නැව් එන තුරු අපි


ඉතිහාස පොත් වල තියෙන දේවල් ඇත්‍ත නම් ලංකා ඉතිහාසයේ රාජ්‍යය සම්බන්ධ සෑම තීරණාත්මක අවස්ථාවකටම නැවක් සම්බන්ධය.
රිපෝර්ට් කාඩ් එකේ ලකුණු හොඳ වැඩි නිසා විජය කුමාරයාව බෙකම් කට් එක ගසා ලංකාවට එවන්නේ නැවකිනි. නැවෙන් තම්මැන්නාවට බට විජය කුමරු එච්චර කල් පාඩුවේ සිංගර් මහන මැසිමක් පාග පාගා සිටි කුවේණිය පළමුව ආලෙන් වෙලා ගෙන දෙවනුව කෝලම් කළේය.
පස්සේ කාලයක ලංකාවට නැවෙන් එන්නේ සංඝමිත්තා මෙහෙණියය. ඇය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව නැවකින් රැගෙන ආවේ එච්චර කල් ගස් ගල් වලට වැඳ වැඳ සිටි ලාංකිකයින්ට නුවණැස පාදන්නටය. එක රැයින් ප්‍රඥා උදපාදී යැයි මරහඬ තැලූ ලාංකිකයින් මෙපමණ කලක් වැඳ වැඳ සිටි රූස්ස ගස් කපා ගෙවල් දොරවල් ජනේල සෑදූහ. ඉතිරි ඒවායින් කනප්පු ටීපෝ සෑදූහ. අනතුරුව නැවෙන් වැඩම්මූ බෝධිය වටේ රෙදි කෑලිවල එතූ පොට්ට කාසිද ; විභාග අංක සහිත කොඩි ද එල්ලා එය වටා පැදකුණු කරමින් වඳින්නට වූහ.
සිරිලක ආගමන අංශය පමණක් හැමවිටම ඉතිහාසගත වීම ගැන ඉරිසියාවෙන් සිටි විගමන අංශයට ද වැඩ පෙන්නන්නට අවස්ථාවක් ලැබිණ. පබිලිස් සිල්වා මහතාගේ රෙසිපියක් සහ බණපොතක් සමෝසමේ කියවූ කැළණිතිස්ස රජ තුමා වැරදි යමක් ගැඹුරු තෙලේ බැද තිබූ නිසා මූද ගොඩ ගලන්නට විය. "මුහුද මගේ ගොඩබිමයි - නැව මගෙ නිවසට සමයි" යනුවෙන් පැවසූ විහාරමහා දේවිය නැවක නැගී ඈතින් ඈතට ගියාය. යළිත් කිරින්දෙන් ගොඩ බැස්සාය.
ඉන් අනතුරුව ලංකාවට නැවකින් ගොඩ බැස්සේ පෘතුගීසින් ය. යුද්ධෙටත් ඇවිත් සිඳු පිට නැව් නැග ආ පරංගි කොළඹටම ගොඩ බැස තිබුණි. ඒ කාලයේ ටී වී එකේ කතා කරන නොයෙලින් හොන්ටර් සේ කිසි බී සී ගා කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගිය ඔවුන් කොළඹින් ගියේ කම්පලක් නැති සෙනඟක් මරා දැමීමෙන් පසුවය.
අද වන විටද නැවක් එන තුරු බලා සිටින බහුතර ජනතාවකි. ඒ නැවෙන් එන්නේ ලක්ෂ්මී බායි ය. සැමවිටම දේශීය දේ අගයන ; මැද පෙරදිගින් එන සිම්පත් කඩන දේශප්‍රේමී රටවැසියන්ගේ ස්ථාවරය දැක ඇය උත්ථානය ලබා ඇත. " කන්ට අඳින්ටා පිරරටින් එන තුරු - මූදට දත නියවන්නා " යැයි ඇය ඒ කාලයේ ගැයූ ගීය අදටත් ගයන්නීය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. සහතික ඇත්ත.මෙවැනි ලිපි තමයි අද සමාජයට අවශ්‍යය.කණගාටුව බහුතරය තාම අතනම තමයි.

    ReplyDelete