• අතුල රන්සිරිලාල්ගේ රූපවාහිනි ආගමනය ගැන සිහිපත් කරමුද ?
1983 ඔක්තෝබර් 03 වෙනිදා තමයි මම ජාතික රූපවාහිනියට බැඳුණේ. මට එතකොට වයස විසිපහක් වගේ. අපි තමයි පළමුවෙනිම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන පුහුණු කණ්ඩායම. විමලරත්න අධිකාරි , දයාරත්න රටගෙදර , ජයශ්‍රී විජේරත්න , ෂර්ලි අනිල් ද සිල්වා වගේ අය අපේ කණ්ඩායමේ හිටියා. මුලින්ම මම මඩවල එස් රත්නායක මහත්තයා සහ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි මහතා යටතේ වාර්තා හා විචිත්‍රාංග ඒකකයේ අවුරුදු දෙකක් විතර වැඩ කළා. ඒ අතරේ තමයි ටයිටස් තොටවත්ත මහත්තයා හඬකැවීම් ඒකකය පටන් අරගෙන මට එතුමාගේ සහායකයා හැටියට අඬ ගහන්නේ. ඒ කාලේ හඬ කැවීම් ඒකකයට කියලා වෙනමම පුහුණු ශිල්පීන් හිටියේ නෑ. සිනමාව , වේදිකාව සහ ගුවන්විදුලිය කියන මාධ්‍ය තුන හරහා තමයි හඬ කැවීම් මැදිරියට ශිල්පීන් ආවේ. උදාහරණයක් විදියට සිනමාවෙන් රවීන්ද්‍ර රන්දෙණිය, වේදිකාවෙන් ජැක්සන් ඇන්තනි වගේ අයත් ගුවන්විදුලියෙන් පරාක්‍රම පෙරේරා , ගැමුණු විජේසූරිය , සමන් අතාවුදහෙට්ටි වගේ අය වගෙම මාධ්‍යයන් තුනේම හිටිය මර්සි එදිරිසිංහ වගේ අය ශිල්පීන් ලෙස කටයුතු කළා.
• ටයිටස් තොටවත්ත මහතා සමග වැඩ කරපු ආරම්භක යුගය ගැන මතක් කළොත් ?
1986 පෙබරවාරි 04 වෙනිදා නිදහස් සැමරුම වෙනුවෙන් "වැටත් නියරත්" නමින් ලංකාවේ මුල්ම සජීවි ටෙලි නාට්‍යයය කළා. අධ්‍යක්ෂණය කළේ ටයි මහත්තයා. සහාය අධ්‍යක්ෂණය මමයි අනුර ජයසේකරයි. යූ ආරියවිමල් තමයි නිෂ්පාදනය. නළු නිළියෝ හිටියේ ජයලත් මනෝරත්න , ග්‍රේස් ආරියවිමල් , එලන් සිල්වෙස්ටර් සහ රාජා සුමනපාල වගේ අය. ඊට පස්සේ 1987 දි අපි ලංකාවේ මුල්ම මපට් වැඩසටහන වුණු " අතුරු පැළැස්ස" නිර්මාණය කළා. පඬිතුමාට හඬ කැවුවේ සැමුවෙල් රුද්‍රිගු. ඉස්කෝලේ හාමිනේ මර්සි එදිරිසිංහ. එළුසන්ට හඬ දුන්නේ ගැමුණු විජේසූරිය. ඒ වගේ , තොටවත්ත මහත්තයා එක්ක අපි හුඟක් වැඩ කළා.
• විදෙස් ටෙලිනාට්‍ය සිංහලයට හඬ කැවීම සම්බන්ධව පුරෝගාමීන් වුණේ ජාතික රූපවාහිනිය. නමුත් මේ වන විට එය අයහපත් ප්‍රවණතාවයක් බවට පත් වෙලා නේද ?
ඒ ඉතිහාසය කියනවා නම් 1989 ස්ටුඩියෝ එක පටන් ගත්තාට පස්සේ අපි ප්‍රශස්ත විශ්ව නිර්මාණ සිංහලයට නගන්න ගත්තා. මුලින්ම ඇලෙක්සැන්ඩර් ඩූමා , වික්ටර් හියුගෝ වගේ ප්‍රංශ සාහිත්‍ය. ඊට පස්සේ ආර්.කේ නාරායන්ගේ මල්ගුඩි දවස්. ඊට පස්සේ ඔෂීන්. ඔෂීන් ලංකාවට ගේන්න ලොකු වැඩකොටසක් කළේ ඒ කාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හිටිය හෙන්රි ජයසේන මහත්තයා. ඊටත් පස්සේ කාලෙක තමයි පන් පසිඳුවන් , රොබින්සන් අන්දරය වගේ නිර්මාණ.
නමුත් පසුකාලීනව හඬ කවපු ටෙලි නාට්‍ය බාල ගණයේ ඒවා කියලා චෝදනා එනවා. ඔය චෝදනාව "සුජාත දියණී" ඇතුළු ජාතික රූපවාහිනියේ කොරියානු නාට්‍ය වලටත් එල්ල වුණා. හැබැයි මම හොඳටම දන්නවා ඒ නාට්‍ය වලට බණින අය බණින්නේ ඒවා බලලා නෙමෙයි. ඒ බණින්නේ රැල්ලට. අපි සිංහලයට නගපු හැම නාට්‍යයක්ම ප්‍රමිතිය බලලා තෝරගත්තේ. අපිව අනුකරණය කරලා විදෙස් නාට්‍ය සිංහලයට නගන්න ගත්ත අයගේ නාට්‍ය වල ප්‍රමිතිය ගැන නම් අපිට වග කියන්න බෑ.
• විදෙස් කාර්ටූන් වලට නම් යෙදීමේ දී සැබෑ වෙනසක් ඇති කරන්නට ඔබගේ ඒකකය සමත් වෙනවා. එහි පසුබිම ගැන කතා කරමුද ?
මේ අනුවර්තන කලාව ආරම්භ කළේ ටයිටස් තොටවත්ත මහත්තයා. ඉංග්‍රීසි නම එහෙම පිටින්ම නොදා අපිට හිත ඇදෙන සිංහල නමක් යොදන එක එතුමාගේ අදහසක්.Doctor Dolittle - දොස්තර හොඳ හිත වෙනකොට ඒකේ තිබ්බ "The Bird Who Was Afraid to Fly" කියන කතාව ' බෑයි කියලා බෑ" විදියටයි. "The Bare Bear" කතාව "මොඩ් වෙලා මෝඩ වෙලා" කියලා නම් කරන්නේ එතුමා. මමත් ඒ රටාව ඒ විදියටම පවත්වාගෙන ගියා. Bananas in Pajamas - කෝලිකුට්ටු සහෝදරයෝ , Oscara's Orchestras - කාබාසිනියා තුමා , චූල කාබාසිනියා තුමා , මහා කාබාසිනියා තුමා , Marusupilami - දඟර වලිග ලප වානර වගේ නම් හැදෙන්නේ ඒ විදියටයි.
•. තොටවත්ත මහත්තයව සිහිපත් කරනකොට හඬ කැවීම් මැදිරිය විසින් සිංහලයට දායාද කරපු වචන අමතක කරන්න බෑ. ඒ පිළිබඳ ඔබේ මතකය කෙබඳුද ?
ටයි මහත්තයා රූපවාහිනිය හරහා හඳුන්වලා දුන්න උපසිරැසි , සනුපත , හඬ රූ , සකසු , රූ ගැන්වීම , රූ ලකර , අදියුරුව , නිපැයුම , දසුන් මුසුව වගේ වචන හදලා දුන්නේ ටයි මහත්තයගේ අයියා ඊලියන් ද සිල්වා මහත්තයා. ඔහු වරලත් ඉංජිනේරුවෙක්. හෙළ හවුලේ ආභාසය ලබපු කෙනෙක්.
හැබැයි තව දෙයක් මතක් වෙනවා. ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා නම් ටයි මහත්තයා අයියා දුන්න වචන වුණත් අයින් කළා. අනුර ජයසේකර යි මමයි "ගණිතයේ පියමං" කියන වැඩසටහන කරනකොට ඊලියන් මහත්තයා සෘණරොන් ( ඉලෙක්ට්‍රෝන ) , ධනරොන් ( ප්‍රෝටෝන ) , නපුරොන් ( න්‍යුට්‍රෝන ) කියන නම් ටික හදලා දුන්නාම ටය් මහත්තයා අපෙන් ඉස්කෝලේ උගන්නන වචන මොනවද කියලා ඇහුවා. අපි කිව්වා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන , න්‍යුට්‍රෝන කියලා තමයි උගන්නන්නේ කියලා . එතකොට "අයියට කියපං එයාගේ රොන් මලකට දා ගන්න කියලා පුරුදු වචනම දාපං " කියලා ටයි මහත්තයා විනෝදෙන් උපදෙස් දුන්නා.
• "ලා තණකොළ පෙත්තාස් ගෲප්" ගායන කණ්ඩායම බිහිවෙන්නේ ඔබගේ මගපෙන්වීමෙන් නේද ?
ටයි මහත්තයා "දොස්තර හොඳහිත" කරනකොට සමූහ ගායනා වලට ළමයි ටිකක් හොයාගෙන එන්න කිව්වා. ඒ කාලේ මම කළුබෝවිල ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ ගුරුවරයෙක් වගේම දහම් පාසලේ විෂය බාහිර කටයුතු භාරවත් හිටියා. එතකොට ශ්‍රී සුනන්දාරාම භක්ති ගීත කණ්ඩායම කියන්නේ සමස්ත ලංකා තරග දිනපු , කොළඹ නම් දරපු භක්ති ගීත කණ්ඩායමක්. භක්ති ගීත විතරක් නෙමෙයි , විවාද කථික වලටත් සුනන්දාරාමෙට අභියෝග කරන්න කවුරුත් හිටියේ නැති තරම්. කේ.ඩබ්ලිව් ජනරංජන කියන්නේ අපේ දහම් පාසලේ හිටිය සමස්ත ලංකා තරග දිනපු කථිකයෙක්. ළමයින්ගේ ගායන හැකියාව ගැන සැකයක් නැති නිසා මම සුනන්දාරාමේ භක්තිගීත කණ්ඩායම ඒ වැඩේට ගෙනිච්චා. අනික් කාරණේ ඒ කාලේ මේ වගේ ගායනා වලට ගෙවීම් කරන්නේ , ප්‍රවාහන පහසුකම් සපයන්නේ නැති නිසා එක්කගෙන අයගේ වගකීම මට ගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. අන්තිමට ඒ ළමයි ටික තමයි "ලා තණකොළ පෙත්තාස්" ගායන වෘන්දය වුණේ. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් , රසාදරී පීරිස් , රවීන්ද්‍ර මුණසිංහ වගේ අය ඒ කණ්ඩායමේ ළමයි.
• ඔබ විශ්‍රාම ගන්නේ අලුත් වැඩකට මුල පුරමින්. ඒ ගැන සඳහන් කළොත්.
මම 'හඬ කැවීම් කලාව' කියලා කෘතියක් රචනා කළා. ඒක තමයි මේ විෂයය පිළිබඳ සිංහලෙන් ලියැවුණු මුල්ම පොත. ඊට අමතරව මේ වනකොට මම ඇකඩමියක් ආරම්භ කරලා තියෙනවා. මේ ඇකඩමිය ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ගැන ක්‍රමවත් දැනුමක් ලබා දෙන තැනක්. ඉදිරියේදී දැනුමට අමතරව මේ සහතිකයට වෘත්තීමය වටිනාකමක් සහ පිළිගැනීමක් ඇති වෙන මට්ටමට වැඩි දියුණු කරන එක තමයි මගේ අරමුණ.
ලක්බිම | මංජුසාව | 2018 ජනවාරි 21 | සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ
http://epaper.lakbima.lk/oldpapers/daliylakbima/2018/January/last_28_01_18/manjusawa.pdf
+++++++++
ReplyDeleteටයිටස් තොටවත්ත මහතා,අතුල රන්සිරිලාල් මහතා ඇතුළු අපේ ළමාකාලය සුන්දර කල, අපට හොඳ නිර්මාණ තෝරාබේරාගැනීමෙ හැකියාව උරුම කල හැමෝටම අපි හැමදාමත් ණයගැතියි.
ReplyDelete