ගුරු ගීතය මිහිරි විය යුතුම ද ?


චිත්‍රා සෝමපාල විසින් ගායනා කරන ලද "උඩරට කඳුකර සිරියා පරදන" යනු අප කුඩා කල සිට ම රේඩියෝවෙන් ඇසුණු ගීතයකි. එය තේ කම්කරු ප්‍රජාව සිහිපත් කරන ඕනෑම විටක ඒ හා නිසගවම සිහි නැගෙන සංකේතීය ගීතය වන තරමට ජනගත ව තිබිණ. මතකය නිවැරදි නම් අනූව දසකයේ මුල් භාගයේ ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජණ තරගාවලිය ට ඉදිරිපත් වූ නුෂාරා ප්‍රනාන්දු තම ප්‍රාසාංගික ඉදිරිපත්කිරීම ලෙස රඟ දැක් වූයේ ද මේ ගීතය යි. "උඩරට කඳුකර සිරියා පරදන" ගීතයේ පවසන්නේ රතැඟිලි ඇති ; මදහසින් සපිරි රූබර ළඳුන් තේ දලු නෙළන පුවතකි. නමුත් එය එසේ නොවන බවත් මේ ගීතයේ පවසන කිසිවක් සැබෑ ලෝකයේ සිදු නොවන බවත් වර්ෂ 2019 වන විට අප දැනුවත් ය. වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් දහසක් ඉල්ලා කරන අරගලය නියෝජනය කරන්නට වතු කම්කරුවන් නොවන ශ්‍රමිකයින් ද අද වන විට එක් ව ඇත්තේ එබැවිනි.
සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන "පැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ" ගීතය ද දසක තුනක කාලවකවානුවක් තුළ අති ප්‍රබල ලෙස ජනගත වූ ගීතයකි. සුමති සම්මාන උළෙල වැනි උත්සව වේදිකා වල නාට්‍යානුරූපි ව ගැයෙන්නට ත්; ගීත තේරීම් අතර මුල් තැන ගන්නට ත් ; රසවින්දන වැඩසටහන් වල නොවරවදවා සිහිපත් කෙරෙන ගීතයක් බවට පත් වන්නටත් "පැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ" ගීතය සමත් විය. "සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ - අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" යනුවෙන් අකුරු කර ගුරුවරයාගේ ආර්ථික ඉරණම සැහැසි ලෙස සිහිපත් කළ මහින්ද චන්ද්‍රසේකර "රන්මසු පට පිළී අබරණ උරණ වෙලා - සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා" ලෙස ලියමින් ගුරු වැටුප සමග ඒ කුටුම්භයට නොමිලයේ ම අත්වන සමාජයීය ඛේදවාචකය අනුකම්පා විරහිත ලෙස පෙන්වා දුන්නේ ය. ශ්‍රමයට සරිලන වැටුපක් සහ යහපත් ජීවන තත්ත්වය උදෙසා වූ අයිතිය ගුරුවරුනට ද හිමි විය යුතු යැයි ගීයකින් සිහිපත් කර දුන්නේ ය.
අවාසනාවකට වර්ෂ 2019 වන විටත් අපට සුනිල් එදිරිසිංහයන් ගැයූ ඒ ඛේදවාචකය තේරුම් ගැනීමට හැකි වී නැත. ඛේදාන්තයක් ලෙස ම ලියූ ගීතයක සාහිත්‍යමය අගය පමණක් දකින අපට ඉන් ඔබ්බට ගොස් ඒ තුළ සජීවි ඛේදවාචකය වටහා ගැනීමේ උනන්දුවක් නැත.
වෘත්තීය ඇගයීම් යනු සෑම වෘත්තිකයෙකුගේ ම අයිතිවාසිකමක් බවත් අප විරුද්ධ විය යුත්තේ ඒවා සමග දවටා එවන අනෙකුත් අසාධාරණ යෝජනා වලට පමණක් බවත් නොතේරුම්ගන්නා සමාජය සමස්ත වෘත්තීය ඇගයුමට ම විරෝධය පළ කරති.
මිත්‍රවරුනි ; 
වෘත්තීය අයිතිවාසිකම් වනාහී අවම ජීවන පහසුකම් හිමි අඩු වරප්‍රසාදලාභී වෘත්‍තිකයින් උදෙසා පිරිනැමෙන වයිල්ඩ් කාර්ඩ් සහනයක් හෝ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට පමණක් නිකුත් කෙරෙන අතිරේක ත්‍රිපෝෂ සලාකයක් නොවන බව අප වටහා ගත යුතු ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment