ජනාධිපති තාත්තා : පොළොවෙන් මතු වූ සරල මිනිසාගේ සරම ඔලුවෙන් ගැලවීම


"ජනාධිපති තාත්තා" යනු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචනා කළා යැයි පැවසෙන කෘතියකි. 2017 සැප්තැම්බර් , එනම් බලයට පත්ව වසර දෙකක් සහ මාස අටක් ගත වුණු තැන ලියූ මේ කෘතිය රාජ්‍ය අනුග්‍රහය සහ මැදිහත්වීම මත විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක් යටතේ ජනගත විය. ලංකාවේ ජනාධිපති දියණියක විසින් ලියන ලද මුල් ම චරිතාපදානය ලෙස සන්නාම නංවන ලද "ජනාධිපති තාත්තා" කෘතියෙහි ප්‍රචාරණ වැඩ පිළිවෙල පසුපස එක් යුගයක ලංකාවේ චින්තන විප්ලවයක මැදහත්කරුවෙකු වූ දීප්ති කුමාර ගුණරත්න වැන්නන් ද වූහ.
බලයට පත් ව වසර දෙක හමාරක් ගත වන විට "තාත්තා" ගැනම පොතක් ලියන්නට හදිසි වූ චතුරිකා සිරිසේන ගේ වයස අවුරුදු තිහකට වැඩි ය.
1994 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පළමු ජනපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් වූවා ය. වයස අවුරුදු අටේ දී තම ඇස් ඉදිරිපිට ම තම පියා ඝාතනය කරනු දුටු ජනපති දියණිය යශෝදරා කුමාරතුංග ද ජනපතිවරණයෙන් කෙටි කලක් යන්නට මත්තෙන් පොතක් එළි දැක්වූවා ය. එවකට දහ හතර හැවිරිදි යශෝදරා තමා ලියූ කවිපොත නම් කර තිබුණේ A Butterfly's Wise Words & other Poems නමිනි. "සමනළයකුගේ නැණවත් වදන්" ලෙස නම් කෙරුණු එම කෘතියේ පිදුම මෙසේ සටහන් විය.
"ඔබේ ලස්සන මුහුණෙන් එසේ නිරර්ථකව ගලාගිය ලෙය, ඔබ එතරම් බලවත් හැඟීමෙන් කළ සටනේ අරමුණ වූ සාමයේ සහ සහෝදරත්වයේ මල් පුබුදුවනු සඳහා මගේ රටේ පසට මුසු වේවා යයි යන පැතුමෙන් මගේ ආදරණීය තාත්තාට හා මා වෙනුවෙන් ඉටු කළ යුතුකම් සම්භාරය වෙනුවෙන් අම්මාට"
පුවත්පත් කීපයක පළ වූ කුඩා ලිපි කිහිපයකින් හැරෙන්නට කිසිදු තැනෙක දක්නට නොලැබුණු ජනපති දියණිය ඉංග්‍රීසියෙන් ලියූ කවි පොත ; කවි පොතක් ලෙසින්ම ඉතිහාසයේ යම් තැනක මිහිදන් විය.
එදා යසෝදරා කුමාරතුංග නම් දහ හතර හැවිරිදි දැරියක ; ජනපති දියණියක කවි පොතක් ලියූ බව පත්තරෙන් කිය වූ ඇයටත් වඩා කුඩා අප දැන් වියපත් ව සිටිමු. මේ වන විට අප දකින්නේ අපටත් වඩා වැඩිමල් ගැහැණියක ජනපති දියණියක තම පියා ගැන චරිතාපදානයක් ලියූ පුවත ය. ඒ පුවතේ අතුරු පුවත් ය. "ජනාධිපති තාත්තා" පොතේ ඇතැයි පවසමින් ජනගත වූ පසුව නිර්මාණය කළ ඉළ ඇදෙන විහිළු ය. එය මේ වන විට ලාංකේය වාග් මූලාශ්‍ර මාලාවේ නොමැකෙන තැනක් දිනා ඇත.
හොරගොල්ල වලව්වේ දහ හතර හැවිරිදි දැරිය කවි පොතක් ලියා එතැනින් අවසන් කළා ය. පොළොන්නරුවේ තිස් වස ඉක්මවූ ගැහැණියක් බොරු ලියන්නට ගොස් මේ මොහොත වන විට පවා මහපොළොවෙන් මතු වූ සරල මිනිසාගේ සරම ඔලුවෙන් ම ගලවමින් සිටී.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment