ආදරය සොඳුරුය. නමුත් ආදරයේ මතකය රුදුරුය.
ඇස මානයේම නුඹ හිඳී. නමුත් තවදුරටත් නුඹ නැති බැව්
වටහාගත යුතුමය. විසිර ගිය අතීතය හිතට වද දෙන්නේ නම් එය මිටකට ගුලි කර සිර කර තැබීම
මා සතු වගකීමකි. ඔබට නිදහසේ යන්නට ඉඩ හරිමි. නමුත් නුඹ නැති පාලුව මා දවන බව , මා පෙලන බව කිව යුතු මනාද ?
දන්නා කියනා කාලයේ හිඳ අපි එකම මගක පිළිපන්නෙමු. ඒ මතක
මංපෙත අතිශයින්ම සොඳුරුය. නෙත ගැටුණු සියලු දෑ බෙහෙවින් සුන්දරය. නමුත් අද මා
තනිවම ඒ මග ඇවිද යන්නෙමි. එදා දුටු ඒ කිසිදු දෙයක් එකී සුන්දරත්වයෙන් දකින්නට අද
මා අපොහොසත් වන්නේ මන්දැයි නොදනිමි. තනි මා වෙනුවෙන් සුන්දරවත්වයක් සොයා තව දුරටත්
නොවෙහෙසෙමි. නමුත් මා දන්නා එක් දෙයක් ඇත. ඒ නුඹ තව දුරටත් මා හා නොමැති බවය.
සංසාරය මෙය නම් , ඔබ තෝරා ගන්නේ එය නම් මමද වෙනදා මෙන්ම ඔබේ කැමැත්තට ඉඩ
දී බලා හිඳින්නෙමි. මේ දුරස්වීම තාවකාලික විරසක කමක සීමාව ඉක්මවා ගිය බව දන්නා නිසාම
හදවත පත්ලෙහි මිරිකී , සැඟවී
සිටින ,එළියට
එම්දෝ නොඑම්දෝ සිතන වේදනා සුළි කුණාටු පිළිබඳව ඔබ නොදන්නෙහිය. නමුත් ඔබ ඒ පිළිබඳව
අමතක කරන්න. ඔසරිය ද පහන් ආලෝකය ද අලුත් ලොවට සිරියාව ගෙන එනු නිසැකය. ඔබ පසුපස
එන්නට හැකි මුත් ඔබට බාධා කිරීමට නොසිතමි.
පිය නගන්න ..... ඔබගේ අලුත් ලෝකයට , මතකය සහ වේදනාව මවෙත පවරා , නිදහසින් - සතුටින් පෙර සිටියාක්
මෙන්........ නොනවතින්න - කිසි දිනෙක මා වෙනුවෙන්,
එය ඔබ කැමති ලෝකයම වී නම්
පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා..
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....
මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙපස එළි මැද්දේ
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ
0 comments:
Post a Comment