1. සිංහල සිනමා ඉතිහාසයේ තිස් නම වැනි සිනමා නිර්මාණය "රේඛාව" ට දැන් අවුරුදු හැටයි. අවුරුදු හැටක් අතීතයට මතකය අවදි කළොත් ?
ඇත්තටම මම "රේඛාව" ගැන මුලින්ම අහනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙක් ගැන අහලාවත් තිබුණේ නැහැ. එතකොට මම ප්‍රංශයේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නෙත් සිනමාව ගැනම තමයි. 1957 දි ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙලට "රේඛාව" ඉදිරිපත් කළා. උළෙලට සති කීපයකට කලින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් 'රේඛාව' මහජන ප්‍රදර්ශනයක් පැවැත්වුවා. එදා තමයි මුල්ම වරට මම ඩොක්ටර් පීරිස් ව දැකලා හඳුනගන්නේ. අවුරුදු හැටකටත් කලින් ලංකාවෙන් පිටතදී අපි ජීවිතේ මුල්වතාවට මුණ ගැහුණා. ඒ 'රේඛාව" ත් එක්ක
2. එතනින් එහාට මොකද වුණේ ?
අපේ අයියා ඩොක්ටර් පීරිස් එක්ක මා ගැන කියලා තිබ්බේ "මෙයා මේ එක එක එවා ඉගෙනගෙන මොනවා කරන්න හිතං ඉන්නවද දන්නේ නැහැ' වගේ දෙයක්.ඒත් මම සිනමාව ගැන ඉගෙන ගන්නවා කිව්වම ඩොක්ටර් පීරිස් කිව්වා "මෙහෙට වෙලා මොනවාද කරන්නේ ? එංගලන්තේ ගිහින් ඉගෙන ගන්න" කියලා. මට එතකොට වයස් විසි තුනයි. පවුලේ දේශපාලන පසුබිමයි , ඒ වයසට තිබ්බ තරුණ ආවේගයයි නිසා ඒ කාලේ අපිට එංගලන්තේ පෙනුණේ ධනවාදී කඳවුරු විදියට. ඒකයි මම එංගලන්තේ නොගිහින් ප්‍රංශයට ට ආවේ. කොහොම හරි "රේඛාව" ප්‍රංශයට ඇවිත් මාස කීපයක් ගත වෙද්දි මම එංගලන්තයට ගියා. 1959 දි “London School of Film Technique” වල චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳව ඩිප්ලෝමාව සම්පූර්ණ කළා. පස්සේ ටික කාලයක් එංගලන්තේ වැඩ කරලා ලංකාවට ආවා. ඊට පස්සේ ඩොක්ටර් පීරිස් ගේ සහායිකාව විදියට "සංදේශය" චිත්‍රපටයට එකතු වුණා.
3. 'රේඛාව" කියන්නේ ලංකාවේ මුල්වරට එළිමහන් දර්ශන සහිත චිත්‍රපටය. ඒ වගේ වෙනසක් කරන්න අදහසක් ඇති වෙන්නේ කොහොමද ?
ඩොක්ටර් පීරිස් ඇමරිකාවේ ඉන්නකොට දෙවන ලෝක යුද්ධය සම්බන්ධ ඩොකියුමන්ට්‍රි , නිර්මාණ බලද්දි හිතුණලු "ඇයි මේ දේම අපිට ලංකාවේ චිත්‍රපට වල කරන්න බැරි " කියලා. ඒ වෙනකොට ඔක්කොම චිත්‍රපට කළේ චිත්‍රාගාර ඇතුළේ. පසුතල ඔක්කොම ඇන්දේ ඉන්දියානු නිර්මාණ ශිල්පීන් නිසා ඒ කතා වල පසුබිම් හැම එකකින්ම මතක් වෙන්නේ ඉන්දියාව මිසක් ලංකාව නෙමෙයි. ඒ පරිසරය එක්ක තමයි "රේඛාව" ඒක අලව්වේ ගමක් ඇතුළේ රූගත කරන්නේ. දැන් කාලේ වගේ ෂෙඩ්යුල්ස් වලට රූගත කිරීම් කරන්න බැහැ ඉතිං. අව්ව වැටෙනකං , වළාකුළු එනකන් බලන් ඉන්නත් වෙනවා. ඒ අස්සේ චිත්‍රපට කණ්ඩායමටම පැපොල හැදෙන්න අරන් තිබ්බා. එක දිගටම රූගත කිරීම් කරන්න ලැබිලා නැහැ. ඒ නිසා රූ ගත කිරීම් කරන්න මාස හයක් විතර කාලයක් ගිහිං තිබ්බා.
4. සමකාලීන චිත්‍රපටත් එක්ක බලනකොට "රේඛාව' උඩුගංබලා යෑමක්. ආචාර්ය ලෙස්ටර් ඒ අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද ?
ඒ කාලේ සිනමාව ගියේ වෙනමම පාරක. ඔක්කොම ඉන්දීය සිනමා ලක්ෂණ තිබුණ අධි තාත්වික නිර්මාණ. ඒ අස්සේ ගම ගැන චිත්‍රපටයක් හදන එක ඇත්ත ගමම පෙන්වන එක,ඇත්තටම පොළවේ ඉන්න මිනිසුන් පෙන්නන එක සෑහෙන්න වෙනස් විදියේ වැඩක් වුණා. මොකද සිනමා ලෝලීන් දැනගෙන හිටිය , එයාලට හුරු පුරුදු චිත්‍රපටිය ඒ වගේ නෙමෙයි. මූණ වෙස්මූණක් වගේ වෙන්න මේක්-අප් දාන , බොරු රැවුල් දාන චරිත තමයි ඒ කාලේ තිබුණේ. දෙබස් වුණත් මතක් කරලා බලන්න "අහෝ මාගේ ප්‍රේමිය....." වගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. "රේඛාව" මේ හැම දෙයින්ම ඈත් වෙලා යථානුරූපී සිනමාවක් සඳහා මුල්ගල් තියන්න හැදුවට සමහරු ඒ උත්සාහය තේරුම් අරන් තිබ්බේ නැහැ. "මේවා චිත්‍රපටි ද ? මේ ගම ගැන ඩොකියුමන්ට්‍රි එකක් නේ" කියලා කියපු අයත් හිටිය. නමුත් ජාත්‍යන්තර සිනමාව සහ පසුකාලීනව ලංකාවේ සිනමාව "රේඛාව" මොකක්ද කියලා තේරුම් ගත්තා.
5. ලංකාවට නුපුරුදු එළිමහන් දර්ශන වලදි තාක්ෂණික අභියෝග එල්ල වුණේ නැද්ද ?
තාක්ෂණය තමයි ලොකුම අභියෝගය වෙලා තිබුණේ. මේ රූගත කිරිම් වලට උවමනා කරන කැමරාවේ ඉඳන් ලයිට් දක්වාම පිටරටින් ගෙන්නන්න වුණා. ලංකාවේ කොහෙවත් ලයිට් හොයා ගන්න තිබ්බේ නැහැ. මොකද ඒ කාලේ එළිමහන් රූ ගත කිරීම් කරන්නේ නැති නිසා කාටවත් ලයිට් තියාගෙන ඉන්න උවමනාවක් තිබ්බේ නැහැ. එච්චර කල් නොතිබ්බ ඒ ආලෝකකරණ අවශ්‍යතාව මේ චිත්‍රපටයට තදින්ම බලපෑව. සේන ගේ පියා (ඩී. ආර් නානායක්කාර ) එක්ක පොඩි මහත්තයා (එන්.ආර් ඩයස්) කඩය ඇතුළේ කතා කරන දෙබසකදි කඩේ ඇතුළට එළිය ගන්න වහළය වෙනුවට සුදු පාට රෙද්දක් දාන්න සිදුවෙලා තිබුණා. තව වෙලාවක වෙද මහත්තයා ගෙදරට එන ජවනිකාවක් තියනවා . වෙදමහත්තයා "ලෙඩාව එළියට ගේමු. මේ ගේ ඇතුළේ කළුවරයි" වගේ කතාවක් කියනවා .ඒ දෙබස දාන්නේ ලෙඩාව රූගත කිරීම් වල ලේසියට එළිය තියෙන තැනකට ගන්න ඕනේ නිසා මිසක් තිර පිටපතේ උවමනාවකට නෙමෙයි. අනිත් එක ඒ කාලේ එළිමහන් රූගත කිරීම් කරලා ආයෙ දෙබස් කවන්න පහසු කමක් තිබුණේ නැහැ. ඒ නිසා රූ ගත කරද්දි ඒ වෙලාවෙම හඬත් පටිගත කරන්න ඕනේ. ගමක් ඇතුළේ නිසා හැමවෙලාවෙම කාක්කෝ කෑ ගහනවා. ඒ සද්ද බද්ද මයික්‍රෆෝන් එකට අහු නොවෙන්න දෙබස් ටික ගන්නත් ඕනේ. හොඳට බලන්න..."රේඛාවේ" නළු නිළියෝ ඔක්කොම කට ඇරලා තරමක් හයියෙන් දෙබස් කියනව දකින්න පුළුවන්. ඒ අර හේතුව නිසා. ඒ වෙලාවෙම රෙකෝර්ඩ් වෙන්න සද්ද කරලා කතා කරන්න ඕනේ.
6. නළු නිළියන් තෝරා ගැනීමේදී "රේඛාව" තුළ පැහැදිලි වෙනසක් පෙනෙනවා. ඒක අධ්‍යක්ෂවරයා සිතා මතා කළ දෙයක් කියා ඔබ සිතනවාද ?
ඔව්. ඒ කාලේ වෙනකොට ලංකා සිනමාවේ තරු කියලා හඳුන්වපු කවුරුත් "රේඛාව" චිත්‍රපටයේ රඟපෑවේ නැහැ. හැබැයි ඒ වෙනකොට ශේෂා පලිහක්කාර නම් හුඟක් ප්‍රසිද්ධයි . ප්‍රධාන චරිතය වුණු සේන ට තෝරා ගත්තු සෝමපාල ධර්මප්‍රිය ඒ කාලේ කැමරාවක් දැකලාවත් තිබුණේ නැහැ. මවගේ චරිතය රඟපාපු අයිරාංගනී සේරසිංහ ඊට කලින් චිත්‍රපටියක ඉඳල තිබුණේම නැහැ. එයා ඒ කාලේ මාධ්‍යවේදිනියක්. ප්‍රේමාගේ චරිතය රඟ පෑව මල්ලිකා පිලපිටිය තමයි රොෂාන් පිලපිටිය ගේ අම්මා. මේ අයට ඇත්ත මිනිස්සුන්ව ඇත්ත වගේම නිරූපණය කරන්න පුළුවන් වෙයි කියලා ඩොක්ටර් පීරිස් විශ්වාස කළා. ඒ අයත් අලුත් වුණාට ඒ විශ්වාසය රැකලා වැඩ කළා. සෝමපාල ධර්මප්‍රිය පස්සේකාලෙක කැමරා ශිල්පියෙක් වුණා. දැන් එයා ජීවතුන් අතර නැහැ. අනුලාගේ චරිතය රඟපාපු මර්ටල් ප්‍රනාන්දු පොඩි කාලෙම පිළිකාවකින් මිය ගියා. එයා තමයි "සුදු සඳ එළියේ" සින්දුවේ එන නැටුමේ ඉස්සරහින්ම රඟපාන්නේ.
7. "රේඛාව" හරහා සිනමාවට පිවිසෙන අයිරාංගනී සේරසිංහ අද වන විට සිංහල සිනමාවේ "රිදී රේඛාවක්".ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ තේරීම ගැන ඔබ මොකද හිතන්නේ.
ඒ කාලේ අයිරාංගනී මීදෙණිය කිව්වම , ඉංග්‍රීසි වේදිකාවේ හිටිය දක්ෂ නිළියක්. ශේක්ෂ්පියර් නාට්‍ය වල අයිරාංගනී කරපු "ඇන්ටිගනී" වගේ චරිත මට තාමත් මතකයි. ඩොක්ටර් පීරිස් අයිරාංගනීව ඒ කාලේ ඉඳන්ම දන්නවා. මට මතකයි, ලංකාවේ එක සිනමා උළෙලක් අතරතුර පෙන්නුවා කෙටි චිත්‍රපටියක්. ඒක නොසැලකිලිමත් රියදුරන් ගැන කරපු "ඹෙ සෆෙ ඔර් බෙ සොර්‍රය්" කියලා ඩොක්‍යුමන්ට්‍රි ෆිල්ම් එකක්. අයිරාංගනී මීදෙණියත් අපරික්ෂාකාරී රියදුරෙක්ට රඟපෑවා. එයා කළේ ටිකක් හාස්‍යජනක චරිතයක්. මම එතකොට ඉස්කෝලෙ ගිහින් ඉවරවුණා විතරයි වගේ. මට හිතුණා "ෂාහ් ! මේක නියමෙට කරලා තියෙනවානේ" කියලා. පස්සේ කාලෙක තමයි දන්නේ ඒක ඩොක්ටර් පීරිස් ගේ චිත්‍රපටියක් කියලා. ඊට පස්සේ මම ප්‍රංශේ ඉන්නකොට ඝල්ලෙර්ය් ඉන් ඵරිස් කලාගාරයේදි දකිනව ලස්සන චිත්‍රයක්. ඒ ඉන්නේ අයිරාංගනී කියලා මම එක පාරටම අඳුන ගන්නවා. සළුවක් පොරවගෙන ඉන්නවා වගේ අතිශය සුන්දර චිත්‍රයක්. ඒක අදටත් ඝල්ලෙර්ය් ඉන් ඵරිස් වල පර්මනන්ට් කලෙක්ෂන් එකේ (ස්ථිර ප්‍රදර්ශනය සඳහා තියෙන චිත්‍ර නිර්මාණ එකතුව ) තියෙනවා. අයිරාංගනීව ඇඳලා තිබ්බේ ලංකාවෙන් බිහි වුණු විශිෂ්ඨතම චිත්‍ර ශිල්පියෙක් වුණු අයිවන් පීරිස්. අයිවන් කියන්නේ ඩොක්ටර් පීරිස් ගේ මල්ලි. ඊට පස්සේ ඩොක්ටර් කාන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකට "රේඛාව" අරන් එනවා. එතනත් අයිරාංගනී මීදෙණිය ඉන්නවා. එයා මුළු ඇඟම යොදවල රඟපාන , පුදුමාකාර කැපවීමක් සහ කරන චරිතය ගැන දැඩි අවධානයක් තියෙන නිළියක් විදියටයි මම දකින්නේ. පුදුමයක් නෙමෙයි. අයිරාංගනීනේ විදේශයකට ගිහින් රඟපෑම ගැන ශාස්ත්‍රාකූලව හදාරපු ලංකාවේ මුල්ම නිළිය.
8. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වරක් සඳහන් කළා "වීථියෙන් ඇදගෙන ආ කොලුවෙක් විසින් කොර දරුවාගේ චරිතය කළා.ඒත් ඔහු රඟපෑමෙන් අනතුරුව වීථියෙන්ම අතුරුදන් වුණා. අදටත් ඔහු ගැන ආරංචියක් නැහැ" කියලා. මේ ගැන ඔබ දන්නවද ?
ඒ කියන්නේ කැමිලස් ගැන. කාලයක් තිස්සේ හොයාගන්න බැරිව කිසිම ආරංචියක් නැතුව හිටියේ. එකපාරටම එයා ළඟකදි කෝල් කරලා එයාව අඳුන්වලා දුන්නා. හුඟක් විස්තර කතා කළා. දැන් නම් වයස හැත්තෑවකට වැඩිත් ඇතිනේ. එයා ටේලර් කෙනෙක්ලු. කොහෙද ? මට එයාගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්න බැරිවුණානේ. අන්තිමට ඒක නිසා "රේඛාව' ට අවුරුදු 60 ක් පිරීම නිමිත්තෙන් තිබ්බ උපහාර උළෙලට එයාව ගෙන්න ගන්න විදියක් තිබ්බේ නෑ. මේ හදිස්සියේ කොහෙන් කියලා හොයන්නද ? යාන්තම් ඒ වැඩසටහන ටී.වී. එකෙන් දැකලා කැමිලස් ගේ අක්කා කෙනෙක් එයාට ඒ ගැන කියලා. ගිය සතියේ ආයෙමත් කෝල් කරපු නිසා දැන් නම්බර් එක තියෙනවා. ළඟකදි අපිව බලන්න එන්නම් කිව්වා.
9. 'රේඛාව' චිත්‍රපටයේ ගීත සියල්ලම ඉතාමත් ජනාදරයට පත් වුණා. ගීත රචනය මර්සිලීන් ජයකොඩි පියතුමාට ම පවරන්න විශේෂ හේතුවක් තිබුණද ?
ඒක වුණේ සුනිල් ශාන්ත "රේඛාව" ට සම්බන්ධ වෙන්න බැහැ කියපු නිසා. සුනිල් ශාන්ත "මම සිංහල චිත්‍රපටි වලට නම් සිංදු ලියන්නේ නෑ' කියලා ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කළාලු.මේ චිත්‍රපටිය දෙමළ අනුකාරකයක නෙමෙයි, වෙනස් විදියේ එකක් කිව්වමත් සුනිල් ශාන්ත තමන්ගේ අදහස වෙනස් කරලා නෑ. "හැමෝම මුලින් කියන්නේ ඔහොම තමයි" කියලා බැහැ ම කිව්වලු. ඩොක්ටර් පීරිස් වුණත්, සුනිල් ශාන්ත වගේ කෙනෙක් එක්ක තර්ක කරන්න තරම් දෙයක් ඒ වෙනකොට කරලා තිබුණේ නැති නිසා කරබාගෙන ඇවිල්ලා. ඔය වෙලාවේ කවුරු හරි කිව්වලු "මර්සලීන් ජයකොඩි පියතුමා"ට කියලා සුනිල් ශාන්තට කතා කරන්න කියලා. පියතුමා හරහා ආවාම තමයි සුනිල් ශාන්ත අමාරුවෙන් හරි කැමති වෙලා තියෙන්නේ "රේඛාව" සිංදු වලට සංගීතය සපයන්න. "පියතුමනි . ඔබතුමා මේ චිත්‍රපටි ගැන වගකීම භාරගන්න ඕනේ" කියලා කොන්දේසියක් දාලා තමයි ඒකත් භාර අරගෙන තිබුණේ. ඔය තත්ත්වෙත් එක්ක සිංදු ලියන වැඩේ පියතුමාට ම භාර වුණා. ඒක හොඳ තීරණයක් වුණා.
10. "රේඛාව" වගේ සිනමා නිර්මාණයක් බිහිවීම සමකාලීන විචාරක සමාජය කොයි විදියටද භාර ගත්තේ.
මම කලින් කිවුවා වගේ සමහරු කියලා තිබ්බා "මේ ගම ගැන වාර්තා චිත්‍රපටියක්නේ" කියලා. හැබැයි ඉංග්‍රීසි පත්තර වල චිත්රපටයේ හොඳ ගැන විචාර ලියවුණා. රෙජී සිරිවර්ධන , චාල්ස් අබේසේකර වගේ අය "රේඛාව' අගයලා ලිවුවා මතකයි. ඒත් මට තවමත් හිතා ගන්න බැහැ ජයවිලාල් විලේගොඩ ඇයි මොකුත්ම නොලිවුවේ කියලා. ඒ කාලේ අපිට හිටිය හොඳම විචාරකයා විලේගොඩ නේ. අනුකාරක සිනමාව ගැන හුඟක් විරෝධය දක්වපු කෙනෙක් වුණාට විලේගොඩ "රේඛාව" ගැන ලියපු කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. අනිත් වැදගත්ම කාරණය තමයි , අහම්බයකින් හරි 1956 අවුරුද්දේ "විරාගය" නව කතාව "මනමේ" නාට්‍යය සහ "රේඛාව" චිත්‍රපටය එළියට එනවා. මේ නිර්මාණ තුන අතර එකිනෙක සම්බන්ධයක් නැහැ. ඒත් 56 කියන්නේ සමාජමය වෙනසක් ඇති වුණු අවුරුද්දක් . ඒ අස්සේ මේ වගේ නිර්මාණ තුනක්ම ආපු එකත් එක්තරා විදියේ වෙනසකට හේතු වුණා.
11. අවසාන වශයෙන් අහන්නම් "රේඛාව " ගැන අද වෙනකොට හිතෙන්නේ මොනවද කියලා.
රේඛාව ට යොදපු ඉංග්‍රීසි නම තමයි" Line of Destiny". ඩොක්ටර් පීරිස් රේඛාව ගැන මතක් කරද්දි සමහර වෙලාවට කියනවා "මේක එක්තරා පෙර නිමිත්තක් විදියට හැදුණද මන්දා. චිත්‍රපටියේ නම Line of Destiny. කතාව තියෙන්නෙත් ඇස් පේන්නේ නැති ළමයෙක් ගැන. It’s all about sight (මේ හැමදේම දෘෂ්ටිය ගැනයි) කියලා. රේඛාවත් එක්ක සිංහල සිනමාවට අලුත් දෘෂ්ටියක් ලැබුණා.
ලක්බිම | මංජුසාව | 2016 නොවැම්බර් 06 | සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ
0 comments:
Post a Comment