සිම්සන් නෝනා ආදරී
හිතට බොහොම වී පිරී
දෙයියනෙ හිතට දුකයි
ආලේ ලීලේ ඒ තමයි"
ගිංතොට ගම් රොද ට ආ කවිකොළ කරුවෙක් ඉතා දුක්බර හඬින් , කරේ තිබුණු ලේන්සුවෙන් නාසය සූරා දමමින් , දෑසේ කඳුළු ද පිසිමින් ගයනු ඒ කුඩා දැරිය ට හොඳහැටි මතක ය. එංගලන්තයේ රජු ව සිටි අටවැනි එඩ්වඩ් කුමරු වැලීස් සිම්ප්සන් නම් දෙවරක් විවාහ වූ ඇමරිකානු කාන්තාවක විවාහ කරගැනුම පිණිස රජ කම අත් හළ පුවත කවියෙන් කියැවෙන බව දැරිය ගේ පියා පැවසුවේ ය. වර්ෂ 1937 දී ලොව ම කළඹවමින් රජ කිරුළ අත්හළ අටවැනි එඩ්ව්ඩ් තම සිත්ගත් වැලීස් සිම්සන් ව විවාහ කරගන්නා විට මේ දැරිය ට වයස අවුරුදු නමයක් පමණි. එංගලන්තයේ රජ කිරුළ එඩ්වඩ්ගෙන් බාල සොහොයුරු හයවැනි ජෝර්ජ්ට ත් ඔහුගෙන් පසු ව වැඩිමල් දියණිය එලිසෙබෙත් ටත් උරුම විය. එලිසෙබෙත් රැජණ ගේ බාල මුණුබුරු වන හැරී කුමරු ද පෙර විවාහ යකින් වෙන් වුණු මේගන් මාර්කල් නම් යුවතියක සමග යුග දිවිය අරඹන්නේ වර්ෂ 2018 දී ය. පස්වැනි ජෝර්ජ් රජුගේ කාලයේ ඉපිද අටවැනි ජෝර්ජ් රජු ගැන කවි කොළ අසමින් , හයවැනි ජෝර්ජ් රජුගේ කාලයේ ලංකාව ට නිදහස ලැබෙන ආකාරය දුටු දැරිය ; දෙවැනි එළිසෙබෙත් ගේ මුණුපුරා විලියම් කුමරු හට දරු තිදෙනෙක් ලද පුවත ද පුවත් පතින් , රූපවාහිනියෙන් නරඹන්නී ය. මේ සියලුම කාලවකානුව තුළ ඒ දැරිය නොකඩවා කළ එකම එක දෙයකි. ඒ නොනවත්වා , තම සිතට නැගෙන දෑ තමාට රිසි ආකාරයෙන් චිත්‍රය ට නැගීම ය. ඇය නමින් සිබිල් වෙත්තසිංහ ය.
"අපේ අම්මා මාව කොළඹ ගෙනාවේ ආකිටෙක්ට් කෙනෙක් කරන්න කියලා හිතාගෙන. මට පොඩි කාලේ ඉඳන් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නිසා අම්මා ට එහෙම උවමනාවක් ඇති වුණා.අම්මගේ පැත්තේ නෑදෑ ආකිටෙක්ට් කෙනෙක් හිටියා. එයා අඩු වයසෙන් නැතිවෙලා. ඒ නිසා අපි අච්චර අපූරු ගමේ ගෙදර අත ඇරලා වැල්ලවත්තේ පේළියට කාමර තියෙන ගෙයක ට ආවා" සිබිල් ද සිල්වා හෙවත් සිබිල් වෙත්තසිංහ කිසිදු අපැහැදිලි වර්ණයකට ඉඩ නොතබා දීප්තිමත් ලෙස අතීත සිතුවම වර්ණ ගැනිවීම ඇරඹුවා ය. ඒ කතාවේ එන කුඩා සිබිල් ට ගම අමතක කිරීම ට නොහැකි නිසා ඇය ගමේ අත් විඳි දෑ පිළිබඳ මතකය කළු - සුදු චිත්‍රයට නගා ගේ පුරා එල්වා තබන්නී ය. තම දියණියගේ සිතුවම් කීපයක් කොළඹ කලාභවනෙහි පැවති ප්‍රදර්ශනයක ට තබන්නේ සිබිල්ගේ පියාණන් වන හික්කඩුවගේ සවුදේරිස් ද සිල්වා විසිනි. මේ බුහුටි චිත්‍ර දකින කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මුගුරු වන එච්.ඩී. සෝමපාල මහතා සහ එම විදුහලේ ම චිත්‍ර කලා ගුරුවරිය වන ඔහුගේ බිරිඳ ළමා චිත්‍ර ශිල්පිනිය සොයා නිවෙසට එති. " සුගතපාල මහත්තයා ට ඕනේ වුණේ කියවීම් පොතක ට චිත්‍ර අන්දව ගන්න. ඒත් අපේ අම්ම එයාලා ව බැණලා එලවගෙන" සිබිල් වෙත්තසිංහ ට ඒ මතකය ආනන්දජනක ය. " මම මේ ළමයාව කොළඹ ගෙනාවේ වෙන අරමුණක ට කියලා අම්මා කිව්වලු. ඒත් අන්තිමට සුගතපාල මහත්තයා කණිපින්දම් කියලා කියලා අම්මා ව කැමති කරවගත්තා". කේ.ඩී ජෝස්ලින් ද සිල්වා හෙවත් සිබිල් ගේ මවගේ අවසරයෙන් සුගතපාල ද සිල්වා මහතා ගේ නිවෙසට යන පහළොස් හැවිරිදි සිබිල් 'නවමග පස්වෙනි ප්‍රමාණයේ කියවීම් පොත' ට අදාල සියලුම චිත්‍ර අඳින්නී ය. ඇපොතිකරීස් සමාගම මගින් මුද්‍රණය කළ එම කෘතිය ට චාර්ල්ස් අබේසේකර , රෙජී සිරිවර්ධන සහ සුමනා සපරමාදු වැන්නන් ලිපි සම්පාදනය කර තිබූ බව සිබිල් ට මතක ය. ලංකාවේ මුල් ම වර්ණ මුද්‍රිත කෘතිය වූ 'නවමග පස්වෙනි ප්‍රමාණයේ කියවීම් පොත' කියැවූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිබිල් ගේ චිත්‍ර බෙහෙවින් අගය කර ඇත " මේ ළමයා ට චිත්‍ර ශිල්පිනියක් විදියට හොඳ අනාගතයක් තියෙනවා කියලා වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා. ඒ බව දැනගත්තාම අපේ අම්මාගේ තහංචි අඩු වුණා" සිබිල් ගේ මතක සිතුවම පුරා සිනහ වර්ණය විසිර ගියේ ය. "මොකද මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ අපේ අම්මගේ ප්‍රියතම ලේඛකයා. අර කතාවෙන් පස්සේ ඔක්කොම දේවල් කණපිට හැරුණා. මට චිත්‍ර අඳින්න නිදහස ලැබුණා"
නවමග පස්වෙනි ප්‍රමාණයේ කියවීම් පොත |
ගිංතොට යි මගේ ගම. ගාලු පුරයට ඉතා ම කිට්ටු යි. මල් , පළතුරු , ගහ කොළවලින් පිරුණු , නිතර ම සිසිල් සුළඟ හමන ගම්මානයක් , ගිංතොට" යනුවෙන් සිබිල් ලියා තබන්නේ ඇගේ 'වැනියං කළු වැනියං" කෘතියෙහි ය. සිබිල් වෙත්තසිංහ සහ ගිංතොට ගම අතර ඇත්තේ සුන්දර මතක බැඳීමකි. එය මෙලෙස වචනයට නැගේ.
"ඒ කාලේ අපේ ගම් වල තිබුණේ බර කරත්ත යි , තිරික්කල යි, බක්කි කරත්තයි විතරයි. බක්කි කරත්තය තිබ්බෙත් වෙද මහත්තයා ට" ඇය අද ඊයේ දුටු දසුනක් මෙන් විශ්වාසයෙන් ඒ මතකය පෙළගස්වන්නී ය. "වෙද මහත්තයා තිරික්කලෙන් ගෙවල් වලට ම ඇවිල්ලා අහනවා 'ළමයි සනීපෙන් ද' කියලා. අසනීප නම් බෙහෙත් දෙනවා" එසේ පවසන සිබිල් වෙත්තසිංහ හය හැවිරිදි දැරියකගේ දඟකාර ජීවිතය තුළ ට එබෙන්නී ය."එහෙම ආපු එක වෙද මහත්තයෙක් මුස්ලිම් ජාතිකයෙක්. ඔළුවට තොප්පියක් දාගෙන එහෙමයි එන්නේ" ඇය තොප්පිය සහිත හිසින් පැමිණෙන වෙද මහතා රඟ දක්වන්නී ය. "අපි එයාට කියන්නේ තම්බි වෙද මහත්තයා කියලා. අපේ නෑදෑ අයියා කෙනෙක් එයා ආවාම හයියෙන් කියන්න කියලා මට කවියක් ඉගැන්නුවා . මමත් ඉතිං පාඩම් කරගෙන ඉඳලා වෙද මහත්තයා බක්කි කරත්තෙන් බැහැලා එනකොටම ගිරවා වගේ ඒක කියාගෙන ගියා" සිබිල් ට අදටත් ඒ කවිය මතක ය. "තම්බිගෙ තොප්පිය බම්බුව වාගේ - තම්බි නටනකොට සෙම්බුව වාගේ" ඇය තුළ ජීවත්වන ප්‍රීතිමත් දැරිය විනෝදයෙන් සිනහ විය."වෙදමහත්තයා හිනා වෙලා මට කිව්වා 'ඔව් බබා.. අපේ තොප්පිය බම්බුව වගේ තමයි. අපි නටකොට සෙම්බුව වගේ තමයි' කියලා" එසේ පවසන සිබිල් ඒ කාලයේ ගමට මෝටර් රථයක් පැමිණීම යනු ඉතා විශේෂ දෙයක් බවත් සිහිපත් කළා ය" ඔන්න ඉතිං අපේ ගමේ කෙනෙක් ගෙදරට කාර් එකක් ගෙනල්ලා තිබුණා. හැමෝම ඒක බලන්න ගියා. ඒ අපේ අම්මගේ පැත්තේ නැදෑ පවුලක්. ඉතිං අම්මා මාවත් අන්දගෙන ගියා කාර් එක බලන්න" එසේ මෝටර් රථයක් නරඹන්නට යන සිබිල් සහ මව දකින්නේ ඒ නිවස පුරා සෙනඟ පිරී ඇති අන්දමයි. 'බලනකොට කාර් එක තියෙන්නේ සාලේ. ගමේ උදවිය කාර් එක වටේ ගිහිං ඒකේ හැඩ බලනවා. එහෙම බලන්න ගෙදර ට ආපු අයට තේ පැන් සංග්‍රහයක් එහෙමත් දුන්නා" ගිංතොට ගමේ මුල් ම මෝටර් රථය එය වුව ද තවත් මෝටර් රථයක් පිළිබඳ මතකයක් ඇය සතු ව ඇත. ඒ අමරසූරිය මහත්තයා ගේ මෝටර් රථ ය ය. "අමරසූරිය මහත්තයා ඡන්දේ කාලෙට ගමට කාර් එකෙන් එනවා. ගෙවල් ගාණේ ගිහිං ගමේ අය ව කාර් එකේ දාගෙන එයාට ඡන්දේ දාන්න කියලා ඡන්ද පොළ ට ඇරලනවා" අමරසූරිය මහත්ත්යා ගේ වර්ණ ය රතු ය. " ඉතිං අපේ අම්මත් රතු ම රතු පාට සාරියක් ඇඳලා කාර් එකේ නැගලා ගිහිං ඡන්දේ දාලා එනවා" ඒ ගිංතොට නිසා උපන් අතීත සිනහා පොදකි.
තමාට අවුරුදු තුනේ දී පමණ අකුරු කරනු පිණිස ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ට ඇතුළත් කළ බව පවසන්නී ය. "අපි ඉස්කෝලේ ගියේ කැළේ මැද්දෙන්. කිසි බයක් තිබුණේ නෑ. ගස් දිහා මල් දිහා කුරුල්ලෝ දිහා බල බලා යනකොට සමහර දවස් වලට පරක්කුත් වෙලා. ඒත් අපිට කවුරුවත් බැන්නෙත් නෑ".පාසල ට ඇතුළත් කළ මුල් දිනයේ සිට කුඩා සිබිල් ගේ සිත් ගත්තේ පාසල් භූමියේ ඇළ අද්දර ඇති උණ පඳුර ය. තනිව ම මේ උණ පඳුර යට ට වී නිසංසලේ කාලය ගත කිරීමේ තදබල ආශාවකින් පෙළුණු සිබිල් ඒ සඳහා අවස්ථාවක් සොයමින් සිටියා ය. "මම මගේ එක තෝඩුවක් උණ පඳුර මුල තියලා පංතිය ට ගියා. යාළුවෙක් කණේ එක තෝඩුවක් නැති බව පෙන්නුවාම ටීචර් ඇහුවා කොහෙද සෙල්ලම් කළේ කියලා " ඒ දඟකාර සිබිල් දැරිය අදත් මා ඉදිරියේ සිනා සලමින් සිටී. " මම කිව්වා අර උන පඳුර යට තමයි මම හිටියේ කියලා. ඉතිං ටීචර් කිව්වා 'අපොයි .. ළමයි එන්න කලින් එතන ට ගිහිං හොයලා බලන්න' කියලා". සිබිල් ගේ වදන් වලින් ම විස්තර කරන්නේ නම් දියට දැමූ ඉබ්බෙක් සේ උණ පඳුර මුල ට ඇදුණු මේ කුඩා දැරිය බොහෝ කාලයක් තිස්සේ තමා පෙරුම් පුරමින් සිටි ආශාව මුදුන්පත් කර ගත්තා ය. පහළින් ගලා යන ඇළ ; ළමයි කිසිවෙක් නොමැති නිසංසල උණ සෙවණ ; සිලි සිලි නද සමඟ නැගෙන සුළඟ .. පාසල හෝ අවට වටපිටාව පිළිබඳ කිසිදු නිනව්වකින් ඒ යට වාඩි වී සිටින දැරිය ... " මට තාමත් - අදටත් එදා ඒ උණ පඳුරෙන් නැගුණු සද්දේ ඇහෙනවා. එදා මට දැනුණ ඒ හැඟීම මට අදටත් දැනෙනවා" දීප්තිමත් දෑස් ඇති ප්‍රවීන චිත්‍ර ශිල්පිනිය තිර හඬින් පවසා සිටියා ය.
සිබිල් : ඒ කතාකරන උණ පඳුර ළඟ අද |
2004 වසරේ සුනාමිය පැමිණියේ ය. සිබිල් වෙත්තසිංහ ඉගෙනුම ලැබූ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නම් ඕල්කට් පාසල හෙවත් ගිංතොට මධ්‍ය විද්‍යාලය ඇතුළු බොහෝ දෑ මුහුදු රකුසා ට බිළි විය. නමුත් සිබිල් අමතක කළ නොහැකි නිසා දෝ අර උණ පඳුර සර්ව ව්‍යසනයන් මැද ගිංතොට පොළොව බදා නොනැසී සිටින්නට තීරණය කර තිබිණ.දකුණු වෙරළ තීරය ම බිළිගත් සුනාමිය ට උණ පඳුර පරදවන්නට නොහැකි පුවත සිබිල් වෙත්තසිංහ ට ආරංචි වන්නේ පාසල හරහා ය. 'ඒ වෙලාවේ මා ළඟ පොත් වලින් ලැබුණ සල්ලි වගයක් තිබුණා. මම ගමේ අයගෙන් ඇහුවා භාවනා මධ්‍යස්ථානයක් හදන්න කොච්චර වැඩ කුලියක් යනවද කියලා" තමා ට සෙවණ දුන් මේ උණ පඳුර ට පෙරළා ගෞරව කරන්න ට යන ලෝක පූජිත චිත්‍ර ශිල්පිනිය ගෙන් වැඩ කුලී නොගන්නට ගම් වාසීන් තීරණය කළ හ. අවසානයේ ඇගේ පරිත්‍යාගයෙන් අර කී උණ පඳුර සෙවණේ "සිබිල් වෙත්තසිංහ වේළුවන අරම" හෙවත් චිත්ත සමාධි භාවනා මධ්යස්ථානය ඉදි විය." ඉස්සර අපේ ආච්චි අම්මයි මම යි උදේම වතුරවත් නොබී කැළේ ට යනවා. සිනී ගොරකා කකා වරුවක් විතර කැළේ ඇවිදිනවා. මම දැකලා තියෙනවා ආච්චි අම්මා ගස් වලට වඳිනවා " සිබිල් තම සිත් ගත් ගහකොල සහ ඒ බැඳීමේ ආරම්භය පැහැදිලි කළා ය. " ආච්චි අම්මා විශ්වාස කළා ගස් වල දෙවි දේවතාවෝ ඉන්නවා කියලා. මමත් එහෙම හිතනවා" ඇය ගංගොඩවිල පැපිලියාන නිවසේ උඩු මහලේ ජනේලයෙන් එළිඅයට අත දිගු කරන්නී ය. " ඔන්න ඔය අඹ ගහෙත් දෙවිවරු ඉන්නවා කියලා මම නම් හිතන්නේ"
වයස අවුරුදු හයේ දී ගිංතොට අත හැර කොළඹට එන සිබිල් ද සිල්වා දැරිය ද ඇගේ අක්කා සහ නංගීව ද ඇතුළුළු කරන්නේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ය. බාල සහෝදරයින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට ය. "මට ඉතිං ඉංග්‍රීසි ඇර අනෙක් ඕනේ වැඩක් පුළුවන්. හැබැයි මාව දැම්මේ හෝඩිය ට. සුමානයක් හෝඩියේ තියලා වැඩ අල්ලගන්න පුළුවන් කියලා දෙවැනි පංතියට දැම්මා" ඇය ට අලුත් පාසලේ විත්ති ද එක ලෙස මතක ය. "හැමෝම හිතුවේ මට ඩබල් ප්‍රමෝෂන් ලැබිලා කියලා. ඉතිං මට කිව්වේ ඩබල් ප්‍රමෝෂන් ලැබුණ ළමයා කියලා". කැළෑව මැද සිත් සේ පාසල් පැමිණි සිබිල් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියක වූ පසු අත්විඳින්නේ වෙනස් ම පරිසරයකි. ලාංකික නොවන කන්‍යා සොයුරියන් පාලනය කරන විදුහලේ තද නීති රීති ය. චිත්‍ර ශිල්පය ට දස්කම් දක්වන සිබිල් චිත්‍ර අඳිනවාට පාසලෙන් ලැබුණු ප්‍රතිචාර සුභවාදී විණිදැයි විමසන්නට සිතුණේ එ පුවත් ඇසීමෙන් අනතුරුව ය. "අපෝ නෑ ...එයාලා කැමති වුණේ ම නෑ" ඇය එකහෙළා පැවසුවා ය. "ඒ කාලේ ඉංග්‍රීසි පත්තර වල මගේ චිත්‍ර පල වෙන බව ඉස්කෝලෙ අය දැන ගත්තා. ප්‍රින්සිපල් හිටිය මදර් නන්සේෂන් මාව ගෙන්නලා අවවාද කළා. එයා කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. 'ඉස්කෝලෙ ඉන්නකං ඉගෙනීමේ වැඩ විතරයි කරන්න ඕනේ - අතුරු වැඩ කරන්න ඕනේ ඉගෙනගෙන රස්සාවක් කරන කාලේ' කියලා මදර් සුපීරියර් කිව්වා" එසේ පැවසුවද සිබිල් ගේ පින්සලට සහ පැන්සල ට එබස වැටහුණේ නැත. තමා අදටත් ගණිතය ට දුර්වල බව පවසන ඇය එකල ගණන් පාඩමක් වැරදුණු නිසා හිටගෙන සිටින්නට වූ මොහොතක් සිහිපත් කළා ය. ඇය දඬුවම විඳින අතරවාරයේ ගණිත ගුරුතුමිය ගේ මුහුණ චිත්‍රයට නගා තිබිණ. ගණිත පාඩම වැරැද්දූ ළමයා කුරුටු ගාන්නේ කුමක්දැයි උදුරා බලන අරුණාචලම් ගුරුතුමිය තමාගේ මුහුණ දැක ඉතා සතුටටත් ප්‍රමෝදයටත් පත් විය. " ඒකෙන් පස්සේ මට අනික් ළමයි කිව්වා ඔයාට පුළුවන්නේ ගුඩ් ෆ්‍රයිඩේ ව අඳින්න කියලා" සිබිල් අපට ගුඩ් ෆ්‍රයිඩේ කතා පුවත ඇගේ සිතුවමක් ලෙසින්ම මනහරව ඉදිරිපත් කරන්න ට විය " ඒ සිස්ටර් ගේ නම සිස්ටර් මාර්සල්. ඒත් එයාට ළමයි හොරෙන් කියන්නේ ගුඩ් ෆ්‍රයිඩේ කියලා" ඇය සිනාසුණා ය. යේසුස් වහන්සේ ගේ දුක්ඛප්‍රාප්තිය සිහිකරන ගුඩ් ෆ්‍රයිඩේ හෙවත් මහ සිකුරාදා යනු කිතුණු බැතිමතුන් ශෝකය සමරන දිනයයි." සිස්ටර් මාර්සෙල් ගේ මූණේ කවදාවත් හිනාවක් නෑ. ඔරවගෙන , සැර , දුක හිතෙන මූණකින් මිසක් සිස්ටර් ව කවුරුත් හිනාවකින් දැකලා නෑ. ඒකයි එයාට ගුඩ් ෆ්‍රයිඩේ කියලා නමක් දාලා තිබුණේ." අවසාඅනයේ දහතු හැවිරිදි සිබිල් ගුඩ් ෆ්‍රයිඩේ ගේ ශෝකභරිත , මිලාන වූ වත කමල සිතුවමට නගන අතර එය පාසල පුරා අතින් අත යයි. "සතියකට පස්සේ වගේ ඊව්නිං ස්කුල් ටයිම් එකේ දි ගුඩ් ෆ්‍රයිඩේ අර චිත්‍රය අරං අපේ පංතියට ආවා" එකල පාසල සවස් තුන වන තෙක් පැවති බවත් දිවා ආහරයෙන් පසු පාසල එසේ හඳුන්වන බවත් පැහැදිලි කළ සිබිල් ගුඩ් ෆ්‍රයිඩේ ගේ රමුණ වූයේ චිත්‍රයේ අයිතිකාරිය සොයා ගැණීම බව පැවසුවා ය. "ඔක්කොම ළමයි මං දිහා හැරිලා බැලුවා. මම හොඳටම බය වුණා. සිස්ටර් මාර්සෙල් මගේ ළඟට එන ගමං ඇහුවා 'ඕ.. ඔයා තමයි එහෙනම් මේක ඇන්දේ' කියලා". මම හිතුවෙම දැං මගේ කම්මුලට ගහයි කියලා" එකල බාලිකාවන් ට දෙන ඉහළම දඬුවමක් වූයේ කම්මුල ට පහර දීම යැයි පවසන සිබිල් සිදු වූයේ කිසිවෙක් හෝ අපේක්ෂා නොකළ දෙයක් බව පැවසුවා ය. " සිස්ටර් මාර්සෙල් පාත් වෙලා මාව ඉම්බා. 'ඔයා මාව හරිම ලස්සනට ඇඳලා තියෙනවා' කියලා සිස්ටර් කිව්වා. ඒ ගමං කිව්වා 'මම මේ ලෝගුව දාගත්තට පස්සේ මගේ මූණ දකින මුල්ම වතාව අද තමයි' කියලා" එදා දහතු හැවිරිදි දැරිය ට ඇතිව් වූ විස්මය රැඳි දෑසින් අනූ හැවිරිදි චිත්‍ර ශිල්පිනිය දෙවුර ගස්සා බලා සිටියා ය.
"අපේ සීයාගේ නම වැලිගම කේ.ඩී. සමාරිස් ද සිල්වා. එයා අති දක්ෂ කැටයම් සහ ස්තූප නිර්මාණ ශිල්පියෙක්" සිබිල් තමාටම අනන්‍ය වූ ලොවක් පුදුම කළ තම සිතුවම් කලාවේ අක් මුල් සොයා ගන්න්නට අපට සහාය වන්නීය. "එකපාරක් සීයා මා ලවා ඇතෙක් අන්දවා ගත්තා. පස්සේ ඇවිල්ලා කිව්වා මේ අච්චුවෙන් ඇත්තු පන්සීයක් යොදලා රුවන්වැලිසෑය ට ඇත් පවුරක් බඳින්න කියලා හාමුදුරුවෝ කිව්වා කියලා" ඇය ගේ ඇස් සතුටෙන් පිරී යයි." මට අදටත් අනුරාධපුරේ යනකොට හරි සතුටක් දැනෙනවා. මම දන්නේ නෑ ඒ ඇත් පවුරේ ඉන්නේ ඒ ඇත්තුම ද කියලා. ඒත් ඒ පොඩි වයසට ඒ වචනෙම මදැයි. නේද ?" කුඩා කල සිට සීයා සතුටු කරනව චිත්‍ර අඳින සිබිල් එක් වරක් සීයා නිම කළ නිරුවත් ගැහැණියකගේ පිළිරුවක් ඉතා දක්ෂ ලෙස පිටපත් කළා ය. ඒ දකින සීයා මහත් සතුටට පත් ව පාසලේ චිත්‍ර ආචාර්යවරියට මෙය පෙන්වන්නට යැයි දිරි දෙන්නේ ය. සිබිල් එය ගෙනගොස් චිත්‍ර විෂය උගන්වන කන්‍යා සොයුරිය වෙත පෙන් වූ අතර ඇය එය අනෙක් පස හරවා කුඩා සිබිල් ව විදුහල්පතිනිය සමීපය ට කැඳවා ගෙන යන්නී ය. ප්‍රශංසා බලාපොරොත්තුවෙන් සිටි ලාබාල චිත්‍ර ශිල්පිනිය ට මෙය බාලිකා පාසල්ක් බවත් , යළි කිසිදු දිනයක මෙවන් චිත්‍ර නොඇඳිය යුතු බවත් පවසා තරවටු ලැබේ. චිත්‍රය කුඩා කැබලි වලට ඉරා දැමේඅ" අනේ මගේ පපුව නැවතුණා වගේ. මම ගෙදර යනකොට සීයා මග බලාගෙන ඉන්නවා." සීයාව මගහැර අඬාගෙන නිවසට ඇතුල්වෙන දැරිය ය. කණගාටුවෙන් පසුවන සීයා ය. මේ සියල්ලම විනෝදයෙන් දකින සිබිල් ගේ ආදරණීය මෑණියන් ය. " අම්මා සීයට හිනා වුණා. 'තාත්තටත් පිස්සුනේ. ඒ උදවිය ජීවිතේ කළකිරිලා මහණ වෙලා ඉන්න අස්සේ තාත්තා මේ ළමයා අතේ ඔය වගේ චිත්‍ර යවනකොට කේන්ති එන්නේ නැද්ද' කියලා අම්මා හිනාවෙනවා.
1948 වසරේ අප්‍රේල් මාසයේ ලංකාදීප කන්තෝරුවේ ඩී.බී ධනපාල මහතා යටතේ චිත්‍ර අඳින්නට සිබිල් ට අවස්ථාව උදා කරදෙන්නේ එච්.ඩී සුගතපාල මහතාගේ මැදිහත්වීමෙනි. සෑම සෙනසුරාදාවක ම සිබිල් යන නම සහිත චිත්‍ර හතරක් පළ වේ. "හැමෝම හිතලා තියෙන්නේ සිබිල් කියන්නේ කොල්ලෙක් කියලා. ඉතිං ආවාම තමයි දකින්නේ ගවුමක් ඇඳපු කොණ්ඩ කරල් ගොතපු පොඩි කෙල්ලෙක් කියලා" එසේ පවසන ගවුමක් ඇඳි කොණ්ඩ කරල් දෙකේ කුඩා කෙල්ලට සුනිල් සාන්තයන් ලංකාවට පැමිණ ධනපාල මහතා හමුවීමට පැමිණි මොහොත මතක ය. 'එයා ඇඳලා හිටියේ කුමාරයෙක් වගේ" සුනිල් සාන්තයන් සිබිල්ගේ සිතුවම්කරණය දෙස බලා සිටියේ ය. ඔහු ඇය ට 'අවුල්නාද' කවියක් කියා සැණින් චිත්‍රයක් අඳින්නට අභියෝග කළේ ය."වත්තල කලුවාගේ අඹුව - තිත්ත කතාවෙන් බැණගෙන - වත්ත පහළ තිබුණු කිතුල් * පිත්ත අරගෙනා" ඇය ඒ කවිය සිතුවමට නැගූ ආකාරය දැක සුනිල් සාන්තයන් විස්මයට පත් විය. " ඔය කාලේ මම දැකලා තියෙනවා අපේ ලිෆ්ට් එකේ තොල් රතු කරපු හරි මෝස්තර නෝනා කෙනෙක්. එයා සිගරට් එකක් අගට මොකක්ද කූරක් හයි කරගෙන බිබී යන්නේ" ඇය පවසන්නේ ඒ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකගේ මිණිබිරියක වූ සීතා ජයවර්ධන පිළිබඳව ය. කුතුහලයෙන් යුතු සිබිල් ද සිල්වා දිනක් ඇය පසුපසම සෝප්නායෙන් ගොස් සීතා මහත්මිය සමග කතාවට වැටේ. සිබිල් වෙත්තසිංහ "ටයිම්ස්' පුවත්පතේ ද කාටුන් අඳින්නටත් ලියන්නටත් අවස්ථාව උදා කරගන්නේ එතැනිනි. "මම ලංකාදීපේ අවුරුදු දෙකක් හිටියා,. ටයිම්ස් පත්තරේ අවුරුදු දෙකක් හිටියා. එතනින් පස්සේ එඩ්මන්ඩ් රොඩ්‍රිගෝ කියන නෝනා අපේ තාත්තට කියලා තිබුණා ලේක් හවුස් එක පටන් ගන්නවා කියලා. අම්ම බය නැතුව ධනපාල මහත්තයාගෙන් ඇහුවා. එතුමා කිව්වා 'යන්න යන්න. මම දියුණුවට එපා කියන්නේ නෑ' කියලා" ඒ අනුව 1952 වසරේ දී 'ජනතා'; පුවත්පත ට එක් වන සිබිල් පිළිබඳ සිළුමිණ පුවත්පතේ "සිබිල් ජනතාවට එකතු වෙයි" යනුවෙන් දැන්වීමක් ද පළ වේ. "1952 දි මම ජනතා පත්තරයට තමයි 'කුඩ හොරා' කතාව ලිව්වේ" ඒ සිහිපත් කෙරෙන්නේ ඇයගේ ජීවිතයේ ස්වර්ණමය සංධිස්ථානයකි. "අවුරුදු තිහක් ලේක් හවුස් එකේ ඉන්නකොට මට උපාලි පත්තරෙන් අඬ ගැහුවා" ඒ 'බිංදු' පුවත්පතෙහි ආරම්භක කර්තෘ ලෙස ය. පළමු කලාපය ම පිටපත් එක් ලඛ්ශ විසිපන්දහසක් අලෙවි වූ 'බිංදු" පුවත්පතේ මුල් වසර තනිවමත් දෙවැනි වසර සහායකයි දෙදෙනෙක් සමගත් ගත කරන ඇය 1986 වසරේ දී පුවත්පත් ජීවිතය ට සමු දී පූර්ණකාලීන ව සිතුවමට සහ ග්‍රන්ථකරණයට නැඹුරු වන්නීය.
සිබිල් වෙත්තසිංහ යන නාමය අද වන විට පුවත්පත් ලෝකය අභිබවා සිතුවම් සහ ළමා කතා පිළිබඳ සන්නාමයක් බවට පත් වී ඇත. 1983 වසරේ පැවති තුන්වැනි Noma Concours for Picture Book Illustrations හි "තෙවැනි තැන දිනාගත් "කුඩ හොරා" පසුව ජපන් බසට පරිවර්තනය විය. ජපානය විසින් 1986 වර්ෂය "කුඩ හොරාගේ වර්ෂය" ලෙස නම් කරන්නට තරම් එම කතා පුවත එරට ප්‍රසිද්ධ වී තිබිණ. ඩෙන්මාර්ක් , ස්වීඩන් ; නෝර්වේ ,ඇමරිකා , දකුණු කොරියා ආදී රටවල් අද වන විට සිබිල් වෙත්තසිංහගේ කෘති තම බස ට හැරවීමට මහත් උනන්දුවක් දක්වති. 1965 වසරේ දී "වෙසක් පහන" වෙනුවෙන් 1971 වසරේ දී "මඟුල් ගෙදර බත් නැතෝ" කෘතිය වෙනුවෙන් ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ඇය ඉංග්‍රීසි බසින් ලියූ The Child in Me කෘතිය වෙනුවෙන් 1995 වසරේ ග්‍රේෂන් සම්මානයෙන් ද දිනා ගත්තා ය. ඊට අමතර ව ඇය ලද දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සිය ගණන අතරේ කලාකීර්ති ගෞරව නාමය ද , සෝලියස් මැන්දිස් සම්මානය ද , "දීප්ත ළමා මග" නම් වූ සිංහලය බයිබලය උදෙසා ලද ජාත්‍යන්තර සමාන ද සුවිශේෂී ය. "බයිබලය යුරෝපියානු ඌරුවෙන් නැතුව අසියානු චිත්‍ර සම්ප්‍රදායකින් මුලින්ම ඇඳා තියෙන්නේ මම" ඉදිරිපස අඹගසේ දෙවියන් වසන බව තරයේ අදහන , ශුද්ධ වූ පවුලේ කන්යාරමයේ ආදි සිසුවිය ජාති - ආගම් බේද යටපත් කරන තම වර්ණවත් දැක්මෙන් පවසන්නීය. " මම විවාහ වුණේ ඩී.ඩී.වෙත්තසිංහ මහත්තයා එක්ක. එයා මට හැම පැත්තෙන්ම ධෛර්යය දුන්නා. මම අදටත් ඒ ගැන ගෞරව කරනවා" යනුවෙන් පවසන සිබිල් වෙත්තසිංහයන් බොහෝ කාන්තාවන් විවාහයෙන් පසුව කුස්සියට කොටු වුණු යුගයක තම සැමියාගේ උදාර සිතිවිලි පිළිබඳ ආඩම්බරයෙන් කතා කළා ය. "මට අඳින්න , ලියන්න නිදහස දෙන්න එයා ගෙදර වැඩට තුන්දෙනෙක්ව අරගත්තා. අවුරුදු තිහක් මේ පොත් ඔක්කොම ලිව්වේ ඇන්දේ , ප්‍රකාශනය කළේ මේ තනි මමමයි" අද වන විට " ආදිත් ප්‍රකාශන" යටතේ එන ඇයගේ සියලුම කෘති www.adithbooks.com ලෙස ද ඇණවුම් කිරීමේ හැකියාව ඇත.
"මම පොඩි කාලේ ඇන්දේ මට ඕනේ දේවල්.මට දැනෙන දේවල්. මම විශ්වාස කළා ළමයින් ව සතුටු කරන්න පුළුවන් දේවල් අඳින්න ඕනේ කියලා. කවුරුවත් මට බලපෑම් කළේ නෑ. මම බලපෑම් නම් ගණන් ගන්නෙත් නෑ" අනූ හැවිරිදි චිත්‍ර ශිල්පිණිය පැවසුවා ය. ඇයගේ ලියුම් වල එන ගිමාරා ; කොකනදවතී වැනි නම් සොයාගත්තේ කොහෙන්දැයි ඇසූ විට ඇය කොකන්දවතී මෙන්ම සිනාසුණා ය. "ගමෙන් තමයි. ඔය ඔක්කොම ගමෙන්.. අනේ කොකනදවතී මගෙ හිතට ආවේ අමරාගෙන්.. එයා ළඟදිත් කෝල් කළා. මෙයාලගේ නැන්දා කෙනෙක්: ඇය තම මුණුබුරෙක්ව පෙන්වා සිටියා ය, "අමරා හිනාවෙන්නේ ගමටම ඇහෙන්න මහ හයියෙන්. මම ඉතිං අමරාට කිව්වා ඔන්න ඔයාව මම කතාව්කටත් ගත්තා කියලා" එසේ පවසන සිබිල් වෙත්තසිංහ තමා සමඟ බැදි දෙවට දිගේ ගිංතොට පාසල් ගිය "සීතා' නම් මිතුරිය මෑතක දී මෙල්වින් සමුගත් බව කණ්ගාටුවෙන් සිහිපත් කළා ය.
"මම තමයි දැනට ජීවත් වෙලා ඉන්න වයස්ගත ම ෆැමීලියන්" උදාරම් හඬින් පවසන මේ අනූ හැවිරිදි ශුද්ධ වූ පවුලේ ආදි ශිෂ්‍යාව ඒ සමරු කළඹ තිබෙන තැන පෙන්වා ලංකාවේ මුල්ම කාන්තා ගුවන් නියමුවරිය ද තම පාසලේ බව පැවසුවා ය. "ඔය සුවනියර් එකේ එයාගේ ෆොටෝ එකක් තියෙනවා" යනුවෙන් පවසමින් තම කුටියට වැදුණු ඇය මේ දිනවල අඳිමින් සිටින "නළපාන ජාතකය" චිත්‍රය ගෙනවිත් අපට පෙන්වූවා ය. " මේ ඉන්නේ දිය රකුසා. මම කියන්නේ දිය රකුසා කියන්නේ දියෙන් හැදෙන ජීවියෙක් මිසක් බය හිතෙන වෙස්මූණක් දාගෙන ඉන්න මිනිහෙක් වගේ කෙනෙක් නෙමෙයි කියලා" ඇය නීල වර්ණැති දිය රකුසා අපට පෙන්වා අභියෝග කළා ය.
මේ දිනවල අඳිමින් සිටින "නළපාන ජාතකය" |
නිසංසල ව , හුදෙකලාව සිටින්නටත් , මෙනෙහි කරමින් පරිසරය අත් විඳින්නටත් කැමති යැයි පැවසූ මේ චිත්‍ර ශිල්පිණියගෙන් සමුගන්නට කාලය එළැඹිණ. "කවුද කිව්වේ මම ඉපදුණේ 1927 කියලා. මම ඉපදුණේ එක්දාස් නමසිය විසි අටේ" ලියාගත් දෑ නැවත පරීක්ෂා කරන ප හට පවසන ඇය ගංගොඩවිල තමා වෙසෙන නිවස ඉතා සාමකාමි බව පවසන්නී ය. ඇය වරක් මෙසේ ලියා තිබිණ "මගේ පුංචි කාලය ගැන මට මතක් වෙන කොට හරි ආසයි. ඒ තරම් සන්තෝසයෙන් ගත කරපු කාලයක් මගේ මුළු ජීවිතේ ම නැති තරම්" නමුත් සිබිල් වෙත්තසිංහ ළමා අපට පවසා තිබුණේ දැවැන්ත බොරුවකි. වර්ෂ දෙදහස් ද නමයේ මාර්තු මාසයේ මුල් භාගය වන විටත්; එක්දහස් නමසිය තිහේ මුල් භාගයේ ගිංතොට ගම් රොදේ ඇල ළඟ උණ පඳුරක් යට වාඩි වී සිටි ප්‍රීතිමත් දැරිය එදා මෙන්ම සන්තෝසයෙන් ගංගොඩවිල නිවෙසක උඩුමහලේ ජීවත් වන බව අප සියැසින් දුටුවෙමු.
සහන් කසීර වික්‍රමසිංහ | රැස | 2019 මාර්තු 19
0 comments:
Post a Comment