ලොව නිසසල වී නවතින මොහොතේ



පෙම් පෙරහැරවල් දැක ඇත්තෙමු. අදටත් දකිමින් සිටින්නෙමු.ප්‍රේමය පහළ වූ බවට පෙරනිමිති පවසන කසකරුවන්ද , පෙම්වත් සිත් පිළිබඳ නොදැන සිටියවුන් අවදි කරවන බෙරකරුවන් ද , ප්‍රේමයේ පණිවුඩයෙන් කුල්මත් වූ හේවිසිකරුවන් දපිරිවරාගත්,ප්‍රේමයේ පෙරහැර මග දෙපසට වී බලා හිඳ ඇත්තෙමු. පෙම් පෙරහැරක් දකිනා සෑම විටකම ඉන් මෝහනය වන බවත්, කාලයක්යනතෙක් අප සිත් තුළ ඒ අසිරිය නින්නාද දෙන බවත් නොසඟවා පවසන්නෙමු. නමුත් අපේම කියා පෙරහැරක් ගැන සිහින නොදකිමු. සිහින ලෝකය සහ සැබෑ ලෝකය අතර යොදුන් ගණනින් මිනිය නොහැකි දුරක් ඇත්තෙන් ඒ පිළිබඳව සිතා පල නැතැයි අප දනිමු. කසකරුවනි , බෙරකරුවනි, හේවිසිකරුවනි, කරුණාවෙන් සවන් දෙන්න. අපේ ලෝකය තුළ ඔබලාට ඇබෑර්තු නැත.

එය එසේ වී නම් ප්‍රේමය නොබිඳී නැවුම්ව පවතින්නේකෙලෙසදැයි නොඅසන්න. මල් පිබිදෙන්නට හිරු එළියම අවැසියැයි ද,දහවලේ පිපෙන ඔබ නෙත ගැටෙන මල් පමණක් සුවද යැයි ද නිගමනයනොකරන්න. සඳෙන් නියත විවරණ ලබන සුවඳවත් මල් සෞම්‍ය රාත්‍රියෙහි පිපෙන බව ඔබනොදන්නේද ? ඔබ උකටලීව නිදන , නමුත් දහසක් තාරුකා නොනිදන රාත්‍රී කාලයේ ඒවාට හොර රහසේම පිපෙන්නට ඉඩ හරින්න. රෑ නොනිදාපහන් කරමින් එමල් පිපෙන ඉසවු සොයන්නට වෑයම් නොකරන්න.මන්ද යත්, මානස විල පිපෙන මල් පිටස්තරයින්ට දකිනු හැකි නොවනා බැවිනි.

රහසේ මල් පිපී පලක් ඇත්දැයි සංකා ඇතිකර නොගන්න. ප්‍රේමය යනු කැපකිරීමේ මහරු ප්‍රතිපලය බව ඔබ තවමත් වටහා ගෙන නොමැතිද ? අත්හදාබැලීම් වලට, උරගා බැලීම් වලට මේ ජීවිතය කෙටි වැඩිය. ඉදින් , එතන සැබෑ ප්‍රේමයක් ඇත්තේ නම් එක අයෙකු කැප කිරීමක් කර ඉවසා වදාරා සිටිය යුතුමය. එසේ නොවන්නේ නම් තැලීපෙළී විඩාවට පත්වන්නේ ඔබ ආදරයෙන් පුබුදුවාගත් ප්‍රේමයේ කුසුම ම බව සිහියේ තබා ගන්න. හුණු වටයේ ගෘෂා , මයිකල්ව අත හරින්නේ මන්දැයි නැවත නැවතත් කල්පනා කරන්න. ආදරය , සැමවිටම ජයග්‍රහණය කළ නොහැකි වේ. ආදරය , සැමවිටම උදම් ගී ගයනු නොහැකි වේ. ආදරය , සැමවිටම අත් පසුරෙන් වැළඳ ගත නොහැකි වේ. වඩාත් වැදගත් වන්නේ ආදරය ජීවතුන් අතර සිටිනවාද යන්න පමණමය. 

ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා 

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන 

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ගායනය      : නිරංජලා සරෝජිනී
පද රචනය  : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය      : වික්ටර් රත්නායක








Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment