නොවැම්බර් 26 : ඇලිස් දුටු විස්මලන්තය ප්‍රකාශයට පත් වේ


1865 වසරේ අද වැනි දවසක ලොවම හඳුනන ඇලිස් දුටු විස්මලන්තය හෙවත් Alice's Adventures in Wonderland ප්‍රකාශයට පත් විය. ලුවිස් කැරොල් විසින් 1865 වසරේ දී එළිදැක්වූ මේ කතාන්දරය ආගන්තුක ලොවක අතරමං වන ඇලිස් නම් යොවුන් දැරියක පිළිබඳව ඉන්ද්‍රජාලිකව ගොනු කර තිබිණ. ළමා ලෝකය එම රසවත් කථාව ආදරයෙන් වැළැඳ ගත්තද ඇලිස් දුටු විස්මලන්තය යනු මතභේදයන්ගෙන් තොර අහිංසක ළමා කතා පුවතක්ම නොවේ.
1931 වසරේ දි චීනයේ “හුනාන්” ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් "ඇලිස්" යනු ළමයින්ට නුසුදුසු කතාපුවතක් යැයි තීරණය කර එය තහනම් කරනු ලබයි. සතුන් කිසිලෙසකත් මනුෂ්‍ය භාෂාව පාවිච්චි කළ යුතු නැත යන කරුණ සහ සතුන් සහ මිනිසුන් එකම මට්ටමකින් සැලකීම විනාශකාරී දෙයක් යනුවෙන් ඔහු පවසන්නේ නිදසුන් ද සමගයි. විස්මලන්තයේ අතරමං වන ඇලිස්ට පූසන්ගෙන් පාර අහන්නට සිදුවීම, හාවුන්ගේ ආඩම්බරකම් බලන්නට සිදුවීම වැනි දේවල් මේ තීරණයට හේතු ලෙස දැක්විණ.

1960 දි “ඇලිස් දුටු විස්මලන්තය” තහනම් කරන ඇමරිකාව පවසන්නේ ඒ මගින් ළමා මනසට බලපෑම් කළ හැකි මට්ටමේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණයක් සිදු වන බවයි. පස්වෙනි පරිච්ඡේදයේදී ඇලිස් හට හත්තක් උඩ වාඩි වී ගඩුගුඩාවක් උරන දාර්ශනික දළඹුවෙක් මුණ ගැසෙයි . දළඹුවා ඇලිස්ගේ ගමනට අවශ්‍ය ලෙස සිරුර වෙනස් කර ගැනීමට යැයි පවසා හත්තෙන් කොටසක් ලබා දෙයි. ඒ සමග පවසන "One side will make you grow taller, and the other side will make you grow shorter.' වදන් හරහා සමකාලීන ඇමරිකාව තුළ ව්‍යාප්ත වී තිබුණු තහනම් උත්තේජන මත්ද්‍රව්‍ය පිළිබඳ ඉඟි කරන බවට ලුවිස් කැරොල්ට එරෙහිව චෝදනා නැගුණි.

එකොළොස් හැවිරිදි ඇලිස් ලිඩෙල් (Alice Liddell) යනු සැබෑ ඇලිස් ලෙස සැලකෙන දැරියය. ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් ලේඛනයේ යෙදුණු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් (Charles Lutwidge Dodgson) ඇලිස් ගේ පියාගේ සහ පවුලේ මිතුරෙකි. ලුවිස් කැරොල් වරක් ලිඩෙල් පවුල සමග බෝට්ටු සවාරියක යෙදෙන අතරතුර ඇලිස් සහ සොයුරියන්ගේ විනෝදය උදෙසා ඇලිස් ඉල්ලා සිටි පරිදි ගෙතූ කතාවAlice's Adventures in Wonderland ලෙස වර්ධනය වූ බව පැවසේ. නමුත් ලුවිස් කැරොල් යනු ළමා අපයෝජකයෙක් බවත් ඔහු ඇලිස් ලිඩෙල් සමඟ නොමනා ඇසුරකට උත්සාහ කළ බවත් පසුකාලීනව ඇලිස්ගේ වැඩිහිටියන් ඇයව ලුවිස් ඇසුරෙන් වෙන් කළ බවත් ඉතිහාසය පුරා සඳහන්ව ඇත. ළමා අපයෝජනයන්ට කිසිදු සාක්ෂියක් නොතිබුණද පසුකාලයක දී හමුවූ ලිඩෙල් දැරියන් තිදෙනා ගේ සමූහ ඡායාරූපයක් මේ අදහස තහවුරු කරන්නට විය. එහි ඇලිස්ගේ වැඩිමල් සොයුරිය නිරුවතින් සිටින බැවින් ලුවිස් ට එරෙහිව උණුසුම් චෝදනා පැණ නැගිණ. නමුත් එම ඡායාරූප ශිල්පියා ලුවිස් ම බවට කිසිදු සාධකයක් නැතත් ලිඩෙල් පවුලේ දැරියන් ව විවිධාකාරයෙන් සේයාරුවට නගන්නට ලුවිස් පුරුදුව සිටි බැවින් එය ද ඔහුගේ ගිණුමට බැර විය. මේ චෝදනා වලට තටු ලැබෙන්නට ප්‍රධාන වූ අනෙක් මූලික කරුණ වූයේ ලුවිස්ගේ දිනපොත් දහතුනකින් පරිච්ඡේද හතරක් මුළුමනින්ම අතුරුදන් වී තිබීමයි. 1853 - 1863 යන එම කාලසීමාව යනු ලුවිස් සහ කුඩා ඇලිස් ලිඩෙල් ගේ පවුල සමග සම්බන්ධතා බිඳ වැටුණු , ඔහු මහත් පීඩාවෙන් ගත කළ යුගයයි. බොහෝ විට මේ පිටු අතුරුදන් කරන්නට ඇත්තේ ඔහුගේ පවුලේ සාමාජිකයින්යැයි මතයක් පැවතුණ ද ඒ බවට ද සාධක නැත.

අදටත් ඇලිස් සහ විස්මලන්තය අපගේ මතකයේ ඇත. ලුවිස් කැරොල්ට එරෙහි චෝදනා වලට සාධක නැත. නමුත් චෝදනා ද එලෙසම ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment