේ ප්‍රභූ යැයි සැලකෙන යම් වත්කමක් තිබූ පවුලකි. වයස අවුරුදු 13 දී වයස 14 ක් වූ "කස්තුර් බා" සමග සම්ප්‍රදායානුකූල යෝජිත ළමා විවාහයකට ඇතුළත්ව සිටි මහත්මා ගාන්ධි පිය පදවිය ලබන්නේ 15 වැනි වියේදීය.
නීති උපාධියක් ද සමග මවුරටට ගොඩ බසින මහත්මා ගාන්ධි 1921 දී ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ නායකත්වයට පත් වේ. "සිය රට දේ - සිරි සැප දේ" යන තේමාව ඇගයූ ඔහු තමා විසින් ම වියනු ලැබූ දළ රෙදි කඩක්‌ අඳින්නටත් දේශීය ආහාර පමණක්‌ බුදින්නටත් පුරුදු විය. 1922 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගාන්ධිව සිරගත කරනු ලබන්නේ ඔහුගේ පාලක විරෝධි ආකල්පය නිසාමය. පාලකයින් විසින් පැනවූ ලුණු බද්දට එරෙහිව හෙතෙම 1930 වසරේදී " දණ්ඩී ලුණු පාද යාත්‍රාව" නමින් පා ගමනක් සංවිධාන කළේය. කිලෝමීටර් හාරසීයක්‌ දුරින් වූ මහා සාගරය වෙත පා ගමිනි ගොස් ලුණු නිෂ්පාදනය කිරීම එම පාගමනේ අරමුණ වී තිබිණ. නමුත් "දණ්ඩී පාද යාත්‍රාව" මෙහෙයවීමේ වරදට චෝදනා නගමින් ගාන්ධිතුමා නැවතත් අත්අඩංගුවට ගැනේ. 1931 දී ලන්ඩනයේ පැවැත්වූ සාකච්ඡාවකට ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ නියෝජිතයා ලෙස සහභාගී වීමට අවස්ථාව සලසමින් ඔහුට නිදහස හිමි විය. ගාන්ධි තුමන් නැවත වතාවක් 1942 - 1944 කාලයේදී සිරගත කරනු ලැබූ අතර 1945 දී මහා බ්‍රිතාන්‍යය ඉන්දියාවෙන් ඉවත්ව යන්නේය.
බොහෝදෙනෙක් නොදැන සිටියද ඉන්දීය ධජය නිර්මාණයේදී මහත්මා ගාන්ධිගේ දායකත්වය ප්‍රබල වේ. රෙදි වියන අත් යන්ත්‍රය , එනම් චරකය සහිත ධජයක් සඳහා ගාන්ධි ගෙන ආ යෝජනාව අද වන විට ඉන්දීය ධජයේ මධ්‍යයේ කරත්ත රෝදයක් ලෙස දක්නට ඇත.
අවිහිංසාවාදයේ පියා ලෙස ලෝක සාහිත්‍ය තුළ උත්කර්ෂයට නැගුණද මහත්මා ගාන්ධි පිළිබඳව ද විරුද්ධ මතවාද නැත්තේ නොවේ. භගත් සිං වැනි නිදහස් සටනේ නියමුවන් ආවේගශීලී සහ සටන්කාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ගාන්ධි රැකි තපස්වත ද අප්‍රසාදයට ලක් වූ අවස්ථා ඇත. එමෙන්ම ඉන්දියාව බෙදා වෙන් කර පාකිස්ථානය බිහි කිරීමට දායක වීමත් , හින්දු - මුස්ලිම් අර්බුද වලදී මුස්ලිම් ජනතාවට පක්ෂග්‍රාහීව කටයුතු කළේය යන්නද ඔහු වෙත එල්ලවන අනෙකුත් චෝදනා ය. පසුකාලීනව ගාන්ධිටම අනන්‍ය වූ අවිහිංසාවාදී ක්‍රියාකාරකම් වන " සත්‍යග්‍රහ " ආදිය තුළින් ගාන්ධි ගමන් කළ මාවත පිළිබඳවද නොයෙක් මතවාද පැතිරිණ. එහි අවසාන ඵලය ලෙසින් දැක්විය හැක්කේ උපතින් හින්දු භක්තිකයෙක් වන නතුරාම් ගොඩ්සේය. ඉන්දිරා ගාන්ධිව සීක් ජාතිකයින් විසින් ඝාතනය වන ඉන්දියාව තුළ මහත්මා ගාන්ධිව ඝාතනය වන්නේ හින්දු ජාතිකයෙක් ගේ අතිනි. ඉන්දියාව යනු බුද්ධියට වඩා හැඟීම් වලට ඉඩ දෙන මිනිසුන් පිරිසක් වෙසෙන රටක් බැවින් මෙවැනි තත්ත්වයක් පැණ නැගීම ද පුදුමයකට කරුණක් විය නොහැකිය.

නතුරාම් ගොඩ්සේගේ තුවක්කුව ක්‍රියාත්මක විය . කයින් දුබල , කෙසඟ සිරුරක් ඇති ,නමුත් භාරත දේශයට යෝධයෙකු වූ මිනිසා "හේ රාම් " යනුවෙන් හඬ නගමින් නිම වැටිණැයි පසුව පුවත්පත් වල පල විය. " ඒක බොරුවක්" ඝාතකයා වූ නතුරාම් එම පුවත ප්‍රතික්ෂේප කළේය. " ගාන්ධිගේ මරණයෙන් පවා ලකුණු දාගන්නයි යන්නේ. මිලිමීටර නමයේ පිස්තෝලයකින් තත්පරයක් ඇතුළේ උණ්ඩ තුනක් පපුවට බහිනවා. ඕවා කිය කිය මැරෙන්න වෙලාවක් තියනවද ?" නතුරාම් ප්‍රශ්න කළේය.
සත්‍යය පවතින්නේ සාහිත්‍යයට වඩා බොහෝ දුරකිනි.
නතුරාම් ගොඩ්සේ 

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment