ප්‍රතිරෝධයට තැනක් නොතැනක් ඇත


1980 වසරේ මොස්කොව් නුවර Central Lenin Stadium හි දී පැවැත්වුණේ රිටි පැනීම අවසන් තරගයයි. සත්කාරක රාජ්‍යය වු රුසියාව මෙම ඉසව්වේ සහාය පළ කළේ සෝවියට් ක්‍රීඩක Konstantin Volkov වෙත ය. එනුමුදු ඔහු හා කරට කර තරගයක සිටියේ පෝලන්ත ක්‍රීඩක Władysław Kozakiewicz ය. හැත්තෑව දසකය අගභාගය වන විට සෝවියට් සමූහාණ්ඩුව සහ පෝලන්තය අතර පැවති නොහොඳ නෝක්කාඩුව ද රිටි පැනීමේ තරග ඉසව්ව උණුසුම් කර තිබිණ. රුසියානුවන් මේ පෝලන්ත ක්‍රීඩකයා තම පිම්ම සඳහා දිව යන විටම ශබ්ද නගන්නටත් , බාධාකාරී ඝෝෂාවන් හි යෙදෙන්නටත් විය. නමුත් අවසානයේ පෝලන්ත ක්‍රීඩකWładysław සෝවියට් දේශය ලජ්ජාවට පත්කරවන සුළු පිම්මකින් නරඹන්නන් විස්මයට පත් කළේය. මීටර 5.78ක උසකින් යුතු එම පිම්ම නව ලෝක වාර්තාවක් වූවාක් පමණක් නොව 1920 වසරෙන් පසුව ඔලිම්පික් උළෙලක දී රිටි පැනීමේ ලෝක වාර්තාවක් පිහිටවූ මුල්ම අවස්ථාව ද විය.

රුසියානු නරඹන්නන්ගේ බාධා කිරීම් සහ අධෛර්යය කිරීම් මැද ලෝක වාර්තාවක් පිහිටුවමින් මෙට්ටය මත පතිත වන Władysław එසැණින් නැගිට තම ප්‍රීතිය පළ කරන්නේ , නරඹන්නන් වෙත මිට මෙළවූ අතක් සහිත වැළමිට දිගු කරයි. එය ප්‍රංශ බසින් Bras d’honneur ලෙස හැඳින්වෙන නිග්‍රහශීලී අභිනයකි. සෝවියට් රටවල් කිහිපයකම සජීවිව විකාශය වූ මේ තරග ඉසව්වට සමගාමීව ජයග්‍රාහී ක්‍රීඩකයාගේ අභිනය ඡායාරූප මගින් ලොව පුරා විසිර ගියේය. ලෝක වාර්තාවකට සහ පදක්කමකට එම අභිනය නොතරම් වන බව ප්‍රත්‍යක්ෂ වන විට සියල්ල සිදු වී තිබිණ.

පෝලන්තයට ආපසු පැමිණෙන Władysław Kozakiewicz හට ඉමහත් ජනතා ප්‍රසාදයක් හිමි වූ අතර ඔහුගේ ක්‍රියාව වීරත්වයෙන් සලකනු ලැබූ පිරිසක් ද විය. සෝවියට් සමූහාණ්ඩුව මගින් මෙම නිග්‍රහශීලී අභිනය සම්බන්ධව ඔලිම්පික් කමිටුව වෙත පැමිණිලි කර සිටි විට පෝලන්ත බලධාරීන් එයට පිළිතුරු ලෙස දන්වා සිටියේ ජයග්‍රාහී ක්‍රීඩකයා ගේ අභිනය සිතාමතා කරන ලද්දක් නොවන බවත් , අධික විඩාව සහ තෙහෙට්ටුව නිසා මාංශ පේශීන් වල හට ගත් ගැස්මක් බවත් ය. ඒ හැරෙන්නට සෝවියට් - පෝලන්ත එදිරිවාදිකම සහ Władysław Kozakiewicz එයට පිළිතුරු දුන් ආකාරය පිළිබඳව පැහැදිලි කර තිබුණේ නැත. ඉහත කරුණු සැලකිල්ලට ගත් බලධාරීන් Władysław Kozakiewicz ගේ රන් පදක්කම අත් හිටුවීමෙන් වැළකිණ.


1987 වසරේ දී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි හට තුවක්කුවෙන් පහර දුන් නාවුක සෙබළා වූ විජේමුණි විජිත රෝහණ අද වන විට පවසන්නේ ද තමා එදා පහර දුන්නේ රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ අරමුණින් බව ය. එවකට පැවති රජය එම සිදුවීම හඳුන්වනු ලැබුවේ ඉන්දීය විරෝධය හෝ දේශප්‍රේමය නිසා කළ ක්‍රියාවක් ලෙස නොව අධික අව් රශ්මිය නිසා හට ගත් ක්‍රියාවක් ලෙසිනි.

පුද්ගලික ප්‍රතිරෝධයට තැනක් නොතැනක් ඇත. එසේ නැති වූ කල රටක් ලෙස විළි වසාගන්නට වන්නේ රෙදි වලින් නොව පැදුරු වලිනි.





Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. රසවත් සටහනක්!
    සුසන්තිකා පදක්කම දිනන්න ට්‍රැක් එකේ දුවන කොට දකුණු අත කොයි තරම් තදින් මිට මෙලවෙලා තිබුනාද කියලා දැනුනේ තරගය දිනලා ඉවර වුනාම අත දිග ඇරියාම ඒක ඇදුන් කන්න දෙන්න ගත්තාමයි!

    ReplyDelete