ජනවාරි 17 : පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කෙරේ



1961 වසරේ අද වැනි දවසක කොංගෝ ජනරජයේ මහජන ඡන්දයෙන් පත් වූ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බා වෙඩි තබා ඝාතනය කෙරිණ. කොංගෝ ජාතික පෙරමුණට නායකත්වය සපයමින් තම මව්බිම බෙල්ජියමේ යටත් විජිතභාවයෙන් මුදාගන්නට සටන් කළ මේ මිනිසාගේ උත්සාහය සාර්ථක විය. 1960 ජූනි මස 30 වැනිදා කොංගෝ ජනරජය නිදහස් රාජ්‍යයක් බවට පත් වේ. නමුත් සය මසක් ගතවන්නට ප්‍රථම පැට්‍රිස් ලුමුම්බා අබිරහස් අන්දමින් ඝාතනය වේ. ඔහුගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව අදටත් හෙළි නොවූ කරුණු කාරණා බොහෝය.
බෙල්ජියමෙන් නිදහස ලබන කොංගෝ ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පැට්‍රිස් ලුමුම්බා පත්වන්නේ 1960 වසරේ ජූනි මස 24 වැනිදා ය. නමුත් සැප්තැම්බර් 14 වැනිදා වන විට එම රජය පෙරළා දැමීමට තරම් කොංගෝව දෙස උකුසු ඇස් හෙළා සිටි අදිසි බලවේගයන් ප්‍රබල වේ. කෝංගෝ ජනරජයේ එක් ප්‍රදේශයක් වූ කටන්ගාහි පාලනය බෙදුම්වාදීන් පිරිසක් නතුව තිබූ අතර මේ සියලුම කුමන්ත්‍රණ පසුපස ඔවුන් විය. කටන්ගා යනු විදෙස් බලවතුන්ගේ උකුස් ඇස් වලට හසුව තිබූ සම්පත් ආකරයකි. දියමන්ති , යුරේනියම් , තඹ , රේඩියම් , ටින් සහ කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් අනූන වූ කටන්ගා ව බෙල්ජියානු සමාගම් විසින් හූරා කනු ලැබූ අතර ලුමුම්බා ප්‍රමුඛ රජයේ අදහස වූයේ සෝවියට් රජයේ උපකාරයෙන් එහි පාලනය අත්පත් කරගැනීම ය.


සැප්තැම්බර් 14 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් රජය පෙරළා දැමේ. අනතුරුව නිවාස අඩස්සියට පත්වන පැට්‍රිස් ලුමුම්බා නිදහස් කරන ලෙස සෝවියට් රජය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය කෙතරම් ඉල්ලීම් සහ නියෝග පැනවුවද ඉන් පලක් නොවිණ. හමුදා පාලකයින්ට සහ බෙල්ජියානු නිළධාරීන්ට ලුමුම්බා මැඩලීමේ දැඩි උවමනාවක් තිබිණ.
පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කර ඇතැයි යන රාවය පැතිර ගිය නුමුදු කොංගෝ පාලකයින්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. පෙබරවාරි 13 වැනිදින කටන්ගානු ගුවන් විදිලි නාලිකාවකින් ඒ බව පැවසේ. ලුමුම්බා සහ තවත් දෙදෙනෙක් නිවාස අඩස්සියෙන් පැන යනවිට ගම්වාසීන්ගෙන් පහර කා මිය ගොස් ඇතැයි එයින් කියවිණ. නමුත් සත්‍යය කිමෙක්දැයි දන්නා කොංගෝ වැසියන් කුපිතව වීදි බැස විරෝධතා දක්වන්නට විය.


පසුව හෙළිදරවු වූ ආකාරයට කටන්ගාවේ අති දුෂ්කර ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන එන ලුමුම්බා සහ තවත් දෙදෙනෙකු අප්‍රිකානු භටයින් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. අණ දෙන නිළධාරීන් ලෙස කටයුතු කර තිබුණේ බෙල්ජියානු පොලිස් භටයින් දෙදෙනෙකි. ඒ වනවිට කටන්ගාව ස්වයං පාලනයක් ගෙනගිය හෙයින් එහි පාලකයා ද ලුමුම්බා ඝාතනයට දායක වී ඇත. අගලකට දැමූ මළ සිරුරු සති කිහිපයකට පසු නැවත වරක් ගොඩගෙන රොඩේෂියාවට ආසන්න බිම්කඩකට ගෙන යයි. කුණු වෙමින් තිබූ මළ සිරුරු තුන කුඩා කැබලි වලට කපන කොංගෝ හමුදාව සල්ෆියුරික් අම්ලය යොදා ඒවා දිය කර හැරි බව ද සඳහන් ය. මේ සියල්ලම ලුමුම්බාගේ ඝාතනයෙන් නිදහස් වීමටය.

1961 ජනවාරි 17 වෙනිදා කොංගෝවට නිදහස සොයා ගිය පැට්‍රිස් ලුමුම්බා මෙලොවින් සමු ගන්නේය. පෙබරවාරි 21 වැනිදා ගව් දහස් ගණනකින් එහා දුර රටක් වූ රුසියාවේ මිත්‍රත්ව සරසවිය පැට්‍රිස් ලුමුම්බා සරසවිය ලෙස නම් කෙරෙන්නේ ඔහුගේ වියෝව සිහි කරනු පිණිසය.
සැබෑ මිනිසුන් වෙඩි තබා කෑලි කපා හෝ දියකර හැරිය නොහැකි බව අපට පවසන්නේ කොංගොවේ සිටි ලුමුම්බා ය. එය සනාතන සත්‍යක් බව සිහිකර දෙන්නේ රුසියාවේ ලුමුම්බා සරසවිය ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment