ඕ .. ඕ .. කාන්තාබේන් - ජනතා විමුක්ති පෙරමුණ


රටක නීතිය කාන්තාවන්ට සහ පුරුෂයින්ට වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට එරෙහි උත්සාහය බේබද්දියන් වැනි තැනකින් ලඝු කිරීමට හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිනියක් ගෙන තිබූ උත්සාහය විකාරසහගතය. ඇය තවදුරටත් පක්ෂ ක්‍රියාකාරිනියක නොවේ යන්න හෝ පක්ෂයේ කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ මතවාද පිළිබඳ අභ්‍යන්තර ස්ථාවරය පොදු ජනතාවට අදාල නොවේ. මන්ද යත් ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන පක්ෂයක් ලෙස අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව වඩාත් සාධනීය ලක්ෂණ පෙන්වමින් සිටින අතරවාරයේ පුරුදු ගෝත්‍රික කම් ඉඳහිට පෙන්වන ජන කොට්ඨාසයක් බැවිනි.
තමාට දිරවන්නේ නැති ගැහැණුන් හෝ ගැහැණු චර්යා කෙරෙහි බේබදු ලේබල් ඇලවීම සමන්මලී ගුණසිංහ පවුලෙන් ගෙන ආ චාරිත්‍රයක් නොවන්නේය. තමන්ට ළඟා විය නොහැකි තැන් වලට ළඟා වන්නන් පිළිබඳව NGO සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන භයානක කතා නිර්මාණය කිරීම විමල් වීරවංශගේ ජන්ම පුරුද්දක් නොවන්නේය. ඒවා ජනතා විමුක්ති පෙරමුණෙහි ජානගත රෝගයන් ය. හතළිහ දසකයේ සිදු වූ හිරෝෂිමා - නාගසාකි පරමාණුක ව්‍යසනයේ බලපෑමෙන් අදටත් ජපානයේ විකෘති දරුවන් උපදී. ජවිපයට ඇත්තේ ඊටත් වඩා අඩු ඉතිහාසයකි.
එදා පක්ෂය සටන් කළේ සිටු පෙළපත සඳළු තලෙන් මහපොළවට ගෙන එන්නටය. සුර සැප විඳින ධනපති පංතියට අභියෝග කළේ මහපාරට බැස තම සටනට එක්වන ලෙසය. ඉදින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සේවකයෙකු වූ චාල්ස් අබේසේකරගේ දියණිය, සුනිලා අබේසේකර මේ සටනට එක් වූවාය. කොළඹ බිෂොප් විද්‍යාලයේ ඉගෙනුම ලබා ජාත්‍යන්තර භාෂාවන් හැසිරවීම පිළිබඳ මනා පරිචයකින් යුතු ඇය පක්ෂයේ විමුක්ති ගී ගයන්නට ද එක් වූවාය. ගමේ දහම් පාසලේ භක්ති ගීත ගයා , වීදි නාට්‍යවල , විකල්ප ධාරාවේ නිර්මාණ වල ගායනය ප්‍රගුණ කර නන්දන මාරසිංහගේ විමුක්ති ගී ගයන පිරිස අතරට සම්ප්‍රාප්ත වන්නේ කොළඹ සංස්කෘතියේ අපරදිග සංගීතය හැදෑරූ, ප්‍රේමසිරි කේමදාස යටතේ චිත්‍රපට පසුබිම් ගායනයට ද ඇරියුම් ලබන ගායිකාවකි. අවසානයේ විමුක්‍ති ගී කණ්ඩායමෙන් ද නෙරපා හැරෙන සුනිලා කෙලී සේනානායක සමග පක්ෂය හැර යන්නීය. ජාත්‍යන්තර භාෂා හැසිරවීමේ කෞෂල්‍යය නිසාම ඇයට ලැබුණු විදෙස් සංචාර පිළිබඳව ක්‍රෝධයෙන් පසුවන පක්ෂය ඇයට ආක්‍රෝස පරිභව කරන්නේ " විදෙස් සංචාර වලට කෑදර ගැහැණිය" ලෙසය.
1993 දී ප්‍රංශයේ පළ වන " අරුණෝදය" නම් ජ.වි.පෙ පුවත්පත වාර්තා කරන්නේ සුනිලා අබේසේකර නම් සම්භාවනීය ගණිකාව ස්විට්සර්ලන්තයට ගොස් පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණ කර ඇති බවය.
ඉතිහාසය මනාව හදාරන්නෙක් හට සුනිලා අබේසේකර සහ ඇගේ පසුබිම හදාරා ජනතා විමුක්ති පෙරමුණ ඇය සමග වෛර බඳින්නට සැබෑ හේතුව කුමක්දැයි අවබෝධ කර ගත හැකිය.
එතැනින් එහාට ඒ මතවාදීන්ම අද දවසේ කාන්තාවන් වෙනුවෙන් හඬ නගන අයව බේබද්දියන් ලෙස හැඳින්වීමේ අරුමයක් 
නැත.

ජනතා විමුක්‍ති පෙරමුණෙහි සියලුම සාධනීය ලක්ෂණ අතරින් එදා සිට අද දක්වාම හැලී නැත්තේ මේ වලිග කෑල්ලය. Kal Ho Naa Ho චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් ගේ නිවසේ සිටින මෙහෙකාරිය කාන්තාබේන් ය. ඇය නිතරම හැම දෙයක්ම ගෝත්‍රික ඇහැකින් දකින්නීය. ඒ ගැන වෙව්ලා බියවන්නීය. අනෙක් අයටද තම බිය පෙන්වා අප්‍රසාදය පළකරන්නීය. තමාගේ නොතේරුම් කම නිසා වැරදි වැටහීම් ඇති කරගෙන මැදට පැන කඩා වැද විකාරයක් වන්නීය.
එදා සිට අද දක්වාම ජ.වි.පෙ තුළ ද මේ කන්තාබේන් ප්‍රබලව ජීවත් වන්නීය. ඇය වරින් වර රෝහණ විජේවීර ,විමල් වීරවංශ , සෝමවංශ අමරසිංහ, ලාල්කාන්ත හරහා ද, අන්ත‍රය , සමන්මලී ගුණසිංහ හරහා ද පැමිණ මේ ඡායාරූපයේ ආකාරයට බීම වීදුරුව ඉහිරුවා ගන්නීය.
එසඳ ; අපි ජනතා විමුක්ති පෙරමුණ දෙස බලා මෙසේ ගයන්නෙමු.
ඕ .. ඕ .. කාන්තාබේන් ...
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment