Song of the Innocent : ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට නොඇසුණු අහිංසකයින්ගේ ගීතය


පාළුවට ගිය ගොඩනැගිල්ලක රූප රාමුවක් සමග ඇරඹෙන කෙටි චිත්‍රපටය නමින් "Song of the Innocent" බව දැන සිටියෙමි. වල් වැදුණු ගොඩනැගිල්ලය. බිත්ති විනිවිද දකින රූප රාමුය. ගොදුරු සොයන මස් වැද්දන්ය. බියට පත් මුව පොව්වන්ය. පලා යන සරස්වතීයය. රජ කරන නවක වධයය. අහිංසකයන්ගේ ගීතය අවසානයේ ගොළුව යන්නේ සිහින් ඉකිබිඳුමක් නරඹන්නාට ඉතිරි කරමිනි. ඒ විශ්වවිද්‍යාලයීය නවක වධය පිළිබඳව මෙතෙක් කරලියට පිවිසි පළමු කෙටි චිත්‍රපටය හෝ සංවාදයට සහ අවධානයට පත් පළමු කෙටි චිත්‍රපටයය.

‘‘යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයය විදියට සිලෝන් තියටර්ස් සම්මානය ලැබුණා. දෙරණ සන්සිල්ක් චිත්‍රපට උළෙලේත් හොඳම කෙටි චිත්‍රපටයට සම්මානය ලැබුණා. කොයින්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ශිෂ්‍ය හොඳම කෙටි චිත්‍රපටය විදියට ප්‍රේක්ෂක සම්මානය ලැබුණා” තම කෙටි චිත්‍රපටය මෙතෙක් ආ ගමන් මග අධ්‍යක්ෂ ධනංජය බණ්ඩාර අපට විස්තර කළේය.

මෙම කෙටි චිත්‍රපටයට තේමා වන්නේ ඈත ගමකින් විශ්වවිද්‍යාලයට පිවිසෙන සිසුවෙක් මුහුණ දෙන අමිහිරි නවක වධයය. ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ප්‍රදීප් රාමනායකය. රුවන් කොස්තාගේ කැමරාකරණයෙන් ද අජිත් රාමනායකගේ සංස්කරණයෙන් ද නිර්මාණය වන ”අහිංසකයන්ගේ ගීතය”ට සංගීතය රුවන් වල්පොල ගෙන්ය. නවක වධයට ලක්වන සිසුවාගේ චරිතයට නිරුවත් දර්ශන ද ඇතුළත් වන අතර වධ හිංසා පමුණුවන ජ්‍යෙෂ්ඨයන් අතර සිසුවියක ද වේ. අධ්‍යක්ෂවරයා පැවැසුවේ නළු නිළියන් සියල්ලන්ම සරසවියේ නාට්‍යකරණය හදාරන සහ හැදෑරූ සිසු සිසුවියන් බවය. ‘‘මම 2013 මැයි මාසේ ඉඳන් 2017 ඔක්තෝබර් මාසේ වෙනකං කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. මම උසස් පෙළට කළේ නැටුම්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්නේ එහෙමයි. ඊට පස්සේ මම දෙවැනි වසරෙදි ඩිජිටල් ෆිල්ම් පාඨමාලාව තෝරා ගත්තා” ඒ ආකාරයට ධනංජය මේ සිනමාවට නගන්නේ වසර ගණනක් අත්දුටු උප සංස්කෘතියක කතා පුවතය.
ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් එක්ව, පාළු ගොඩනැගිල්ලකට වී නවක සිසුන් දණ ගස්වන, නිරුවත් කරන දර්ශන ඇරඹෙද්දී මා අධ්‍යක්ෂවරයා දෙස බලා නවක වධය මේ තරම් දරුණුවට සිදුවන්නේ ද යන්න විමසා සිටියෙමි. "රැග් නොකරන අයත් ඉන්නවා. කරන තැන්වල මේ වගේ දේවලූත් කලාතුරකින් වෙනවා” ධනංජය එහි පීඩාකාරී බව සහ හිංසාකාරී බව පිළිබඳව එසේ පවසා නිහඬ විය. නමුත් චිත්‍රපටය අවසන් වූ පසු තිරයේ දිස් වූ පසු සටහන එයට වඩා දෙයක් පැවැසීය. ඒ සටහනට අනුව මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද නවක වධය හේතුවෙන් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. ‘‘මාව ඉස්පිරිතාලේ ගෙනියනකොට අත මෙන්න මේ වගේ ඉදිමිලා තිබුණේ” ඔහු බෙරයක් තරම් අතක් අභිනයෙන් පෙන්වීය. ‘‘අතට විෂබීජ ගිහිං තිබුණා, තව දවසක් හරි පහු වුණා නම් මගේ ඒ අතෙන් වැඩක් ගන්න බෑ කියලා ඩොක්ටර්ස් ලා කිව්වා” එසේ පැවැසූ ධනංජය රෝහල්ගත වීම හරහා විශ්වවිද්‍යාල නවක වධ සිදුවීමට ලැබුණු සෘණ ප්‍රතිචාරය ඔස්සේ තම ශිෂ්‍ය ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වූ බව පැවැසුවේ සැහැල්ලූවෙනි. ‘‘මගේ බැච් එකේ නැටුම් කරපු අනික් ළමයි 214 ම වගේ මතවාදීමය වශයෙන් මගෙන් ඈත් වුණා. එයාලගෙන් කිසිම කරදරයක් තිබුණේ නෑ. ඒත් මට තේරුණා ඒ අයට මගෙන් ඈත් වෙන්න වුවමනා වුණු බව” නර්තන විෂය හදාරන ශිෂ්‍යයන් සමග නේවාසිකව සිටි ධනංජය බණ්ඩාර නාට්‍යකරණ සිසුන්ගේ නේවාසිකාගාරයට යන්නේත් ඔවුන් ඇසුරට යොමු වන්නේත් එලෙසිනි. ‘‘මාව බලා ගත්තේ, මට උදව්වට හිටියේ ඩ්‍රාමා ඩිපාට්මන්ට් එකේ අය” ඔහු සිහිපත් කළේය.
අධ්‍යක්ෂවරයා තම නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ තමා හට පෞද්ගලිකව සංවේදී වූ ආන්දෝලනාත්මක මාතෘකාවක් වීම විශේෂයකි. එය නවක වධය හේතුවෙන් 1975 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ ජනේලයෙන් බිමට පැන අබ්බගාත තත්ත්වයට පත්ව , 1997දී රෝද පුටුව තල්ලූ කරගෙන ගොස් ගෙවත්තේ ළිඳට පැන සියදිවි නසා ගත් රූපා රත්නසීලිගේ සිට අද දක්වා දිවෙන කාල රාමුවක ජීවත්වූ අහිංසකයන්ගේ ගීතයයි. එහෙත් ධනංජයට අනුව මේ නිර්මාණය එක්තරා ආකාරයක හුදෙකලා සටනකි. ‘‘මම මේ ශෝර්ට් ෆිල්ම් එක කළේ අපේ උපාධියේ අවසාන ව්‍යාපෘතියේ පැවැරුම විදියට. අපි පිටපත කල් තියාම අපේ ඩිපාර්ට්මන්ට් එකට පෙන්නලා අනුමැතිය ගන්න ඕනේ. ඒත් මම දුන්නේ දළ පිටපතක් විතරයි’’ ධනංජය කියයි. ඔහු එසේ ආරක්ෂක ක්‍රියා මාර්ගයකට එළැඹෙන්නේ මේ චිත්‍රපටය පිළිබඳ ආරංචිය පැතිරීම වළක්වනු පිණිසය. ඒ අනුව ඔහු බාධාවකින් තොරව තම රූගත කිරීම් අරඹයි. ‘‘ෆිල්ම් එක කළාට පස්සේ ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. සමහරු කියනවා අපරාදේ ඔය වගේ දෙයක් ගැන කළේ කියලා. නමුත් නාට්‍යකරණය හදාරන අය ඇතුළු තවත් පිරිසක් මේ වගේ එකක් කරපු එක හුඟාක් අගය කළා”.


