1944 වසරේ අද වැනි දවසක ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් ගෙස්ටාපෝ රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනු ලැබිණ.
කවුරුන් හෝ විසින් ඔවුන්ව පාවා දී තිබිණ. අගෝස්තු පළමු වැනිදා තම ඉරණම්කාර දිනපොතෙහි අවසන් සටහන තබන මේ පසළොස් හැවිරිදි යෞවනිය ජීවිතය ගැන ගොඩ නගාගෙන තිබූ ප්‍රාර්ථනා ඇසට කඳුළු ගෙන එන්නට සමත්ය. යුදෙව්වන්ට එරෙහි පීඩාවන් ඉහළ යන විට සිය පියා සේවය කළ ගොඩනැගිල්ලේ සැඟව සිටි ඈන් සහ පවුලේ සාමාජිකයින් අවුට්ස්විෂ් වධකඳවුර වෙත යොමු කෙරුණු අතර ඉන් අනතුරුව බර්ගන්-බෙල්සන් (Bergen-Belsen) සංකේන්ද්‍රණ කඳවුරෙහි ගාල් කරනු ලැබීය. වසරක් ගත වෙන්නට මත්තෙන් කඳවුරේ ව්‍යාප්ත වන උණ රෝගයකින් ඈන් ෆ්‍රෑන්ක් මෙලොව හැර යන්නේ ඇය හා ඇගේ සදාදර දිනපොත පිළිබඳ කඳුළු මතකයක් ලෝකයට තිළිණ කරවමිනි. එය ඇගේ දහතුන් වැනි උපන්දිනය වෙනුවෙන් පියා තිළිණ කළ දිනපොතකි.
" මිය ගිය අයට ලැබන මල් පොකුරු ගණන ජීවතුන් අතර සිටින අයට ලැබෙන මල් පොකුරු ගණනට වඩා ඉහළය. කෘත ගුණ සැලකීමට වඩා පසුතැවිල්ල බලවත් බැවිනි" ඇය දිනපොතේ එසේ ලීවාය. කඳුළු මතකයක් ලොවට උරුම කර ඉතිහාසයේ අඳුරු තැනෙක සදාකාලික නින්ද පැතුවාය.
ඈන් ෆ්‍රෑන්ක් යනු සුළුතර සත්‍යයක් මත ව්‍යාප්ත කරන ලද බහුතර කල්පිතයකැයි තර්ක කරන්නන් ද නැතුවා නොවේ. නමුත් ඈන් ෆ්‍රෑන්ක් ගේ අකුරු වලට අභියෝග කරන්නට , සැක සිතන්නට වුවමනා නැත. රුහුණු සරසවියේ මානව හා ශාස්ත්‍ර පීඨයේ දර්ශන විද්‍යාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයා වු සත්‍යපාල වන්නිගම අතුරුදන් වන්නේ 1987 දීය. එළියකන්ද වධ කඳවුරේ බිත්තියක බිම් මට්ටමේ ඔහුගේ නම කුරුටු ගා තිබුණු බවට පැතිරුණු කතා ද කල්පිතයක් හෝ ප්‍රබන්ධයක් විය හැකිය. නමුත් එය එසේ අමතක කළ පමණින් 88-89 කාල වකවානුව අතිශය සුන්දරව පෙනෙන්නේ නැත. ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත ද එබඳුය
වඩා වැදගත් වන්නේ ඇගේ දිනපොත මානව සංහතිය වෙත පවසන පණිවුඩය තේරුම් ගැනීමය.
-
මේ ඊයේ මේ පොත කියවන්න පටන්ගත්තා... තාම ඉවර කලේ නෑ...
ReplyDeleteඇයගේ මේ සටහන් a, b, c පිටපත් වශයෙන් තියනවා නේද...