එය සංසාරික ප්‍රේමයක් යැයි නොපවසමි. නුමුදු එය මීදුමක් ලෙස සැහල්ලුවෙන් මැකී යා හැකි සෙනෙහසක් නොවන බැව් වැටහී අවසානය.
හදිසියේ ඇවිලුණු කුඩා ගිනි පුළිඟුවක් දීප්තිමත් ගිනිදැල්ලක් බවට පත්ව තිබිණ. එපුවත් අප නොදැන සිටියෙමු. නුමුදු සඳුන් වනයක් දවා හළු කරමින් පැතිර ගිය එපෙම් ගිනිකඳ අප උණුසුම් කළ බවත් අප එගින්නෙහි ආලෝකමත් ස්වරූපයට ලොල් වූ බවත් සැබෑවකි. ප්රොමිතියස් , දෙවියන්ගෙන් සොරා ගත්තේ ඒ ගින්නදැයි සිතෙන තරමට , ඉහළ අහසේ සිට බලන ජුපිටර් ට ඊර්ෂ්යා සිතෙන තරමට එගිනි කඳ සුවදායකය. මේ පුළිඟුව අවදි වන්නට පෙරාතුව ඔබටත් මටත් සීතලෙන් ගල් ගැසී සිටි , එකලා යුගයක් තිබිණිදැයි අමතක වන තරමට අප එගින්නට ලොබ බැන්දෙමු.
විටෙක මෙගිනි උණුසුම් වැඩි යැයි සිතමි. ධ්රැවයට වී සීතලේ මියැදීම යහපතැයි සිතමි. දුක වුවද ඔබ ඇසුරේ දී මෙතරම් රුදු ලෙස නොදැනුණු බව සිහිවද්දී උණුසුම් අතීතය සිහිනයක් මෙන් සිත පාරවයි. ඒ සුවදායක උණුසුමෙහි මුහුණුවර හෝ බලා සැනසීමට ආපසු හැරී බලනෙමි. ඔබ මා අසලින්ම මා හා සමග පැමිණ ඇත. මෙතෙක් දින මා සීතලෙන් ගල් ගැසී නොමියෙන්නට හේතුව මා වටහා ගනිමි.
දනිමි. දමා යන්නට නොහැකි බව සහ දමා නොයන බව. හදිසියේ සමුගන්නට සිදු වුවත් .... එදා අප විඳි සුවඳ අත් හැර යා නොහැකි බව. ඔබ ... .. ..... ... සෙවණැල්ලක් වී
මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී
සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියත් නිවී යාවිදෝ
කඩා වැටෙන මහ වැස්සට සේදී
මලෙක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වූවත්
අපට දැනුන සුවඳ මැකී යාවිදෝ
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව : විජේරත්න රණතුංග
0 comments:
Post a Comment