අතීතයේ ගඟ ගලා යන්නේ පෙම් ඉවුරු , ලවැලි තලා පසු කරමිනි. මා එහි දියබත්ව හිඳිමි. නුමුදු ඉවුරකට ගොඩවනු නොහැකිය. ඔබත් මමත් පමණක් දන්නා ඒ හේතුව සමගින්ම ගං පතුල වෙත ඇදී යන්නට ඉඩ දෙන්න. පැරණි මතක සමුදායෙන් මා මුදන්න.
පුංචි බොරැල්ලේ බෝධිය අස හුනස්නෙන් නැගිටිමි. දස වසකට පෙර දවසක අපේ සන්ධ්‍යව ඇරඹෙන්නේ ඒ ඉදිරිපසිනි. ආදර අංකුර හටගත් ජනාකීර්ණ එනමුත් රමණීය බිම් පෙදෙස තවමත් උදාසීනව, හැඟීම් විරහිතව අප එනතුරු බලා හිඳී. එදා තක්සලා බිම් වලට නුදුරින් ඉහළ අහසේ ඇඳී ගිය පෙම් දේදුණු අද සෙවීමෙන් පලක් නැත. ඉතිරිව ඇත්තේ අඳුරු වළකුලු පමණකයි දැන දැනම අහස දෙස බැලීමෙන් පවා පල නැත. ඉදින් .... හිත කීරි ගස්වන අකුණු පහරක් වන් හැඟුම උසුලාගත නොහැකි තැන මම හුනස්නෙන් නැගිටිමි. නමුත් කෑ ගසා නොහඬමි.
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
එතැන් සිට ඇරඹෙන්නේ අපට වෙන් වූ ගමන්මගය. අප පෙම් පියවර යොදුන් කිහිපයකට සීමා වුවද අත්තටු මැවුණු සිතිවිලි හන්තානටත් එහා ලෝකයකට පියාසර කළ හැටි මතකද ? මග දෙපස ඉඳ හිට දකින ගස් සෙවණක අදත් නතර වී බලමි. සෙවණත් සිසිලත් උරණ ව ගස අතැර ගොසිනි. එදා ඔබගේත් මගේත් පිළිබිඹු පැහැදිලිව සිතුවම් කළ මග දෙපස පොත් කඩවල පිරී ඉතිර ගිය පොත් රාක්ක අද දූවිලි වැරැහිල්ලකින් සැරසී නුරුස්නා ලෙස මා දෙස බලන්නේ මන්ද ? මා නොදනිමි….
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා
මා දන්නේ මෙපමණකි ........ ප්‍රේමය ද සිහින් සාංකාවකි. ඇති විට නොතැවෙන නැති විට තැවෙන සිහිනයක අන්තිම මිනිත්තුවකි.
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ පාසැල් බිමේ
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා
ගායනය : නන්දා මාලිනී
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය : වික්ටර් රත්නායක
චිත්‍රපටය : වජිරා -1981
0 comments:
Post a Comment