ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි. මේ ඔහුගේ නිර්මාණ දිවිය අළලා ‘ලක්බිම මංජුසාව’ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.
1. ඔබ කවියෙක් ලෙස නිර්මාණකරණයට පිවිසෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ පසුවයි. එතෙක් කලක් ආරියවංශ රණවීර නම් වූ නිර්මාණකරුවා සිටියේ කොහේද ?
අවුරුදු හතළිහ වෙනකං මම සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් නොනවත්වාම කියෙව්වා. විශ්ව විද්‍යාලයට ගිය දවසේ ඉඳන් රාජකාරිය දක්වාම මම කියවන එක කරගෙන ගියා. ඇත්තටම කාව්‍ය ලෝකයට මට දොරගුළු විවර කළේ ඒ කියවීමම තමයි. මොකද මට පුළුවන් වුණා විවිධාකාරයේ කවීන් , කාව්‍ය ක්‍රම ගැන එක්තරා ප්‍රමාණයක අවබෝධයක් ගන්න. අවුරුදු 40 න් පස්සේ මගේ පළමුවැනි පොත "කවි කිහිපයක්" එළි දක්වන්නේ. ඒත් මට ඒ කෘතිය ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණේ නැහැ. හේතුව තමයි මම ලියපු කවි ඒ කාලේ තිබ්බ කවි වලට වඩා වෙනස් වුණු ඒක. කෙටියි , සංක්ෂිප්තයි. ඒත් පුදුමයකට වගේ මගේ පොත පුස්තකාල සහ සේවා මණ්ඩලයෙ අනුමත වුණා.
2. ඔබගේ පාසල් ජීවිතය සහ සරසවි ජීවිතය ගැන මතකය අවදි කළොත් ?
මම මගේ ද්විතීයක අධ්‍යාපනය ලැබුවේ අරනායක , මාවතගොඩ රිවිසඳ මධ්‍ය විද්‍යාලයෙන්. ඒ කාලෙත් මම පාසලේ කලා කටයුතු වලට සම්බන්ධ වුණා. පාසලෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා. මම කළේ සිංහල , භූගෝල විද්‍යාවසහ අර්ථ ශාස්ත්‍රය එක්ක සාමාන්‍ය උපාධියක්. ඒ කාලේ සරච්චන්ද්‍ර මහත්තයා නිසා පේරාදෙණියේ ලොකු කලා ප්‍රබෝධයක් ඇති වෙලා තිබුණේ. සිංහබාහු නාට්‍යය වේදිකාගත කළේ අපි පේරදෙණියේ ඉන්න කාලේ. සිංහබාහුට රඟපෑ චාලි ජයවර්ධන , යුවරජුට රඟපෑ ප්‍රේමා ධර්මසේන වගේ අය අපේ සමකාලීන ශිෂ්‍යයෝ
3. ඔබ පරිවර්තනය කළ "ට්‍රෝජන් කාන්තාවෝ" කියන්නේ ලාංකීය වේදිකාවේ ඓතිහාසික නිර්මාණයක්. ඒ නිර්මාණයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද ?
ට්‍රෝජන් කාන්තාවෝ හෙවත් Trojan Women කියන්නේ ලෝකයේ පළමු යුධ විරෝධී නාට්‍යය. සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය රචක යුරිපිඩිස් (Euripides) ගේ මේ නිර්මාණය කියවනකොට සිංහලට පරිවර්තනය කරන්න ආසාවක් ඇති වුණා. මම ඒක පරිවර්තනය කළේ " ට්‍රෝජන් ගැහැණු" කියන නමින්. ධර්මසිරි බණ්ඩාරනායක තමයි ඒක " ට්‍රෝජන් කාන්තාවෝ " කියලා නම් කළේ. සිංහලයට නැගුවට පස්සේ ධර්මසිරි මගෙන් පිටපත ඉල්ල ගත්තා නාට්‍යයක් කරන්න කියලා. හැබැයි නාට්‍ය වේදිකාගත වෙන්න කලින් මගේ මුද්‍රිත කෘතිය පාඨකයෝ අතරට ආවා
4. ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔබ විවිධ පරාසයන්හි කලා කටයුතු වලට දායක වුණේ කෙසේද ?
මම මගේ රාජකාරිය මගේ නිර්මාණ කටයුතු වලට කිසිසේත්ම බාධාවක් කරගත්තේ නැහැ. මගේ කවි කෘති මුද්‍රණය වන්නේත් , ග්‍රීක නාට්‍ය පරිවර්තන සිදුවන්නේත් මේ රාජකාරි කාලය ඇතුළතමයි. මම වසර හයක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළා. කලා කටයුතු වලට සක්‍රීයව දායක වුණා. මේ වෙන විට මට කවි , නාට්‍ය පිටපත් සහ පරිවර්තන කෘති වෙනුවෙන් රාජ්‍ය සම්මාන 11 ක් හිමිවෙලා තියෙනවා. එයින් කවි සඳහා ලැබුණේ සම්මාන හතරක් පමණයි.
5. සමාජ විෂමතා පිළිබඳව කවි ලියන යුගයක ඔබගේ මුල්ම කවි සංග්‍රහය වන "කවි කිහිපයක්" හි ජිරාෆ් වැනි වෙනස්ම ප්‍රස්තුත වෙනුවෙන් කවි ලියවෙනවා. ඔබ ඒ වන විට සමකාලීන සිංහල කවිය පිළිබඳ ලොකු තැකීමක් හෝ හැදෑරීමක් සිදු කර නොතිබූ බවට මම යේජනා කළොත් ?
මං හිතන්නේ ඔබ කියන කාරණේ සත්‍යයක් තියෙනවා. මම වැඩිපුර හැදෑරුවේ බටහිර කවිත් සහ චීන සහ ජපන් කවි. මේ කවි ක්‍රම වල ආභාසය මගේ කවි වලට ලැබෙන්නට ඇති. ඒ කියන කවියේ රුව , ස්වභාවය , චිත්තරූප භාවිතය , සංකේතය භාවිතය වැනි දේවල් වලට වැඩි බරක් තියන්න හිතුණේ අර කියන කාව්‍ය සම්ප්‍රදායන් හදාරපු නිසා කියන එක සත්‍යයක්. මට මතක් වෙන විදියට , ඒ කාලේ කවි ලියවුණේ සමාජ අසාධාරණය , ඒවාට විරුද්ධව නැගී සිටීම සහ විරෝධාකල්ප අදහස් වලින්. ඒ රැල්ලට මම නැඹුරු වුණේ නැහැ.
6. චීන සහ ජපන් කවි පරිශීලනය ගැන ඔබ සඳහන් කළා. ඔබ ඒවා කියෙව්වේ මොන භාෂාවෙන් ද ?
මම කියෙව්වේ ඉංග්‍රීසියෙන්.මම ඒ පොත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කියෙව්වා. මම සමහර පොත් අරගත්තේ නුවරෙන්. ඒ කාලේ හොඳ ඉංග්‍රීසි පරිවර්තන හොයා ගන්න තිබ්බා.
7. "කෙටි කවිය යනු වල් පැළෑටියකි" කියලා ගුණදාස අමරසේකර මහතා මුල්කාලීනව ප්‍රකාශ කළා. අද වන විට කෙටි කවිය ගැන ආරියවංශ රණවීර දරන අදහස කුමක්ද ?
මම පොඩි සංශෝධනයක් කරන්න කැමතියි. මේවා "සංක්ෂිප්ත කවි" මිසක් කෙටි කවි නෙමෙයි. වචන අඩු කවියක් නම් ඒවා කෙටි කවියි කියන අදහසනේ මුල් බැහැලා තියෙන්නේ. අමරසේකර මහත්තයා කියන්නෙත් එහෙමයි. එතුමා බාහිරින් බලලා ඔය වගේ ප්‍රකාශ කළාට අපේ කවි ළඟින් පරිශීලනය කළා කියලා මම හිතන්නේ නැහැ.කවියේ අනුභූතියට අදාල වෙන චිත්තරූප සහ රූපක තිබෙන කවිය තමයි සංක්ෂිප්ත කවිය කියන්නේ. එවැනි කවියක එක වචනයක්වත් අහක දාන්න බැහැ. මට මතක් වෙනවා "කවිය යනු රිද්මයත් , සංක්ෂිප්ත භාවයත් , අර්ථ ගාම්භීර බවත් තිබේ නම් එය කවියකි" කියන නිර්වචනය. මම කවියක් ලියනකොට සලකන්නේ ඒ සංක්ශිප්ත භාවයට.අමරසේකර මහත්තයා තවමත් අර මතයේ ඉන්නවා ඇති. ඒත් අපට ලැබෙන ප්‍රතිචාර එක්ක මම හිතනවා දැන් කාව්‍ය රසිකයින් සංක්ෂිප්ත කවිය පිළි අරගෙන කියලා.
8. ඔබ රාජ්‍ය සම්මාන ලාභී පරිවර්තකයෙක්. ග්‍රීක නාට්‍ය පිළිබඳ ඔබගේ පෘථුල දැනුම ඔබගේ කාව්‍යකරණයට ආලෝකයක් වුණා ද ?
ඇත්තෙන්ම ඔව්. ඔය ග්‍රීක ප්‍රබන්ධ වලට ඒ කාලේ කිව්වේ " නාට්‍ය" කියලා නෙමෙයි. "ග්‍රීක කාව්‍ය" කියලා. ඒවා කාව්‍ය ක්‍රමයක් විදියට සැලකුවේ. මේ ග්‍රීක නාට්‍ය හරහා කාලය කුමක් වුවත් මිනිසා පිළිබඳ විශ්ව නියාම ධර්ම පිළිබඳ සාකච්ඡා කෙරෙනවා. උදාහරණයක් විදියට "ඊඩිපස් රජ" ගත්තොත් ඔහු නොදැනුවත්ව තමන්ගේ මව සමග විවාහ වෙනවා. පස්සේ කාලෙක සිග්මන් ප්‍රොයිඩ් "ඊඩිපස් සංකීර්ණය" කියලා ගන්නේ ඒක.මනුෂ්‍ය ජීවිතයේ සාම්‍යයක් තියෙනවා. ඒවා හැදෑරීම කාව්‍යකරණයට ඉවහල් වෙනවා. මගේ අලුත් කවි පොතේ "පෙනිලෝප්" කියන කවිය ඒකට නිදසුනක්.
9. "ගිරිකූඨ කාශ්‍යප" වේදිකා නාට්‍ය පිටපත සඳහා ඔබ මේ වසරේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණා. මේ නාට්‍යය වසර 50 ට එහා ඉතිහාසයක් තියෙන නාට්‍යයක් නේද ?
1965 - 1966 කාලයේ මම තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට සේවය කළා. ඉහළ පංති වලට සිංහල සහ භූගෝල විද්‍යාව ඉගැන්නුවේ. ඔන්න ඔය කාලේ ඉන්දියාවේ භාත්කණ්ඩේ විශාරද උපාධිය ලබපු දයා අල්විස් කියන සංගීත ගුරුවරයා මුල් පත්වීම ලබලා අපේ ඉස්කෝලේට ආවා. ඒ තමයි පස්සේ කාලෙක නළුවෙක් වුණු දයා අල්විස්. අපි දෙන්නාගේම රුචි අරුචිකම් එක හා සමාන නිසා අපි එකතු වෙලා ඉස්කෝලේ ඇතුළේ නාට්‍ය කීපයක්ම කළා. "ගිරිකූඨ කාශ්‍යප" අපි කළේ "කාශ්‍යප" නමින්. ඒ කාලේ තිබුණ ජාතික පාඨශාලයීය නාට්‍ය උළෙලට ඒ නාට්‍ය තේරුණා. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය ,ඒ කිව්වේ කාශ්‍යප චරිතය රඟපෑවේ සුමින්ද සිරිසේන. සුමින්ද හොඳම නළුවා විදියට සම්මානය දිනා ගත්තා. "කාශ්‍යප" නාට්‍යයට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ පාර හොඳම නාට්‍ය වුණේ ලයනල් රංවල මහත්තයා කරපු නාට්‍යයක්.
පස්සේ කාලෙක මම පරිපාලන සේවයට ගියා . දයා අල්විස් කලාව පැත්තට නැඹුරු වුණා. ආයෙම මේ නාට්‍ය වේදිකාගත කරන්න ඕනේ කියලා කතාබහක් ඇති වුණේ දයා අල්විස් මහත්තයාගේ මරණයත් එක්ක. "වින්දන පර්ෂදය" කියලා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සහ ආදි ගුරු එකතුවකින් මේ නාට්‍යය "ගිරිකූඨ කාශ්‍යප" නමින් නැවතත් වේදිකාගත කළා. අඛිල සපුමල් තමයි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. හැබැයි මුල්ම කාශ්‍යප නාට්‍යට වඩා අංග එකතු වෙලා තියෙනවා. ඉදිරිපත් කිරීමත් වෙනස්. නමුත් තේමාව එකමයි.
10. ඔබ වරක් "සේකර ; නොනිමි මෙහෙවර" යනුවෙන් මහගමසේකර පිළිබඳව ලිපියක් සම්පාදනය කළා. ඔබ මහගම සේකරව කවියෙක් ලෙස දකින්නේ කෙසේද ?
ඔහු ඉතාමත් හොඳ ගීත රචකයෙක් බව මම අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් අපි අවංක අදහස ප්‍රකාශ කර යුතුයිනේ. සේකර පටන් ගන්නේ කොළඹ යුගයේ කවියෙක් විදියට. ඊට පසුව ඔහු සාමාන්‍ය කවි වලටත් පසුව ආඛ්‍යාන කවි වලටත් නැඹුරු වෙනවා. ඇගයීමට පාත්‍ර වෙනවා. "රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත" හා " බෝඩිම" වැනි කවි සංග්‍රහ වල ඉඳලා සේකර "ප්‍රබුද්ධ" දක්වා එනකොට ජීවිතය පිළිබඳ වඩාත් පෘථුලව සහ ගැඹුරින් ස්පර්ශ කරන්න පෙළඹෙනවා. ඒත් මම සේකර ; නොනිමි මෙහෙවර කියලා කිව්වේ , මට හොඳටම පැහැදිලියි , ඔහු මේ නවමගට එළඹුණේ වෝල්ට් විට්මන් කවියාගේ ආඛ්‍යාන කවි හැදෑරීම නිසා. සේකර වයස හතළිස් හයේ දි මිය ගියා. ඔහු තව දුරටත් ජීවත් වුණා නම් මේ කවි තව දුරටත් අධ්‍යනය කරලා "ප්‍රබුද්ධ" කාව්‍යයටත් වඩා ගැඹුරු , වඩාත් ජීවිතයට සමීප වුණු , වඩාත් කාව්‍යමය වුණු කවි ඔහු අතින් ලියවෙන්න තිබුණා. ඔහු ගිය මග හරි. ඒත් තව දුරක් යන්න තිබුණා.
ලක්බිම | මංජුසාව | 31.12.2017 | සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ
0 comments:
Post a Comment