සමන් අතාවුදහෙට්ටි : වචනයෙන් මායා මැවීම

ඒ බර්මින් ලයිලි ප්‍රනාන්දු එක හුස්මට ටෙලි නාට්‍ය 16 ක් සැදූ යුගයයි. අතුල විතානගේ රචිත " කන්දෙගෙදර" නවකතාව ඇසුරින් නිර්මිත "පහන් කන්ද" නම් වූ ටෙලිනාට්‍යයක් විකාශය වූ බවක් මතකයේ තිබුණද එකල අපගේ සිත් පැහැරගත්තේ එහි තේමා ගීතය ය. "මලක් වුණේ ඇයි නුඹ මට" යනුවෙන් සමන් අතාවුදහෙට්ටි ලීවේය. පහන් කන්ද දැන් අමතකය. ග්‍රැන්විල් රොද්‍රිගෝ සහ චම්පා ශ්‍යාමලී බොහෝ දුර ගමනක් ගොස් දසක දෙකක් ගතවීමටත් ළඟය. නිලංග බමුණුආරච්චි සහ රොෂානි මාරියන් පුංචි තිරය හැර දා ගොසිනි. නමුත් ඔබ ලියූ ඒ " මලක් වුණේ ඇයි නුඹ මට" සහන් ගීතිකාවක් සේ තවමත් ගැයේ.
ඈත ඉතිහාසයක තරුණ සේවා සම්මාන උළෙලකදී ඔබ රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාට මයික්‍රෆෝනය භාර දුන් ආකාරය අරුණ ප්‍රේමරත්නයන් තැනෙක ලියා තිබිණ. එය රුසියානු පොත් වළ දැමූ යුගයක් බවත් ; භීෂණය දරුණුවට පැවති කාලවකවානුවක් බවත් පැවසූ අරුණ , එජාප පාක්ෂිකයෙක් වන ඔබ ; "කිලර්" කැසට් පටයේ එන " කරුවල සඳ තරු කඩාගෙන කෑ මහ රෑට - ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට - කඳු කවුලුවෙන් ලාහිරු එබෙනා පැයට - රැකගත් යෞවනය ගිනිගත් ටයර යට " යන ගී පද කියවා අවසන් කර ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපති යනුවෙන් පවසා ප්‍රේමදාසයන් හට මයික්‍රෆෝනය භාර දුන් සැටි සජීවීව රූපවාහිනියෙන් දුටු ආකාරය විස්තර කළේය. අපගේ ළමා කාලය රසවත් කළ , සුරඟන කතා කරළියේ ඉවසිලිවන්ත කටහඬ , අරුණ මැවූ ඒ රූපරාමු වලට ගලපාගැනීමට තවමත් මා අපොහොසත් වෙමි. නුමුදු උත්සාහය අතැර නැත.
ඔබ කාලයක් සංචාර අත්දැකීම් ඉතා බුහුටිව ලංකාදීප පුවත්පතෙහි සටහන් කළේය. ලූර්දූහි අප ස්වාමි දූ දේවස්ථානය ගැන ලියන ඔබ දහ හතර හැවිරිදි බර්නදෙත් සුබිරූ දරකඩන්නට යන විට දකින ආලෝකයක් ගැන ලීවේය. නොකඩවා ඒ ආලෝකය ප්‍රශ්න කරන බර්නදෙත් වෙත ලැබෙන පිළිතුර වූ I am the Immaculate Conception යන්න සිංහලයට නගා " නිමල පිළිසිඳගැනීම මම වම්හ" යැයි ලියා තිබිණ. අනූ තුන් වසකට පෙර රෝමානු කතෝලික පල්ලිය බර්නදෙත් කන්‍යා සොයුරියව ශාන්තුවරයට ඔසවා තබයි. නමුත් සමන් අතාවුදහෙට්ටි එතරම් ලස්සනට සහ පැහැදිලිව ලියන්නේ කෙසේදැයි වසර කීපයක් තිස්සේ මා දවන පැණයට පිළිතුරු කිසිවෙකුගෙන් හෝ නොලැබිණ.
ඉදින් ඒ සමන් අතාවුදහෙට්ටි නම් මායාකරුවා සමග විසඳා ගත යුතු මේ සා කෝන්තර නම් බොහෝමයැ
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: