ජූලි 30 : ඩන්කන් වයිට් සිලෝන් දේශය වෙනුවෙන් මුල්ම ඔලිම්පික් පදක්කම දිනා ගනී


1948 වසරේ අද වැනි දවසක සිලෝන් ක්‍රීඩක ඩන්කන් වයිට් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමක් දිනා ගත්තේය.
එය 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලය. තරග ඉසව්ව මීටර 400 කඩුළු පැන දිවීමය. පළමු අවසන් පූර්ව තරගයේ තුන්වැන්නා ලෙස තරගය නිම කළ ඩන්කන් වයිට් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය. එකල අවසන් තරගය සඳහා තෝරාගන්නේ ක්‍රීඩකයින් හය දෙනෙකු පමණක් වූ අතර අවසන් පූර්ව වටයේ තරග නිමි කාලයට අනුව ඩන්කන් වයිට් සිටියේ සිව්වැනි ක්‍රීඩකයා ලෙසය. ඇමරිකානු සහ ස්වීඩන ක්‍රීඩකයින් දෙදෙනාම අවසන් පූර්ව තරග ද්විත්වය ජයග්‍රහණය කළේ තත්පර 51.9 ලෙස නව ඔලිම්පික් වාර්තාවක් ද තබමිනි.
අවසන් තරගය නිම විය. තත්පර 51.1 ලෙස තරගය නිම කළ ඇමරිකානු ක්‍රීඩකයා නැවත වරක් ඔලිම්පික් වාර්තාව අලුත් කරනු ලැබූ අතර සිලෝන් ක්‍රීඩක ඩන්කන් වයිට් තත්පර 51.8 ක් ලෙස තරගය නිම කරමින් රිදී පදක්කම දිනුවේ ස්වීඩන ක්‍රීඩකයාට ලෝකඩ පදක්කම උරුම කරමිනි. දහ හතර වැනි ඔලිම්පික් උළෙලේ දී සිලෝන් දේශය ලද ඔලිම්පික් පදක්කම් සතුට ඔවුනට නැවත උදාවන්නේ වසර 52 කට පසුවය. එනම් 27 වැනි ඔලිම්පික් උළෙල වූ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ය.
" මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවනීය එකක් බව දනිමි. නමුත් "සිංහ" ප්‍රණාමය මට ඊටත් වඩා ගෞරවනීය හැඟීමක් ගෙන දුන්නේය." එවකට 29 හැවිරිදි වූ ඩන්කන් වයිට් නැවත ලංකාවට පැමිණ ගෞරවාභිමාන මැද එසේ පැවසීය. ඔහු ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඩන්කන් වයිට් පාසල් කාලයේ දී මළල ක්‍රීඩා වෙනුවෙන් "ත්‍රිත්ව සිංහ" (Trinity Lion) සම්මානයෙන් පුද ලැබූ නුමුදු පාසල් සිසුවෙකු ලෙස සිදු කළ විනය කඩකිරීමක් හේතුවෙන් එම සම්මානය අවලංගු කර තිබිණ. 1937 වසරේ දී පාසල් අධ්‍යාපනය හමාර කළ වයිට් හට 1948 වසරේ දී නැවත වරක් " ත්‍රිත්ව සිංහ" සම්මානය පිදීමට පාසල් බලධාරීන් කටයුතු කළහ. ඔහු ඔලිම්පික් පදක්කමටත් වඩා ගෞරවයක් ලෙස හැඳින්වූයේ ඒ සම්මානය ය.
ඩන්කන් වයිට් ගේ සොහොයුරෙක් වූ ෆ්‍රෙඩ්‍රික් වයිට් ද ආසියානු තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ මට්ටමේ හොකී ක්‍රීඩකයෙකි. ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව උසස් අධ්‍යාපනය පිණිස ශිෂ්‍යත්වයක් ලබන ඩන්කන් වයිට් එම අධ්‍යාපන කටයුතු හදාර නැවත ලංකාවට පැමිණ මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශාරීරික යෝග්‍යතා උපදේශකයෙකු ලෙස ද පාසල් මළල ක්‍රීඩා සම්මේලනයේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. අනතුරුව නයිජීරියානු සරසවියක උපදේශක ධූරයත් සමගම ලංකාවෙන් දුරස් වන ඩන්කන් වයිට් සිය බිරිඳ ඇන්ජෙලා සීබල් සහ දරුවන් සයදෙනා සමග ස්ථිර පදිංචිය පිණිස එංගලන්තයේ නිනීටන් තෝරා ගනු ලැබීය.
1948 වසරේ දී බ්‍රිටිෂ් සිලෝනීස් ක්‍රීඩකයෙකු ලෙස තම මව්බිම වූ සිලෝන් දේශයට ගෞරවය අත් කර දුන් ඩන්කන් වයිට් නාමය අදටත් ඉතිහාසගත ය. සුසන්තිකා ජයසිංහ නොවන්නට අදටත් ශ්‍රී ලංකාවට හිමි එකම ඔලිම්පික් පදක්කම ඩන්කන් වයිට්ගේ ය. එදා සිලෝන් සහ අද ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන මේ දූපත උදෙසා සෑම සියලු ජාතියක්ම පාහේ තම ශ්‍රමය වගුරුවා ඇති බවට කදිම නිදසුනක් වන්නේ ඩන්කන් වයිට් දිනූ රිදී පදක්කමය.
ඔහු සිලෝන් දේශයට රිදී පදක්කමක් දිනා දුන්නේය. පසුව ජාති ආගම් බේද නොදකිමින් එංගලන්තයේ වෝරික්ෂර් ප්‍රාන්තයේ නිනීටන් හි සාමකාමීව ජීවත්ව 1998 ජූලි 03 වැනිදා එහිම සමාදානයේ සැතපිණ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: