සෙල්ලම් කළේ , ටී වී බැලුවේ නෑ - උසස්පෙළ එක වුණා


මෙවර (2017) උසස්පෙළ කලා විෂය ධාරාවේ දිවයිනෙන් ප්‍රථමයා සමග සාකච්ඡා කළහොත් මෙවැනි පිළිතුරක් ලැබීමට ඉඩ ඇත. 

හුඟක් දවස් වලට රෑ එළි වෙනකං නිදි මැරුවා. විභාගේ ළං වුණාම තමයි ඒක අඩු කළේ. පාඩම් කරන්න ලැබෙන්නේ උදේ වරුවේ. මතක ඇති කාලෙක සෙල්ලම් කරලා නෑ. ටී වී එක බැලුවේ වෙලාවක් තිබ්බොත් විතරයි. ට්‍රිප් නම් ඉතිං අවුරුද්දකට පාරක් අපිව එක්ක යනවනේ. ඔය ටික ඇරුණාම දවස ගත වෙන්නේ බෝධි පූජා තිය තිය - පිරිත් කිය කිය තමයි.

නෑ. නෑ. මට නෙමෙයි බෝධි පූජා. එළියේ පේන්න හිටියොත් බෝධි පූජාවක් තියන්න කියලා අඬ ගැහුවම බෑ කියන්න බෑනේ. උසස්පෙළ නිසා මම බිසී කියලා කියන්නයැ. එහෙම කිව්වොත් මෙච්චර කල් කන්න දුන්න ඒවායේ ඉඳන් කුල කියයි ඊට පස්සේ. වරු පිරිත් , මහ පිරිත් , මළ ගෙවල් , බණ ගෙවල් , දානේ ගෙවල් ඔක්කොටම යන්න එපැයි. එක දිහාකින් ඉල්ලන ගාණ යවන්නම ඕනෙනේ. විභාගේ ළං වුණාම තමයි ඉතින් ඒවායින් පොඩ්ඩක් නිදහස් වෙන්නේ. කොහොමත් රෑට ලොකු කෑමක් නැති නිසා නිදිමතක් එන්නේ නෑ. පාඩම් කරන නිසා බඩගින්නට සම්බෝලයක් හදාගෙන බත් ටිකක් කනවා. ඊට වඩා දේවල් හදන්න ගිහිං අහළ පහළ ගෙවල් වලට සුවඳ ආවොත් එයාලා ඊ ළඟ දවසේ හවස ලොකු නම මුණ ගැහෙන්න එනවානේ. ඔය අස්සේ පිරිතකට ගියොත් ඉතිං උදේ වරුවම නිදි. එතකොට පාඩම් කරන්න බෑ. දවල් දාන වලට ගියොත් නිදහසේ කෑමක් කන්න වෙන්නේ නෑ. සත්තුවත්තේ චිම්පන්සින්ට කෙහෙල් දීලා කනකං බලා ඉන්නවා වගේනේ. අපිට ඉතිං උගන්නන්නේ හවසටනේ. ඒ වෙලාවට වාඩි වෙලා ඉන්නකොට නිදිමතත් එනවා. ඊට පස්සේ හවසට බෝධි පූජා , පිරිත් නූල් බැඳිලි අහු නොවුණොත් , රෑට පිරිත් නොතිබ්බොත් පාඩමක් කරගන්න පුළුවන්. වෙලාව ඉතුරු වුණත් ෆිල්ම් බලන්න , යාලුවො හම්බවෙන්න කියලා දෙයක් නෑනේ. ඒ නිසා පාඩම් කරනවා

ඔව් ! ප්‍රතිඵල ගැන ආරංචි වුණාට පස්සේ දැන් හැමෝම කතා කරනවා. නෑ . පාඩම් කරපු විදිය ගැන නම් කවුරුත් ඇහුවේ නෑ. හුඟ දෙනෙක්ට දැන ගන්න ඕනේ වුණේ මම මොනවා හරි විශේෂ බෝධි පූජාවක් හරි බාරයක් හරි වුණාද කියලා. අනික් අයට දැන ගන්න ඕනේ වුණේ මම දිගටම සිවුරේ ඉන්නවද කියලා.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. උඹ මේ හාමුදුරුවන්ගෙ දක්ශතාවය මතු කරන්න කරන උත්සාහයට මගේ ආචාරය පිළිගනින් මචං.. රැඩිකල් කියාගන්න, අනිත් හැමදේම පේන හැත්තෙන් එකෙක්වත් මේ අවංක කම පෙන්නුවෙ නෑ.මෙතන බනින්න දෙයක් තිබ්බ නං බලාගන්න තිබ්බ..
    ජයවේවා..!!

    ReplyDelete