"මගේ සමර්ථය ගැන සතුට පළ කිරීම ගැනත්, ජීවිතයේ කිසි දවසක මා නොලබන සතුටක් ගැන ප්‍රාර්ථනා කිරීම ගැනත් ඔබට ස්තුතිවන්ත වෙමි. එස්.ඩබ්ලිව්. "
එසේ ලියා එව්වේ "ගොළු හදවතේ" සුගත් වීරසේකර ය. ඔහු පාසල් ප්‍රේමයෙන් පෑරුණු සිත සුවපත් කරගන්නට නොහැකිව තානායම් පොළ වල ලගින්නේ නුරාව අමතක කර සුරාව වැළඳ ගත්තේ ය. දම්මි ඔහු ට නොබැඳෙමින් නමුත් ඔහු පාරවමින් යළි යළිත් ජීවිත දොරටුවට තට්ටු කරන්නට විය.
"විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා"
"තානායමට යන්න ඕනෑ නෑ සුගත්, තක්ෂිලාව මට මෙතැනට පේනවා"
"දම්මි තක්ෂිලාව තවමත් එහෙම මයි. කිසි වෙනසක් නෑ "
"අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න..."
"ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ?” ඇයි අපි එතැනදී මුණගැහුණේ ?"
කරුණාසේන ජයලත් පාඨක අප වෙත ඉතිරි කළ අකාරුණික පැනය පරම්පරා ගණනක් තිස්සේ විසඳාගත නොහැකි වූ අපි තැවෙමින් සිටිමු. දම්මි ලෙසින් පාසල් දැරියකගේ චංචල භද්‍ර යෞවනය අත්‍යන්තයෙන්ම නිරූපණය කළ අනුලා කරුණාතිලක හමුවේ සිත් සැනසුණ ද සුගත් අපව අපේක්ෂා භංගත්වයට පත් කළේ ය. රුබ්බයියාට් පමණක් නොව ඔමාර් ඛයියාම් පිළිබඳව ද මැනවින් දැන සිටි බුහුටි පාසල් සිසුවා වූ සුගත් පිළිබඳ චිත්ත රූප වික්‍රම බෝගොඩගේ මුහුකුරා ගිය පෙනුම ඉදිරියේ පරාජය වූයෙන් "ගොළු හදවත" තව තවත් පෑරිණ. "බඹා කෙටූ හැටි" තුළ සුගත් වීරසේකර තවදුරටත් යෞවනයෙකු නොවීය. විරහවෙන් පෙළෙන , හිතුමතේ ඇවිදින මධ්‍යම පාංතික තරුණයා ධර්මසිරි බණ්ඩාරනායක තුළින් දැක ගත හැකි වුව ද චපල පෙම්වතියක් ද වගකීම් විරහිත යෞවනියක් ද යන්න අදටත් ප්‍රහේලිකාවක් වී ඇති දම්මි ඉදිරියේ මාලනී ෆොන්සේකාගේ රුව බොඳ වී වැටිණ.
සියල්ල ඉදිරී ගොස් "ගොළු හදවත" නවකතාව පමණක් ඉතිරි වන විට එහි තනියට රැඳුණේ කරුණාසේන ජයලත් විසින්ම රචිත මේ ගීතය පමණය.
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකළා රසබර හැඟුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකළා ඔබෙ නෙත් කැළුම්
යනුවෙන් දම්මි ගැයුවා ය. නෙත් කැළුම් වලින් දම්මි ගේ යොවුන් සිතිවිලි කැළඹූ දයාවන්තයාණෝ වසර හතරකට පෙර ඇයට සමු දී අතීතයට එක් වූහ. හෙතෙම ගොළු හදවත හැර යන්නට මත්තෙන් මෙසේ ගැයුවේ ය.
ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
අසිරිමත් ලෙස ඇඳුණු දේදුනු
කළුවලාවෙන් යට වුණා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ගොළු වුණා
වර්ෂ දෙදහස් දහ නමයක් වූ ජූනි මස අග භාගය ගෙවෙමින් පවතින මොහොතක ඒ මිහිරියාවිය බොරැල්ල සුසාන භූමිය ට අත පොවන ඉසව්වක ගුරු පැහැති ඔසරියකින් සැරසී උඩුකුරුව වැතිරී හුන්නා ය. ඇගේ මුහුණේ ශාන්ත මන්දස්මිතයක් රැඳී තිබිණ. ඒ දැක සිසිර සේනාරත්නයන්ගේ ගැඹුරු හඬ හද පත්ලේ නින්නාද දෙන්නට විය.
අසිරිමත් ලෙස ඇඳුණු දේදුනු
කළුවලාවෙන් යට වුණා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ගොළු වුණා
අහම්බක්ද මන්දා නිදහස් සිතුවිලි නවාතැනේ ගොළු හදවත (වගේ) පොස්ටුව කියෙව්වෙ මේ ලිපිය එක්කම. කරුණාසේන ජයලත්ගේ ආදරය අඩුවෙන්ම ලබපු චරිතේ සුගත්ද කියලා හිතෙනවා මට වෙලාවක..
ReplyDelete