රේල්ලුව


"ගම්පහ .. ගම්පහ " ජනේලය අයිනේ හිටිය පොඩි උන් දෙන්නා කෑ ගැහන සද්දෙට නිමංගි ගැස්සිලා ඇහැරුණා. තාම කෝච්චිය ස්ටේෂන් එකේ නවත්තලා නැහැ. ජනේලයෙන් එළියට දාන්න හදන අත් පොඩි ටික වළක්වන ගමන් පොඩි උන්ගේ තාත්තා නිමංගි එක්ක හිනා වුණා. ගල්ගමුවේ ඉඳන් එන ගමනේ ස්ටේෂන් වල බෝර්ඩ් කියවන සෙල්ලම ජයටම කෙරුණා. පොඩි දෙන්නට බෝර්ඩ් එක කියව ගන්න බැරි වුණොත් විතරයි තාත්තා හරි අම්මා හරි ස්ටේෂන් එකේ නම කියන්නේ. නිමංගි එකපාරටම හැරිලා බැලුවේ යොහාන්ගේ අම්මා දිහා. හොඳටම නිදි.
කෝච්චිය හෙමින් හෙමින් ඇදෙනකොට ජනේලය අතරින් පේන රන්ජන් ලංකා එක සුදට සුදේ බැබලුණා.ඉස්සර සියනෑ එක. පොතුපිටිය මිස්ගෙ ක්ලාස් ගිහිං ඉසුරු එකෙන් තේ එකක් බීලා බස් එක එනකං හිටගෙන ඉන්න ගෑණු ළමයෙක්ව නිමංගිට මතක් වුණා. ඇස් දෙක තෙත් වෙන නිසා ලේන්සුවෙන් පිහිනකොට අර පොඩි උන්ගේ තාත්තා ජනේලේ වහන්නද ඇහුවා. ගම්පහ කොහෙන්ද දූවිලි ? නිමංගි අතින් එපා කියලා අහක බලා ගත්තා.
යාගොඩ  
ආයෙම කෑ ගහන සද්දේ. අලුතෙන් කියන්න ඕනේ නෑ. වෙල් යායෙන්ම කියන්න ඇහැකි. නිමංගි එක්ක සයන්ස් සෙන්ටර් එකේ සාමාන්‍ය පෙළ පංති ආපු සංසලා ඇන්තනි හිටියෙත් යාගොඩ. සංසලාට ඉංග්‍රීසි වතුර වගේ පුළුවන් " සෝල්ජර් .. සෝල්ජර් විල් යු මැරි මී.. " කියලා ඉන්ග්ලිශ් ඩේ එකේ ලස්සනට කට උල් කරලා රඟපාපු සංසලා උසස් පෙළ පටන්ගන්නත් කලින් සයන්ස් සෙන්ටර් එකේ ගණං උගන්නපු සර් එක්ක පැනලා ගියා. සරුත් තරුණ , හැඩවැඩ කෙනෙක්. අපරාදේ ඒත්.. නිමංගි ට හිතුණා

ගණේමුල්ල
කෝච්චි පෙට්ටිය නැවැතුණේ මහ පාර උඩින්. ඒ කාලේ කෝච්චියේ එන කෙල්ලො අතර ගණේමුල්ලේ මාලක හරි ජනප්‍රියයි. ඕකා මහ පැණියා කියලා නැති තැනදි කිව්වට හැම කෙල්ලෙක්ම වගේ මාලක බලනවට , විහිළු කරනවට කැමතියි. හැබැයි ඉතිං ස්කූල් කට් කරලා දවල් දවසම රස්තියාදු ගහන එකෙක්. " හූ හූ .. රැවටුණා නේද " කියලා ලියපු කොළයක් පරිස්සමට නවලා හොරෙන් දෙන ලව් ලෙටර් එකක් වගේ ගෝතමියේ යතින්ද්‍රා අතේ තිබ්බ මාලක අවුරුදු ගාණකට පස්සේ ටී. වී එකේ වැඩසටහනක් මෙහෙයවනවා නිමංගි දැක්කා. මිනිහා මොකක්ද පෙරහැරක් ගැන හෙණ බැතිබරව කතා කළා. නිමංගිගේ ඔළුවේ පෙරහැරවල් වලට වඩා දේවල් තිබුනු කාලයක් ඒක.

බුළුගහගොඩ 
අපෝ. මෙලෝ රහක් නැති ස්ටේෂන් එකක්. ඒ කාලේ කන්දට වගේ වෙන්න තිබ්බා හද්ද පරණ සැලූන් එකක්. ඒකේ කොණ්ඩේ කපන්නේ මන්නෙන් ද කොහෙද. නිමංගි පාත් වෙලා බැලුවා. ඒක දැන් නෑ.

බටුවත්ත
නිමංගිලගෙ ඉස්කෝලේ හොකී කැප්ටන් හිටියේ බටුවත්තේ නේ. දවසම පිට්ටනියේ ඉඳල "බටූ" ගේ කොණ්ඩේ තඹ පාට වෙලා තිබ්බේ. ආනන්දේ කොණ්ඩේ වවපු නැටුම් සර් හිටියෙත් බටුවත්තේ කියලා නිමංගිට මතකයි. මොකද ,කෝච්චියෙන් බැහැලා පුතා එක්ක පාරේ යන සර්ව පහුවෙනකොට ආනන්දේ කොල්ලො හැංගිලා කෑ ගහනවා. නිමංගිට ඒක මතක් වෙලා මූණේ පොඩි හිනාවක් ඇඳුණා

වල්පොළ 
සමුද්‍රිකාගේ බෝයිෆ්‍රෙන්ඩ් මනුක නගින්නේ වල්පොළෙන්. මිනිහා හරියටම බොබී ඩියෝල් වගේ. හැබැයි ඉස්කෝලේට යන්නේ වාරයකට එක දවසයිද කොහෙද. උදේට ඉස්කෝලේ එන විදියට ඇවිල්ලා රාගමෙන් බැහැලා අම්මලා වැඩට යනකං ඉඳලා ආයේ ගෙදරට ගිහිං ෆිල්ම් බලනවලු. පිස්සෙක් !.. සමුද්‍රිකා ගැලවුණු එකමයි හොඳ.

රාගම
රාගම කියන්නේ බේරුවල් බොක්ක වගේ. එක එක පැතිවලින් එක එක ජාතියේ අය කළවම් වෙනවා. වතාවක් කවුදෝ අසහනකාරයෙක් නිමංගිට පිටිපස්සෙන් හේත්තු වෙලා සිප් එක ඇරගෙන හිටියා. තාමත් ඒ දවස මතක් වෙනකොට ලැජ්ජයි. හිටගෙන ඉන්න ඉස්කෝලේ ගෑණු ළමයාගේ ඇස් වලින් එක දිගට කඳුළු ගලන්නේ ඇයි කියලා වාඩිවෙලා හිටිය අයියා කෙනෙක් හොයලා බැලුවා. ඒ අයියලා සෙට් එක වරායේ වොලිබෝල් ටීම් එකේ කියලා පස්සේ ආරංචි වුණා. කට්ටියම වටවෙලා ගහපු ඩෑෂ් වලට අර මනුස්සයගේ නාස් පොල්ලත් කැඩුණා. ජැක්සන්ගේ කරුමෙට එක්ස්ප්‍රස් එක ආයේ නැවැත්තුවේ කැළණියෙද කොහෙද

හොරපේ 
හොරපෙන් ඉස්සර නැග්ගා වසන්ති කියලා අක්කා කෙනෙක්. ඕපන් යුනිවර්සිටි ගියේ. නහය ටිකක් වාසනා දන්තනාරායනගේ වගේ. පස්සේ පස්සේ එයා පොඩි චරිත රඟපාන නිළියක් වුණා. ශූටිං නිසා උදේ කෝච්චියේ ඒන එක මග ඇරුණා. බන්දුයි ටෙනීයි හිටිය ෆිල්ම් එකක ස්ව්මිං පූල් එකක් වටේ කැට් වෝක් එකෙන් ඇවිද ඇවිද නටපු වසන්ති කෙනෙක් ඇරෙන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ චිත්‍රපටියක රඟපාන වසන්ති කෙනෙක් නිමංගිට දකින්න ලැබුණේ නැහැ. අර ඩිග්‍රි එක ඉවර වෙන කම් කළා නම් ඉවරයිනේ ...

එඬේරමුල්ල 
එඬේරමුල්ලේ දි තමයි ඒ කාලේ ජනප්‍රියම සිංදු කියන කණ්ඩායම කෝච්චියට නගින්නේ. බොංගෝ ඒකක් අර ගත්ත පිරිමි දෙන්නෙක් එක්ක සිහින් කටහඬින් සිංදු කිව්ව ගෑණු කෙනා තරුණයි. ඒත් මූණේ තිබ්බ පිච්චුණු කැළල නිසා වයස්ගත පෙනුමක් තිබුණා. ශෝල් එකකින් ඒක වහගන්න දරපු උත්සාහය අසාර්ථකයි, නිමංගි ආසම එයාලා "සීත අරණේ සුපුල් නාමල" සිංදුව කියනකොට. පෙට්ටියෙන් එළියේ ඈත දුර බලාගෙන " මහා කතරක ගෙවූ තනිමග නිමා කළ ඉම ඔබ නෙතයි " කියනකොට ඒ නහර පෑදෙන කැළල් මූණේ ලොකු වේදනාවක් පෙනුණා. හැබැයි නිමංගි සල්ලි දුන්නේ නෑ. කොහෙ තියෙන සල්ලිද ?

හුණුපිටිය 
හුණුපිටියෙන් ඉස්කෝලේ මැඩම් කෙනෙක් නගින නිසා හැමෝම විනීතව හැසිරෙන්න පුරුදු වුණා. නැත්නම් හිරන්තිට වුණා වගේ පහුවෙනිදට අම්මලව එක්කන් එන්න වෙනවා ඉස්කෝලේට.

වනවාසල 
එක පාරක් තෙළඟපාත රේල්වේ ක්‍රොසිං එකෙන් දාපු ටිපර් එකක් වවුනියා කෝච්චියේ ඇමිණිලා වනවාසලටම ඇවිල්ලා තිබුණා. එදා කෝච්චි ඔක්කොම පරක්කුයි. ගම්පහ ක්ලාස් එකත් මිස් වුණා. දෙකයි විස්සේ කෝච්චි පෙට්ටියේ කට්ටිය බීම බෝතල් ගෙනල්ලා පොඩි පාටියක් දැම්මා.

කැළණිය 
ගුරුකුලෙයි නාලන්දෙයි වලියක් ගියේ නිමංගි දොළහ වසරෙදි ද කොහෙද. අන්තිමට ඒකට ආනන්දෙයි , ධර්මාලෝකෙයිත් ගෑවුණා. ආනන්දෙට නාලන්දෙට කෝච්චියෙන් ගියත් ගුටි. බස් වලින් යන අයවත් පට්ටිය හන්දියෙන් බස්සලා ගැහුවලු. ඒ දවස් වල නම් ආරවුල් ඉවර නෑ. නිමංගි හිටිය පෙට්ටියේ නාලන්දේ ළමයෙක්ට ගහනකොට එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට කලන්තේ දැම්මත් එක්ක. ගුටි කාපු එකා නම් හල්ක් වගේ හිටියා අපූරුවට.

දෙමටගොඩ 
සීසන් එක නැතුව හදිසියේ දුවං ඇවිල්ලා කෝච්චියට නැගපු දවසක කේරි එකේ ළමයෙක් දෙමටගොඩෙන් බැහැලා දුවලා ගිහිං නිමංගිට ටිකට් එකක් ගෙනත් දුන්නා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ටිකට් කවුන්ටර් එක තිබ්බේ අනිත් පැත්තේ. කෝච්චි පෙට්ටියේ අනිත් කොල්ලෝ ටික අර ළමයව හූ කියලා පිළි අරගෙන බයිට් කළා. වැඩි කතාවක් නැති ඒ කළු පිරිමි ළමයා ලැජ්ජාවට නිල් වෙලා හිටියේ. ඊ ළඟ මාසේ දහම් පාසල් බල මණ්ඩල තරගවල ඒ ළමයා ගණේමුල්ල සුගත සුභද්‍රාරාමෙන් ඇවිල්ලා හිටියා ධර්මාචාර්ය කථික තරගෙට. වහළේ උළු උඩ යන්න කතා කළානේ.

මරදාන 
යොහාන්ව මුලින්ම හම්බ වුණේ මරදානේ දි. පස්සෙන් එන කාලේ ඉඳන් ඒ බළල් ඇස් වලට නිමංගිගේ හිතේ ආකර්ෂණයක් තිබුණා. ඇමති කෙනෙක්ගේ බොඩි ගාර්ඩ් කෙනෙක් කියලා කිව්වා. ඒ නිසා හවසට ඉස්කෝලේ ඇරෙන වෙලාවටත් නිමංගිව බලන්නඑකට එන්න යොහාන් ට පුළුවන් වුණා. නිමංගිත් ඒ කියපු කතා විශ්වාස කළා. අන්තිමට මරදානේ ප්‍රේම කතාව ඉවරවුණේ ගල්ගමුවෙන්. ඒ ලෙවල් ඇඩ්මිෂන් ගන්නවත් ලබුණේ නෑ. දිල්වාලේ දුල්හානියා ලේ ජායන්ගේ වගේ කියලා මුල් කාලේ නිමංගිට හිතුණේ. බුදු හාමුදුරුවොත් බුදු වුණේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලා නේ. හැබැයි නිමංගි ඊට වඩා අඩු අවුරුදු ගාණකින් සත්‍ය අවබෝධ කරගත්තා. ඒත් ගෑණුන්ට බුදු වෙන්න බෑනේ.

" මේ මරදාන නේද දුවේ.. " බෙල්ල කඩාගෙන එළිය බලන යොහාන්ගේ අම්මගේ හඬ නිසා නිමංගි පියවි සිහිය ලැබුවා. ඔව් නේන්නම්. කල්පනා කර කර දෙමටගොඩ පහුකරගෙන ඇවිල්ලානේ. " අපි අනික් පැත්තට යන කෝච්චියක යමු අම්මේ. ආය අලුතින් ටිකට් ඕනේ නෑ" නිමංගි යොහාන්ගේ අම්මව අතින් අල්ලගෙන බිමට බහින්න උදව් කළා. කොච්චර අසනීප තියාගෙන වුණත් අම්මා යොහාන්ව බලන්න එන්න ඕනෙමයි කියලා ඇවිටිලි කළා. පව් ! නිමංගි දෙමටගොඩට යන්න කෝච්චියක් තියෙන ප්ලැට්ෆෝර්ම් එක හෙව්වා.
සමහර ගමන් තියෙනවා ආපස්සට හැරිලා යන්න ඇහැකි. ඒත් හැම එකක්ම එහෙම නැහැ
දෙමටගොඩ 
වැලිකඩ බන්ධනාගාරයට යන්න බහින්න ඕනේ දෙමටගොඩෙන්. ත්‍රී වීල් එකේ යන්න ඕනේ නෑ. අපරාදේ සල්ලි. ස්ටේෂන් එකෙන් එළියට ගිහිං වමට හැරුණ තැනම බස් නවත්තනවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: