ෂෝ මෑන්


ෂෝ මෑන් ව අල්ලලා කියන ආරංචියට ඔක්කොම දුවං ආවා. සබීනා කොණ්ඩේ ගැට ගහා ගහා දුවන ගමං "අරූ අල්ලලු .. අල්ලලු" කියලා පාර දෙපැත්තටම පණිවිඩේ කියාගෙන දිව්වා. අපිත් ඉතිං පස්සෙන් දිව්වා. මෙච්චර කාලයක් තිස්සේ සැරෙන් සැරේට මතු වුණ ෂෝ මෑන් ව අල්ලගත්ත හැටි සියැසින් ම බලන්න.
මෙච්ච්ර කල් මම හිතං හිටියේ ම ෂෝ මෑන් කියන්නෙත් ඔන්න බබෝ බිල්ලා වගේ කෙනෙක් කියලා. ඇයි ඉතිං කොච්චර කිව්වත් කවුරුත් හරියට ඇහැට දැකලා නෑනේ. මහ රෑක එක පාරටම ගෑණු කෙනෙක්ගේ යටි උගුරෙන් කෑ ගැහිල්ලක් එක්ක " ඕං ආවා " කියලා සද්දයක් ඇහෙනවා. ලේන් එකම ලයිට් දාගෙන නැගිටිනවා. එළියට බැහැගෙන ටෝච් ගහගෙන නටනවා. සමහර දවස් වලට ආවා කියලා දන්නෙත් දවසකට විතර පස්සේ. ඔන්න ! එහෙව් සූර චෞරයා අද අතටම අහු වෙලා.
ෂෝ මෑන් හිර කරලා හිටියේ ලේඛා අක්කලාගේ බෝඩිම් කාමරේ. අපි යනකොට කාමරේ ඉස්සරහ එක සීරුවට සෙනඟ පිරිලා හරිම ගෝසාව. කාමරේ දොර අඟුළු දාලා. ෂෝ මෑන් ඇතුළේ. ලේඛා අක්කයි , අනික් බෝඩිම්කාරි සුහර්ෂනී අක්කයි එළියේ. එයාලා කැම්පස් යන අය නේ. ලේඛා අක්කා නම් අනිවාර්යෙන් ම ෂෝ මෑන් ට නෙළන්න ඇති. එයා ජූඩෝ පංති එහෙම යන කෙනෙක් නේ. සමහර දවස් වලට කුංෆු ඇඳුමක් ඇඳගෙනම ත්‍රී වීල් එකේ ඇවිත් ලේන් එකේ මැද්දෙන් බහිනවා. ඒත් එයා නම් කියන්නේ ඒක "ජූ දෝ" මිසක් "ජූඩෝ" නෙමේලු. හයේ හතරේ ලේඛා අක්කා හල්ක් වගේ දොරකඩ ඉන්නකොට සියුමැලි සුහර්ෂනී අක්කා අත් දෙක වන වනා ළමා වැඩසටහනක් මෙහෙයවන රූපවාහිනී නිවේදිකාවක් වගේ සිද්ධිය විස්තර කළා. වචන තුනකට වතාවක් මූණට වැටෙන කොණ්ඩය අතින් හැදුවා. ඇඟිලි වලට ගාලා තිබුණේ මැජෙන්‍ටා කලර් එකේ කියුටෙක්ස්. හරි නේ. මෙයාලා කාමරේ ඇතුළේ උයන්නේ නැතුව කඩෙන් කන අයනේ. වැඩි කතාවක් නැති සුහර්ෂනී අක්කා නම ඇහුවම කියන්නෙත් "සුහා-ෂිනී" වගේ අමුතුම වචනයක්. අද ඉතිං අපේ ලේන් එකේ උන්ට අමුතුම වචන හුඟක් අහන්න පුළුවන්.
"අර සාල වනේ ඇතාට ද අහු වෙලා තියෙන්නේ" දාන්ත අයියලා ආපු ගමං ම දත හාර හාර නක්කලේ දන්න වුණා. "අරූගේ කර අඹලත් ඇති මේ ටිකට" කට්ටියම හිනා වුණා. ඒ අස්සේ නරඹන්නන්ගේ ගෝසාව. සමහරු කාමරේ දැල අස්සෙන් ඇතුළට එබෙනවා. "අයින් වෙයං ! අයිං වෙයං ! උඹට මම කිව්වනේ" සමහරු දැලේ එල්ලෙන පොඩි උන්ට තරවටු කරනවා.
"අනේ අම්මෝ උගේ ඇස් දෙකේ වනචර කම" දැලෙන් එබීගෙන හිටිය දුලානි අක්කා යකෙක් දැක්කා වගේ ආපස්සට පැන්නා. බාගෙට කළුවරේ තිබුණ කාමරයක් ඇතුළෙ ඉන්නවයි කියන මිනිහෙක්ගේ ඇස් වලින් වනචර පාට හොයාගන්න තරම් අපේ ලේන් එකේ ගෑණුන්ගේ ඇස් පෙනීම දියුණුයි. කොහොමත් දුලානි අක්කලෑ අම්මා වසුන්දරා නැන්දාගේ වැඩේම කුණු ඇළ දෙපැත්තේ වැවෙන මුගුණුවැන්න ටික සුද්ද කරන එකනේ. " ඔව්මයි ! බලපං ඔරෝන හැටි! ඊයා ! කටෙන් කෙළත් පෙරෙනවා.. " දැලේ වඳුරෝ වගේ එල්ලිලා උන්න වැඩිහිටි ගෑණුයි ළමා ළපටියි ඇස් තද කරගෙන හූල්ලන්න ගත්තා.
"එතකොටම මූ රෙදි වැල යට පාත් වෙලා ඉඳලා නැගිටින්න හදනවා. මම රෙදි වැල පිටිපස්සෙන් පැනලා බෙඩ්ෂීට් එකත් එක්කම බදාගෙන මූව හිර කරගත්තා. දඟලන්න හදනකොට කාමරේ ඇතුළටම තල්ලු කළා " ලේඛා අක්කා හරියට රෙක්ස් කොඩිප්පිලි වගේ සිද්දිය රඟපාලා පෙන්නුවා. "ආයේ ඕකගේ ගන්න දෙයක් නැතුව ඇති බං. පිරිමියෙක්ටනේ අහු වෙලා තියෙන්නේ". දාන්ත අයියගේ සමච්චලයක් ඇහුණා. "අම්මෝ. ඔඳට..ම බීලා.. " සුහර්ෂනී අක්කා අත් දෙක වන වනා මූණ අකුලගෙන පිළිකුල පෙන්නුම් කළා. " කාමරේ ඇතුළට තල්ලු කරනකොට ඒ ගඳට මට වමනේ යන්නත් ආවා. ඒ තරම් බීලා අයියො" කියලා සුහර්ෂනී අක්කා විස්තර කරනකොට ලේඛා අක්කා අත දෙපැත්තට කරලා ලුහුඬු දැන්වීමක් දැම්මා. "කසිප්පු" . ලේඛා අක්කා වටපිට බැලුවා. " උට කෙලින් ඉන්න පණ නැති තරම් වෙරි"
ඔය අතරේ කාන්තාවන් ඔක්කොම ෂෝ මෑන්ගෙන් වෙචච අතවර ගැන වාර්තාවක් හදන්න ගත්තා.
"මට තාම නින්ද යන්නේ නෑ. එදා කළුවරේ බලා හිටිය හැටි මතක් වෙනකොට" සබීනා ඇස් ලොකු කරලා බය ප්‍රකාශ කළා.
"මමත් රෙදි ගන්නකොටනේ මූ මාව හීරුවේ." සන්ද්‍ය ඇන්ටිත් සීන් එකට ආවා. "මගෙ කකුලේ තාම තියෙනවා මුගේ හීරුම් පාරක්" ඇන්ටි පෙන්නපු වෙරිකෝස් හැදුණු කකුලේ හීරුම් පාරක් නොපෙණුනත් සමහරු කම්මුලේ අත ගහගත්‍තා. "උඹට තිබ්බේ කුකුල්බෙටි ටිකක් ගාන්න සන්ද්‍යො" සබීනගේ ආච්චි බංසජයා උන්දැ කේන්තියෙන් වගේ කිව්වා. එතකොටම කරළියට පිවිසුණේ නිලන්ති. "ඇයි අනේ මම ?" එයාව අමතක වෙලා ද කියන බයෙන් නිලන්ති කෑ ගැහුවා. "ඔය වනචරයා දැකලා බය වෙලා දුවපු පාර මගේ අලුත්ම ස්කර්ට් එකත් ඉරුනා. කූල් පැනට් එකෙන් අරගෙන සතියක් නෑ" නිලන්‍ති ඇඳුම් ගන්නේ කූල් ප්ලැනට් එකෙන් බව ලේන් එකම දැනුවත් වුණා. ඔය අතරේ ෂෝ මෑන් දැකලා බය වුණ , කලන්‍තේ දාපු තව කීපදෙනෙක් අදහස් බෙදා හදා ගත්තා. කමියුනිකේෂන් ගෙදර තාම රෑට පිරිත් දානවලු. වයස අවුරුදු හතළිස් පහක විතර අවිවාහක පුතා එක්ක ජීවත්වෙන රංජනී නැන්දා මෙච්චර කල් ම කොට්ටේ යටින් මන්නයක් තියාගෙන නිදා ගත්ත බවක් කියවුණා. ඔය අස්සේ ඉවෝන් අඬාගෙන වැටෙන්න තියාගත්තා. " මේ පරයා නිසා අරයාත් මාව දාලා ගියා"කියලා ඉවෝන් ලේන්සුවෙන් කඳුළු පිහින ගමං ඉකි බිඳින්න ගත්තා. " ඇයි නැන්දේ... එකත් එකටම අරයා වැඩ ඇරිලා එනකොට මේ වනචරයා තමයි අපේ කුස්සිය පැත්තෙන් දුවන්න ඇත්තේ .... " ඒ පාර ඉකිබිඳිල්ල විලාපයක් වුණා "අරයා මෙතන ජල්ලි අල්ලලා අන්තිමේදි මාව දාලා ගියා" ඉවෝන් ගේ විලාප හඬ එක්ක නන්දාවතී පුංචිගේ මූණේ අවඥාබර හිනාවක් ඇඳුණා. සුනන්දා නැන්දයි අනුෂ්කා අක්කයි ඇස් නටව නටව එකිනෙකාට ඉඟි කළා. සියලු කම්පා භූමි කම්පා අස්සේ පොලිසිය ආවා. "අපිට රාජකාරිය කරන්න දීලා ඔක්කොම ඔය දොරකඩෙන් අහක් වෙනවද ?"
පොලිසිය මුලින්ම පොරොන්දුවක් ගත්තා කවුරුවත් ෂෝ මෑන්ට පහර දෙන්න තඩි බාන්න පනින්නේ නැති බවට. ගෑණු උදවිය නම් දහ අතේ සාප කළා. කාරල කෙළ ගැහුවා. ඉවෝන් පපුවේ අත ගහ ගහ අඬන ගමං රණ්ඩු වෙලා ගිය සැමියාව මතක් කළා. ඝෝෂාව නවත්ත ගත්ත පොලිසිය ලේඛා අක්කගෙ කාමරේ ඇරලා ඇතුළට ගිහිං දොරවල් වහගත්තා. එළියේ හැමෝම "ෂ්... " කියලා අනික් අයව නිහඬ කරන සද්දයෙන් සද්දයක් ඇති කළා.
ටෝච් ගහන , ලයිට් දාන සද්ද එක්ක , පොලිසියේ මහත්තයෙක්ගේ කටහඬ ඇහුණා. " ආ .. මූ ද? " අපි කර ඔසවගෙන බලාගෙන ඉන්න අස්සේ මෙන්න දොර ඇරුණා. බෙල්ල කඩාගෙන වැටෙන තරමට වෙරි ෂෝ මෑන් දඟල දඟල පොලිස් මහත්තයාගේ ඇඟේ එති එති හිටියා. එතකොටම ඇළෙන් එහා අල්ලපු ලේන් එකේ කාමරයක කැසට් එක දෙදරුම් කාගෙන සංගීතවත් වුණා.
" ආජා නච්ලේ නච්ලේ මෙරෙ යාර් තු නච්ලේ
චනක් චනක් චන්කාර් "

මෙන්න එකපාරටම ෂෝ මෑන් පොලිස් මහත්තයගේ ඇඟෙන් අත අරං එළියට පැන්නා. ඔක්කොම ඉස්සරහට පැන්නේ සූර චෞරයාව අල්ලගන්න. ඒත් එළියට පැන්න ෂෝ මෑන් මධුරි ඩික්සිත් පරාද වෙන්න නටන්න ගත්තා.
"සබ් කො බුලා කෙ නචලේ ..
ආජා නච්ලේ නච්ලේ මෙරෙ යාර් තු නච්ලේ
චනක් චනක් චන්කාර් "

ෂෝ මෑන් කැරකි කැරකි නටනකොට අපි ඔක්කොම කට ඇරගෙන බලාගෙන හිටියා. "මේ ගරාජ් වත්තේ තාබු නේ. මිනිහා හිතං ඉන්නේ මිනිහා තාබු කියලා " පොලිස් මහත්තයා ග්‍රාමසේවක රාළහාමිට කිව්වා. "මාස දෙක තුනකට සැරයක් ගවුම් හොරකමේ ගිහිං අහු වෙනවා. ඒ ඇරෙන්න වෙන දේවල් වලට නම් අහු වෙලා නෑ."
ෂෝ මෑන් , සමාවෙන්න.. තාබු නටන්න ගත්තා. කොල්ලො ටික අප්පොඩි ගහන්න ගත්තා. කවුද විසිල් එකකුත් ගැහුවද කොහෙද.
"ආජා නච්ලේ නච්ලේ මෙරෙ යාර් තු නච්ලේ.."
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: