කුරිරු සුරංගනා කතාවක්


කුමරා පැමිණෙන විට කුමරිය සිටියේ දීර්ඝතර නින්දකය. ඔහු ඇය වෙත නැඹුරුව ඇයගේ කෙස් රොදක් මෑත් කර නළල සිප ගත්තේය. අසිරියකි. මෙතෙක් කල් නින්දක ඇලී හුන් කුමරිය එක්වරම නින්දෙන් අවදි වී වට පිට බැලීය...
" දැන් කවුද රටේ ජනාධිපති ?" කුමරා පෙම්බස් තෙපලන්නටත් පෙර කුමරිය ගෝරනාඩු කළාය. රටේ ජනපති මහ පොළොවෙන් මතු වූ කෙනෙක් බව පැවසුවේ කලබලයට පත් කුමරාය.
" එතකොට අගමැති" කුමරිය ප්‍රචණ්ඩ ලීලාවෙන් විමසන්නීය. අගමැති ලෙස සිටින්නේ හොර බොරු නැති උදේ සුපිපුණු මලක් බඳු තැනැත්තෙක් බව පැවසූ කුමාරයා ප්‍රේමණිය බැල්මක් හෙළුවා පමණි.
" කෝ වදේ එතකොට අර මනුස්සයා ? උන්දැ එහෙනම් සක්විති වෙලා ද ? " සුන්දර කුමරිය කෝපයෙන් අසුන්දර වෙමින් අඩි පොළොවේ හප්පන්නට විය. ඇය කුමරාගේ උඩුකය ඇඳුමෙන් අල්වා තමා සමීපයට ඇද යමක් සැරෙන් නමුත් පහත් හඬින් ගුගුළාය.
" අනේ ! එයාද ? " කුමරා අසරණව විමසුවේය. " එයා තාම පාර්ලිමේන්තු මන්ත්‍රීම තමයි ඉතිං" ඔහු පැහැදිලි කළේ ය.
නොසන්සුන්ව කුටිය පුරා ඇවිදින්නට වූ කුමරිය දෑත් ඉණට ගසා උඩඟු ලීලාවෙන් කුමරා දෙස බැලීය. " එහෙනම් කවද්ද කියනවා නිදා ගත්‍ත කොටි ආයේ නැගිට්ටේ ? " ඇය කුමරාගේ දෑස් දෙස බැලුවාය.
" මොන කොටිද කුමරිය ?" විලම්බීත වූ රාජකුමරා විමසා සිටියේය. " මම හිතුවේ කුමරිය අවුරුදු ගාණක් නිදා ගත්තේ තනියම කියලා " ඔහු කළකිරීමෙන් පවසා ලොකු සුසුමක් හෙළීය. " ඔන්න මට නම් කියන්න එපා ඔය තිරිසන් සත්තුන්ටත් හාදු දෙන්න කියලා " ඔහු අසරණ හඬකින් පැවසීය.
" ඉද්දකිං විතරක් ! " කුමරිය මහ හඬින් කෑ ගැසීය. " ජනාධිපති වෙනස් වෙලත් නෑලු. අගමැති වෙනස් වෙලත් නෑලු. කොටි නැගිටලත් නෑලු. අරුන්දැ තාමත් මංත්‍රීම ලු." තදින් හුස්මක් ගත් කෝපාවිෂ්ට කුමරිය " ඒහෙනම් අහවල් එකකටද ඕයි මාව ඇහැරෙව්වේ ? " යනුවෙන් පවසා කුමරාට කම්මුල් පහරක් එල්ල කර ඇඳට වැටී තවත් සත් වසක නින්දක් ඇරඹීය.
රන් හිසකේ ඇති කුමරා කොළ පැහැ ගෙම්බෙක් බවට පරිවර්තනය විය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: