අසුරු සැණින් එක මොහොතකදී


අසුරු සැණින් එක මොහොතකදී - කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ - අපේම වී අප ඉපදේවා

මා මේ ගී පද මාලාවට ඇලුම් කරමි. ස්ථායි කොටසට අතිශය ඇලුම් කරමින් අන්තරා කොටස් දෙක උපේක්ෂාවෙන් ඉවසා දරා සිටිමි. ජීවිතය යනු එයම නොවේද ? පූර්ණ හිමිකාරීත්වයෙන් යුතු වූ සතුටක් සොයා වෙහෙස වීමට තරම් මේ ජීවිතය දිගු නොවන බව හොඳාකාරවම දනිමි. ඉදින් සතුට සැනසුම ඇත්තේ කොතැනකද එයින් සැනසෙනු විනා එය දෝතට තුරුළු කර තනි අයිතියට ගැනීමට තරම් බොළඳ වීමට ඇවැසි නැත.

සෑම ප්‍රේම කතාවක් වෙනුවෙන්ම ලෝක ධාතුව නැවතී , යළි ඇරඹෙන්නට උවමනා නැත. අනෙක් පසින් එසේ සිදුවිය යුතු පෙම් පුවත් ද නැතුවා නොවේ. නමුත් අප වෙනුවෙන්ම අලුතින් බිහි වූ විශ්වයක මා ඔබ ලබන්නේ වුවද , ඔබ පෙර දා ඇලුම් කළවුන් ඔබට අහිමි වී යන්නේ නම් මා තුළ තිබී ඇත්තේ ආදරයක් නොව , අත්පත් කර ගැනීමේ ආශාවකි. සින්නක්කරව ගැනීමේ පිපාසාවකි. මා ඔබේම වන්නටත් - ඔබ මගේම වන්නටත් විශ්වය අලුතින්ම බිහිවිය යුතුම නැත. විවාහය සහ ආදරය යන්න සිද්ධීන් දෙකක් මිස එකක් නොවන්නේ එබැවිනි. වෛරය තහනම් නැති ලෝකයක ප්‍රේමයට නීතියක් ඇවැසි නැත.

කාලය ගත වන්නට ඉඩ හරින්න. විශ්වයට ඉඩ දෙන්න. ඔබ ඔබේ ලෝකය තුළ එලෙසම ජීවත් වන්න. මාත් ඔබත් පමණක් සිටිනා හුදෙකලා ලොවෙක වෙනත් විසඳුමක් නැති නියාවෙන් අප - අපටම ප්‍රේම කරනවාට වඩා ඒ ලෝකය තුළ දී අපගේ ප්‍රේමයට හිමිවන වටිනාකම අති මහත්ය. ඉදින් මා කෙරෙහි ප්‍රේමය දරාගෙන ,ඔබ ඔබේ ලෝකය තුළ එලෙසම ජීවත් වන්න. දහසක් දෙනා ගැවසෙන ඒ ලෝකය තුළ ඉසිඹු ලද විගසින් එක් වරක් හෝ මා වෙත ප්‍රේමණීයව බැල්මක් හෙලන්න. ඔබගේ ලෝකයේ සෙවණල්ල වැටෙන මායිමක ගොඩ නගා ගත් මගේ ලෝකයට වී ඒ ප්‍රේමයේ ප්‍රහර්ශය අත් විඳින්නෙමි. එසේ වන තාක් , ඔබේම වී මා - මගේම වී ඔබ - අපේම වී අප අලුතින් ඉපදෙන්නට හේතුවක් ඇත්තේම නැත.


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට 
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට 
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

ගායනය : යමුනා විනෝදනී
ගී පද      : කුසුම් පීරිස්






Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment