මඩොල් දූවේ උපාලියි - ජින්නයි අද කියන කතාව : අජිත් ජිනදාස | පද්මසේන අතුකෝරල


1947 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත් වූ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" කෘතියට මේ වසරේදී වසර හැත්තෑවක් සපිරෙන අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟූ "මඩොල් දූව"ට වසර හතළිස් එකක් සම්පුර්ණ වේ. උපාලි සහ ජින්නා නම් ළමා චරිත ද්විත්වය කේන්ද්‍ර කොටගත් "මඩොල් දූව" යනු අජිත් ජිනදාසගේ සහ පද්මසේන අතුකෝරලගේ පළමු සිනමා රංගනයයි.දසක හතරකට ඉහත අතීතයක උපාලි සහ ජින්නා ලෙස රටම හඳුනාගත් මේ නළුවන් දෙදෙනා අද ලෝකයේ දෙතැනක වාසය කරති. කැනඩාවේ වාසය කරන අජිත් ජිනදාස කලකට පසුව පසුගිය මාසයේදී ලංකාවට පැමිණි නමුත් මහනුවර වෙසෙන පද්මසේන අතුකෝරල මුණ ගැසෙන්නට වරම් නොලබන්නේ දෙදෙනාගේම කාර්යබහුලත්වය මතය. එබැවින් අප "ලක්බිම මංජුසාව" තුළින් ඔවුන් දෙදෙනා එක කිරීමට සිතුවෙමු.
කිඳුරු විමානයට පාර අත ළඟය. මූහුදු හතක් ඔරු පදින්නටත් මකර කටෙන් නාග බවනට යන්නටත් සූදානම් යෞවනයන් දෙදෙනෙකි. ඔවුන් සොයාගිය ලෝකය තිබුණේ කොග්ගල ඔය අසබඩ මඩොල් දූව නම් පාළු දූපතකය. උපාලි ගිනිවැල්ලේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පසළොස් හැවිරිදි අජිත් ජිනදාසය. ජින්නා හෙවත් ජිනපාල ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ දහ හත් හැවිරිදි පද්මසේන අතුකෝරල ය. හතළිස් එක් වසරකට පසු උපාලි සහ ජින්නා ලාංකේය සිනමා ලෝකයට තමා වෙත දොරගුළු විවර කළ මඩොල් දූව වෙත හැරී බලති. තවමත් එය අපේම අපේම අපේ ලොවකි.
"මම ඒ කාලේ ආනන්දේ හොස්ටල් එකේ හිටියේ. හොස්ටල් කොරිඩෝර් එකේ පත්තර තියෙනවා ළමයින්ට කියවන්න. සිකුරාදට සරසවිය පත්තරෙත් තියනවා. එක සැරයක් තිබුණා ලෙස්ටර් ජේම්ස් පීරිස් මඩොල් දූව කතාවෙන් ෆිල්ම් එකක් කරනවා කියලා. සති තුනකට විතර පස්සේ තිබුණා ළමා නළුවෝ හොයනවා කියලා " අජිත් ජිනදාස මඩොල් දූව වෙත තමා එළි පෙහෙළි කළ මාවත එසේ සිහිපත් කරයි. ඡායාරූපයක් සමග අයදුම් කරන්නැයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පවසා තිබුණත් ශිෂ්‍ය නේවාසිකාගාරයේ වෙසෙන අජිත් සතුව ඡායාරූපයක් නොතිබිණ. ඔහු එය යථා කාලයේ එවන්නට පොරොන්දු වී ලියුමකින් අයදුම් කරයි. ඇල්පිටිය ග්‍රාමයේ වෙසෙන පද්මසේන අතුකෝරාල ගේ කතාව ද ඒ හා සමානය. " මමත් සරසවියෙන් තමයි දැක්කේ. මා ළඟ යවන්න ෆොටෝ එකක් තිබුණේ නෑ. ඉතිං මම ලියුමක් විතරක් යැව්වා" අනතුරුව මේ ගැටවරයින් දෙදෙනා වෙත ලැබෙන්නේ ටයිප් රයිටරයෙන් ලියන ලද ලියුමකින් දන්වා සිටින්නේ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසය " ලියුම් ගොඩේ ටයිප් කරපු ලියුමක් දැක්කම මම පුදුම වුණා. ඒ කාලේ ටයිප් කරපු ලියුම් එවන්න කවුරුත් හිටියේ නෑ " එසේ පවසන අජිත් ජිනදාස එදා ලිපියේ සඳහන්ව තිබූ ලිපිනය තමාට අදටත් කට පාඩම් යැයි පවසයි " නොම්මර 23 , ඩික්මන් පාර". සාමාන්‍ය පෙළ හදාරා නේවාසිකාගාරයේ සිටින අජිත් ට ඩික්මන්ස් පාරට යන හැටි කියා දෙන්නේ ආනන්ද බෝධිරත්න නම් වැඩිහිටි සිසුවෙකි." ගෙදරට කියන්න දෙයක් තිබුණේ නැහැ. ඒ කාලේ අපේ විභාග ඉවර නිසා හවසට එළියට ගිහිං හය වෙනකොට එනවා නම් හොස්ටල් එකෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ඉතින් මා ළඟ තිබ්බ දිග කලිසමක් එහෙම ඇඳගෙන ගියා". ඒ අතරවාරයේ පද්මසේන ඇල්පිටියේ සිට සුපුරුදු කොට කලිසමක් හැඳ බම්බලපිටිය දක්වා බසයෙන් පැමිණේ. " ඒ කාලේ බස් ටිකට් එක එකයි සත අනූ පහයි. මම යන්නේ මේ වගේ වැඩකටය කියලා ගෙදරට කිව්වට ඒ අයට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. අකැමැත්ටක් තිබුණෙත් නෑ " එසේ පවසන පද්මසෙන තමා ඒ කාලයේදී පවා ජින්නා මෙන් ස්වාධීන අදහස් දැරූ බව සිහිපත් කරයි. " පාසල් ශිෂ්‍යයෙක් වුණත් මම ඒ කාලේ වෙනකොටත් ලේක් හවුස් එකෙයි ගුවන් විදුලියෙයි ඇල්පිටිය වාර්තාකරු විදියට වැඩ කළා. මගේ වියදම් මටම බලාගන්න පුළුවන් කමක් ඒ වෙනකොට මට තිබුණා". සියයට සියයක්ම උපාලි ගිනිවැල්ලේ මෙන් නොවූවද අජිත් ජිනදාසගේ පසුබිම ද ඒ චරිතයට තරමක් සමපාත ය. ඔහුගේ පියා දරුවන් අධ්‍යාපනයේම නිමග්න විය යුතු බව විශ්වාස කළ තරමක් තද නීති වල එල්බ ගත් අයෙකි " අම්මා තමයි අපේ රස්තියාදුකම් වලට සහයෝගය දුන්නේ. තාත්තගෙන බැණුම් අහ අහ අපිව චිත්‍රපටි බලන්න එක්කගේන ගියේ" තමා සිනමා පටයක් වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට යන බව අජිත් තම නිවසට නොකියන්නේ එබැවිනි.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ මාස ගණනක් තිස්සේ පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ මාලාව මෙහෙයවන්නේ සහාය අධ්‍යක්‍ෂ වී. උපාලි පෙරේරා මහතා සහ විධායක නිෂ්පාදක උපසේන මාරසිංහ විසිනි. උපාලි සහ ජින්නා වීමේ අපේක්ෂාවෙන් එන ළමෝ දෙස හාන්සි පුටුවකට වී දුම් පයිප්පයක් උරමින් බලා සිටින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ය. ඔහුගේ සහායට එන සුමිත්‍රා පීරිස් ය. වරින්වර එහි පැමිණෙන ට්‍රිලීෂියා ගුණවර්ධන සහ මහාචාර්ය ඒ ජේ ගුණවර්ධනය. නුහුරු නුපුරුදු මුහුණු අතරේ තනි නොවුණු , නමුත් තනියෙන් පැමිණෙන අජිත් සහ පද්මසේන ය. ඔවුන් දෙදෙනාම සම්මුඛ සාකච්ඡා වට සියල්ලටම පැමිණෙන්නේ තනිවමය. " අනෙක් ළමයි සමහරකගේ අම්මලා ඇවිල්ලා ළමයින්ට පවුඩර් දාලා ලෑස්ති කරනවා මම දැක්කා. සමහරු පොත කියවන්න දුන්නාම බිම දණ ගහලා රඟපාලත් පෙන්නුවා" එසේ පවසන අජිත් තමාට පොත කියවන්නටයැයි කියූ විට පාඩමක් කියවන ආකාරයෙන් ම කියවන්නට සිතුණු බව සිහිපත් කළේ ය. " අන්තිම කාලේ වෙනකොට අපි කට්ටිය නම් ගම් වලින් අඳුනගෙන හිටියා" තනිවම පැමිණි අනෙක් ළමයා , පද්මසේන සිහිපත් කරයි. අවසාන සම්මුඛ පරීක්ෂණයට පැමිණි පිරිස අතර සුදත් දේවප්‍රිය සහ දයාරත්න රටගෙදර ජයශ්‍රී විජේරත්න වැනි ළමා නළුවන් වූ බවත් දයාරත්න රටගෙදර පංතියේ සිසුවෙක් ලෙස රඟ පෑ බවද ද මඩොල් දූවේ අතීතය පවසයි. " අපේ ගෙවල් වල ටෙලිෆෝන් නෑනේ. මම ගුවන් විදුලියට ආපු වෙලාවක එහෙන් උපාලි පෙරේරා මහත්තයට කෝල් කළාම එයා මට කිව්වා මම තමයි ජින්නා ට තෝර ගත්තේ කියලා " යැයි පවසන පද්මසේන සන්නිවේදනය එතරම් නොදියුණු යුගයක ලියුමකින් දන්වන්නට පෙර පණිවුඩය දැනගත් පළමු ළමයා තමා විය හැකි බව පවසා සිනාසෙයි. නමුත් අවසානය වන තෙක් නිවසට නොදැන්වූ අජිත් ට සැහැල්ලුවෙන් සිනාසෙන්නට බැරිය. " අන්තිම ඉන්ටර්වීව් වලට ලියුම් වෙනුවට පෝස්ට් කාර්ඩ් එවපු නිසා හොස්ටල් එකම දැනං හිටියා මම මෙහෙම දේකට යනවා කියලා. කොල්ලෝ ටික මට සපත්තු වලින් මාලයක් එහෙමත් දානව විහිළුවට. ඒත් අපේ ගෙවල් වලින් දන්නේ නෑ" අවසාන සම්මුඛ පරීක්ෂණයට පෙර දෙමාපියන් දැනුවත් කර එක් අයෙක් සමග එන ලෙස දැන්වූ නිසා අජිත් පියාගෙන් බේරෙන්නට උපායක් යොදයි " ඉස්කොලෙන් කිව්ව දෙයක් නම් අපේ තාත්තා ඒ වචනෙට ඉහ මුදුනින් ගරු කරනවා. මම කිව්වේ ලෙස්ටර් මහත්තයා ඉස්කෝලෙට ඇවිල්ලා තෝරගත්තා කියලා. ඉන්ටර්වීව් ගිය කතා කිව්වේ නෑ. ඉතිං අම්මා කොහොම හරි තාත්ත්ව ශේප් කරගෙන මා එක්ක ආවා " ඒ ජින්නාගේ සහ උපාලිගේ මඩොල් දූව ගමනේ ඇරඹුමයි
" ලෙස්ටර් මහත්තයා මුල ඉඳන්ම කිව්වා ඔයාලා රඟපාන්න ඕනේ නෑ කියලා " ලාංකේය සිනමාවේ මහා පුරුෂයෙක් අබියස පද්මසේන නම් ගැටවරයාගේ අත්දැකීම් එලෙස ඇරඹේ. " සෙට් එකේදි අනික් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කළාට අපි එක්ක හොඳට සිංහලෙන් කතා කළා" යැයි පවසන පද්මසේන අතීත සිදුවීමක් සිහිපත් කරයි. ඔහු පවසන ආකාරයට මේ ලාංකේය සිනමාවේ දෙවැනි වර්ණ චිත්‍රපටයයි. අර්ථපතියා හට අදාල දළ සේයාපට සඳහා වියදම් දරන්නට හැකි වූවද හැත්තෑව දසකයේ විදෙස් ආනයන ප්‍රතිපත්තිය අනුව මුදල් තිබූ පමණින් රිසි රිසි දෑ ගෙන්විය නොහැකිය. එබැවින් දළ සේයා පට නාස්ති නොවන සේ ප්‍රවේශම් වන අතර ජින්නාව නයෙක් දෂ්ඨ කරන දර්ශනය කීපවතාවක්ම රූගත කරන්නට වූ පසු ළමා නළුවා ව කැඳවන අධ්‍යක්ෂවරයා සිංහල බසින් උපදෙසක් දෙයි. ඔහුට ඒ වචන අදටත් මතකය" පද්මසේන .. මේක වෛවර්ණ චිත්‍රපටියක් කියලා මතක තියාගන්න" ජින්නා ඒ පණිවුඩය තවමත් මතකයේ තබාගෙන සිටින විට උපාලි ගිණිවැල්ලේ ද තම අදහස එක් කරයි " ලෙස්ටර් මහත්තයා ලොකේෂන් එකේ දි රඟපාන හැටි උපදෙස් දෙන්නේම නැහැ. කෑම කන වෙලාවට අපි දෙන්නට අඬ ගහලා කියනවා එයා හිතන උපාලි ජින්නා මේ වගේ කියලා. එච්චරයි"
මඩොල් දූව යනු මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතියකි. අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ය. ජෝ අබේවික්‍රම , උපාලි අත්තනායක , ඩේවිඩ් ධර්මකීර්ති සහ ට්‍රිලීෂියා ගුණවර්ධන වැනි ප්‍රවීණ නළු නිළියන් ඇසුරේ රූගත කිරීම ඇරඹේ. ලෙස්ටර් මහතාගේ උපදෙස් පරිදි කොණ්ඩය වවා සිටි අජිත් ට පාසලෙන් තරවටු කිරීම් සිදු වුවද චිත්‍රපටය පිළිබඳව විදුහල්පති තුමා දැනුවත් කළ පසුව ඒ බාධා දුරු වේ. ගීතා සමන්මලී කුමාරසිංහ නම් වූ යොවුන් නිළිය සමග එකම පංතියේ සිටි පද්මසේන අතුකෝරාළගේ රංගන වරම ගැන ඔහුගේ විදුහල්පති තුමා උදෑසන රැස්වීමේදී පවසා ප්‍රශංසා ද කරයි. මිරිස්ස රෝමානු කතෝලික විද්‍යාලයේ රූගත කිරීම් අරඹන මඩොල් දූව නළු නිළි කැළ අද වන විට කොග්ගල නිදහස් වෙළඳ කලාපයට ආවරණය වූ ගුණපාල අයියාගේ හේන තුළින් මඩොල් දූව මැවූහ. " පෙරකදෝරුවාගේ දුවට රඟපෑවේ දමයන්ති ෆොන්සේකා " යැයි පවසන අජිත් ඒ වයසට දමයන්තිව දැන හැඳිනගැනීම මාලනී ෆොන්සේකා දැන හැඳින ගැනීමක් ලෙසින්ම දැනුණු බව පවසද්දී පද්මසේනගේ මතකයට නැගෙන්න සෝමරත්න දිසානායකව ය. " එයා තමයි ආණ්ඩුවේ නිළධාරියට හිටියේ" ඒ ඇරෙන්නට මාර්ටින් වික්‍රමසිංහ මහතා ද රූ ගත කිරීම් නරඹන්නට පැමිණි බව පවසන පද්මසේන ටයිටස් තොටවත්තයන් ද මඩොල් දූව සිනමාවට නගන්නට ඉල්ලූ බවත් තමා එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට දුන් බවත් වික්‍රමසිංහයන් පැවසූ බව පවසයි. " වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ලෙස්ටර් කියලා නෙමෙයි, ලැස්ටර් කියලා " ඒ අතරවාරයේ අජිත් ට අමතක නොවන තවත් චරිතයකි " කැමරා අධ්‍යක්ෂණය කරපු එම්.එස් ආනන්දන්ගේ දුව , ශ්‍යාමා ආනන්ද ඉඳහිට සෙට් එකට ආවා". අද වියපත් වූවද අජිත් ජිනදාස තුළ තවමත් සජීවීව සිටින යොවුන් උපාලි ගිනිවැල්ලේ පවසන්නේ එවකට යොවුන් නිළියක ලෙස ජනප්‍රියව සිටි ශ්‍යාමාගේ පැමිණීම ළමා නළුවන්ගේ මහත් උද්‍යෝගයට හේතු වූ බවය.
1974 දී රූ ගත කිරීම් ඇරඹෙන "මඩොල් දූව" 1976 අප්‍රියෙල් 02 දා කොළඹ රීගල් සිනමා ශාලාවේදී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පවත්වයි. එදා තනිවම එයට සහභාගී වන පද්මසේන අනුර බණ්ඩාරනායක මහතා සමග මිත්‍ර වේ. පසුව ඔහු මවුපියන් සමග ගාල්ලේ ප්‍රින්ස් සිනමා ශාලාවට ගොස් , එතෙක් ඔය චිත්‍රපටය කවදටද ඉතිං පෙන්නන්නේ යනුවෙන් නොකඩවාම අසමින් තිබූ ප්‍රශ්නයට පිළිතුර පෙන්වා දෙයි. චිත්‍රපටය තිරගත වන්නට පෙර දින මරදානේ සිට සිඩ්නි චන්ද්‍රසේකර සහ පාලිත හෑගොඩ සමග තමා සිටින කටවුට් සහ ෂෝ කාර්ඩ්ස් නරඹන්නට බොරැල්ල ලිඩෝ ශාලාවට යන අජිත් ජිනදාස හඳුනාගන්නා කළමණාකරු ඔවුන්ව තම කාර්යාලයට කැඳවාගෙන යයි. " මැනේජර් අපි අපි තුන්දෙනාව් වාඩි කරවලා නෙක්ටෝ බෝතල් දෙකක් කඩලා බොන්න දුන්නා" ඒ ඔහුව නළුවෙක් ලෙස හඳුනාගත් ප්‍රථම අවස්ථාව යැයි අජිත් පවසයි. ඒ දිනට පසු දිනයේ සිංහල සිනමාවේ 338 වැනි චිත්‍රපටය වූ "මඩොල් දුව" තිරගත කිරීම ඇරඹිණ. "පැය විසිහතරක් ඇතුළත මගේ මුළු ජීවිතයම වෙනස් වුණා". උපාලි ගිණිවැල්ලේ හෙවත් අජිත් ජිනදාස තම මතකය එලෙස වචනයට හැරවීය.

මවු බිමෙන් බොහෝ දුර ඈත රටක විසුවත්, ඔහුට තවමත් මඩොල්දූවේ සොඳුරු අතීතය අමතක නැත. පද්මසේන අතුකෝරලටද එහෙමය. එහෙත් එදා කොලු ගැටයන් ලෙස මඩොල්දූවට ගිය උපාලිටත් ජින්නාටත් හිමිවූ සරල, නිස්කලංක ජිවන රටාව අද අප සිටින වටපිටවෙහි නැත. කලකට පසු මවුබිමට පැමිණි අජිත් ජිනදාස සහ පද්මසේන අතුකෝරල එකට මුණ ගස්වා "උපාලියි-ජින්නයි කලකට පසු හමුවෙලා" යන කැප්ෂනය සහිතව පළ කළ හැකි ඡායාරුපයක් අපට ගන්නට බැරි වුනේ ඒ නිසාය.

ලක්බිම | මංජුසාව | 2018 ජනවාරි 28  | සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ

http://epaper.lakbima.lk/oldpapers/daliylakbima/2018/January/last_28_01_18/manjusawa.pdf
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ඒක පට්ට.. මම අන්තිම වෙනකං හිතුවේ මුන් දෙන්න එකට තියල ඉන්ටර්වීව් කරා කියල.. :))

    ReplyDelete