අහිංසකයන්ගේ ගීතයේ වින්දිත සිසුවා සුරකින කාසි ගැට ගැසූ රෙදි කැබැල්ලකි. එහි ඇත්තේ ඔහුගේ අත්තම්මා තම මංචාඩි ගණනක ආභරණයක් උකස් කර සොයා දෙන පොකට් මනීය. සමහර සිසුන්ට වධය සහ වේදනාව අලූතෙන් උගන්වා පුරුදු කළ යුතු නැතැයි පවසන ඒ රූපරාමුව සමග අධ්‍යක්ෂවරයාගේ ජීවිතයට එබෙන්නට දොරගුළු සොයා ගතිමු. ඔහු සරසවියට එන්නේ වයස අවුරුදු 25 දීය. බදුල්ල ශ්‍රී ජනානන්ද පාසලෙන් අට වැනි වසර තෙක් ඉගෙනුම ලබන ධනංජය හැටන් හී වටවල සිංහල විද්‍යාලයට ඇතුළත් වන්නේ අත්තම්මා ළඟට යාමෙන් අනතුරුවය. ‘‘අපේ අම්මට මට උගන්නන්න අමාරු නිසා මාව හැටන්වල ආච්චි අම්මා ළඟට යැව්වේ. මම සෞන්දර්ය විෂයයට කළේ චිත්‍ර. ඒත් අට වසරේදි අපේ චිත්‍ර උගන්වපු සර් මාරු වෙලා ගියා. අපිට ගුරුවරයෙක් ආවේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා චිත්‍ර කරපු ඔක්කොම ළමයින්ට නැටුම් කරන්න වුණා ‘‘පින්සලයට බැඳි පෙම අතහැර වන්න මට හිත පුදන්නට සිදු වන ධනංජය උසස්පෙළ සඳහා හැටන් ශ්‍රී පාද විද්‍යාලයට ඇතුළත් වේ. ඔහු උසස්පෙළට හදාරන්නේ ද නර්තනයය. චිත්‍ර ගුරුතුමාගේ ස්ථාන මාරුව නිසා නර්තනය හැදෑරූ සිසුවාගේ ඉරණම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නතර වන්නේ එලෙසිනි. කළුබෝවිල රෝහල තුළ තම සරසවි ගමනේ අවසානය සනිටුහන් නොකරන ඔහු ඉවසා බලා හිඳ තම කුළුඳුල් නිර්මාණය ඒ ඇසුරින්ම කළ එළි දැක්වීය."Song of the Innocent" චිත්‍රපටය මේ සා දුරක් ගෙන එන්නට උපකාර කළ සියලූදෙනා අතරින් විශේෂයෙන් සිහිපත් කරන යමෙක් සිටීදැයි ඇසුවෙමු. චිත්‍රපටය ආරම්භයේ සිටම උපදේශකයා වශයෙන් කටයුතු කළ බාහිර කථිකාචාර්ය සුදත් මහදිවුල්වැව මහතා සහ නර්තන රංගකලා ඉතිහාස සිද්ධාන්ත අධ්‍යයන අංශාධිපති මහින්ද විමලධීර මහතාව සහ ටී.වී.ටී. ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ මහතා සහ චිත්‍රපටයට දායක වූ ශිල්පීන් සියලූ දෙනා සිහිපත් කළ යුතු යැයි ධනංජය බණ්ඩාර පැවැසීය.
අහිංසකයන්ගේ ගීතයේ අවසානය අහිංසක නැතැයි ද මතු මතුත් සිදුවිය යුතු නැතැයිද පැවැසූ විට අධ්‍යක්ෂවරයා පවසා සිටියේ මේ මාතෘකාව සිනමාව හරහා ද සංවාදයට බඳුන් විය යුත්තේ ඒ නිසාම බවය. ‘‘මෙච්චර කල් මම ගිය එක පාරක් වත් මට වුවමනාවට ගිය ඒවා නෙමෙයි. මට යන්න වුණු ඒවා. ඒත් මම දැන් මට ගැළපෙන පාරේ යනවා. ඒක ගැන මට සතුටුයි” ධනංජය කියන්නේය.
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. අඩේහ් මල්ලී ලින්ක් එක දාන්නකෝ ඒ ෆිල්ම් එක බලන්න

    ReplyDelete