ශිෂ්ටාචාරය වඩ වඩාත් ශිෂ්ට වීම | ජසින්ඩා ආර්ඩ්න්


නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩ්න් (Jacinda Ardern) ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක ට එල්ල වූ අමානුෂික ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය පල කිරීම ට පැමිණ සිටියේ වේල්පටකින් හිස ආවරණය කර ගනිමිනි. ආගමික වතාවත් වල යෙදෙන නිරායුධ වැසියන් පිරිසක් දේවස්ථාන තුළ දී ම තිරස්චීන ලෙස ඝාතනය වූ පසුබිමක අගමැතිවරිය මුස්ලිම් සම්ප්‍රදාය කෙරෙහි තම ගෞරවය ඉඟි කරනු පිණිස හිස ආවරණය කර පැමිණි බව පැහැදිලි ය. බොහෝ මාධ්‍ය මෙය "හිජාබයකින් සැරසී" යනුවෙන් වාර්තා කර තිබුණද මුස්ලිම් සම්ප්‍රදායය තුළ හිජාබ් යනු වෙනස් ආකාරයක ඇඳුමක් බවත් ; එය හිජාබයක් විණි නම් මූලිකව ම කාන්තාවගේ හිසකෙස් සම්පූර්ණයෙන් ම ආවරණය විය යුතු බව ද පැවසිය මනා ය.
වඩාත් වැදගත් වන්නේ ජසින්ඩා ආර්ඩ්න්ගේ සිතිවිල්ල ය. මෝමොන් ආගමික සම්භවයකින් පැවතෙන අතර "යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ පසු දවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව" හෙවත් The Church of Jesus Christ of Latter-day Saints හි බැතිමතියක වූ ඇය මේ වන විට තම ආගමික ස්ථාවරය දක්වන්නේ Agnostic හෙවත් දෙවියන් පවතිනවාද නොදන්නා යන වර්ගීකරණය යටතේ ය. ජේසුස් වහන්සේ සහ සාන්තුවරයින් පිළිබඳ බැතිමතියක ලෙස ඉපිද දෙවියන් කෙරෙහි අස්ථාවර හැඟීමකින් වුව ද ඇය මානසිකව ඇද වැටුණු මිනිස් කැළක් ඉදිරියේ තමා ගේ සහාය පෙන්නුම් කළා ය. ශෝකයට පත් කාන්තා පරපුරට තමන් ද ඒ පරපුරේ ම එක් සාමාජිකාවක් බව පවසනු පිණිස හැකි ආකාරයෙන් හිස ආවරණය කළා ය.
දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටය දරන එලිසබෙත් රැජණ 1958 වසරේ දී Rothes ගල් අඟුරු ආකරය නැරඹීම පිණිස බොයිලර් සූට් ඇඳුමකින් සැරසුණු ආකාරය ය.ගල් අඟුරු ආකරයක ට බැස , අඟුරු වලට කළු ගැසුණු ; ශ්වසන ආබාධ වලින් පීඩිත පතල් කම්කරුවන් සමග හොඳ හිත බෙදාගන්නට එලිසබෙත් රැජණ තෝරාගන්නේ සුදෝ සුදු පැහැති ඇඳුමකි. බාගදා ඇය මෙය අඟුරු ආකරයකට වඩාත් ම සුදුසු ම පැහැය ලෙස විශ්වාස කරන්නට ද ඇත.
එලිසබෙත් රැජණගේ සුදු පැහැති බොයිලර් සූට් ඇඳුමේ සිට ශෝකී අවස්ථාවක් උදෙසා කළු ඇඳ නොනැවතී හිස ද ආවරණය කරන ජසින්ඩා ආර්ඩ්න් දක්වා ම ශිෂ්ටාචාරය වඩ වඩාත් ශිෂ්ට වෙමින් පවතී. අනෙකාගේ සපත්තුවට බැස ලෝකය දෙස බලන්නට සූදානම් වඩාත් මානව හිතවාදී ලෝක බලවතුන් ඒ ශිෂ්ටාචාරය කෙරෙහි අපේක්ෂාවේ ආලෝක ධාරා විහිදුවමින් සිටී.
නිරායුධ මිනිස් ජීවිත රැසක් උදුරා ගැනීම ට තරම් සැහැසි වූ නවසීලන්තයේ වෙසෙන Brenton Tarrant වැන්නවුන් ද මෙවන් කුරිරු සිදුවීම් තලු මරමින් රස විඳින ශ්‍රී ලංකාවේ චාපා බණ්ඩාර වැන්නවුන් ද අභිමුව ජසින්ඩා ආර්ඩ්න් මෙසේ උත්කර්ෂය ට නගනු හැකි වේ.

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද 
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත 
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment