ඕවර් ඩ්‍රාෆ්ට්


ශාලිත ආයෙමත් පරිගණක තිරයේ පෙන්නන ගිණුම් ශේෂය දිහා බැලුවා. රුපියල් ලක්ෂ හයක චෙක් එකක් ගෙවන්න ගිණුමේ රුපියල් තිස් තුන් දාහක් අඩුයි. ලක්ෂ පහයි ගාණක් ම තියෙන නිසා රිටර්න් කරන්න මොකක්ද වගේ. ඒත් ඕවර් ඩ්‍රාෆ්ට් ලිමිට් එකක් නැති කරන්ට් එකවුන්ට් එකක් ඕවර් ඩ්‍රාෆ්ට් කරනවා කියන්නේ රස්සාව ගහලා යන වැඩක්. ඇරත් මේ දවස් දෙකකට වැඩ බලන්න ඇවිල්ලා මොකට අහක යන පරිප්පු කනවද ? එහෙම හිතුවට ශාලිතගේ ඔලුවේ වැඩ කරන්නේම කෑෂ් ඔෆිසර් කියපු කතාව. "ඔය කස්ටමර්ට කවදාවත් ඕ ඩී කරන්න වෙලා ම නෑ. ක්ලීන් හිස්ට්‍රි" ශාලිත ආයෙමත් කල්පනා කරලා. තිස් තුන්දාහක් නිසා හොඳ කස්ටමර් කෙනෙක් නැති කරගන්නවද ? චෙක් එක අරගෙන ආපු ටෙලර් ශාලිත ඉස්සරහා උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ශාලිත ඉන්ටර්කොම් ටෙලිෆෝම් එකෙන් කෑෂ් ඔෆිසර් ට කෝල් එකක් ගත්තා. "ජයශංක.  මිස්ටර් මලබරාන ව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා ද ?" ශාලිත අහනවත් එක්කම ටෙලර් ට හිනා ගියා. හැබැයි ඒ ඇයි කියලා කෑෂ් ඔෆිසර්ගේ උත්තරෙන් තේරුණා. "මලබරාන නෙමේ ශාලිත. මාලාභරණ ! මෑන් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙම නෑනේ. ඔය ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට වැලි සප්ලයි කරන කෙනෙක්. හැබැයි අලටි කේස් එකක් නම් නෙමේ" කෑෂ් ඔෆිසර් නොකියා කියන්නේ ඕවර් ඩ්‍රාෆ්ට් කරලා චෙක් එක ගෙවන්න කියන කාරණේ බව ශාලිතට තේරුණා. මලබරාන ද මාලාභරණ ද ෆෝන් එක නොගෙන මොන මඟුලට ලක්ෂ ගණන් වල චෙක් ලියනවද මන්දා. ශාලිත ටෙලර් දිහා බැලුවා. "කවුද මේ චෙක් එක අරං ආවේ. එයාට එන්න කියන්න" නොරිස්සුමෙන් කියනකොටම ටෙලර් කියුබිකල් එකෙන් ඉගිල්ලුණා. 

තරමක් මහත දෙහෙත ගෑණු කෙනෙක් තාරා ගමනින් ඇතුළට ආවා. එක අතක මල් මල් කුඩයක්. වාඩිවෙන්න කියලා අතින් සන් කරන ගමං ශාලිත චෙක් එක පිටිපස්සේ නම, අත්සන් දෙක එක්ක අයිඩෙන්ටි කාඩ් එක බැලුවා. හබක්කල කංකානමගේ තමරා සෙව්වන්දි .. උපන්දිනය 1982. ශාලිත ට හොඳට පුරුදු ගතියක් දැනුණා. "මේ මිස් කොයි කාලෙක හරි යක්කල පැත්තේ හිටියද ? " ශාලිත අහනකොට හබක්කල කංකානමගේ තමරා සෙව්වන්දි ගේ මූණ පුදුමයෙන් පිපුණා. "ඔව් සර්.. මගේ ගම යක්කල , අලුත්ගම. මම ඉස්කෝලෙ ගියෙත් එහේ නේ" ඇස් ලොකු කරගෙන ලේන්සුවකින් දාඩිය පිහින ගමං කතා කරන තමරා අලුත් අයිඩෙන්ටියේ කහටගස්දිගිලිය ලිපිනයක් තියෙද්දී යක්කල බව දැනගත්තේ කොහොමද කියලා ඇහුවා. "දැනගත්තෙද ? " ශාලිත හිනා වුණා. 

එතකොට ශාලිත ඉස්කෝලේ නමය වසරේ. ශාලිතගේ තාත්තා විභාග රාජකාරි වලට යනකොට කාර්‍යාල සහායක රාජකාරියට ශාලිතවත් ඇදගෙන ගියා. ශාලිතට කරන්න තියෙන්නේ නූල් බෙදන , කොළ බෙදන , උත්තර පත්‍තර පැකට් වලට ලාකඩ තියන රාජකාරි තමයි. ඒ 1999 අවුරුද්දේ ඕ ලෙවල් විභාගේ. ශාලිතගේ තාත්තාව යක්කල පැත්තේ ඉස්කෝලයක ශාලාධිපති විදියට පත් කරලා තිබුණා. දෙවනි වතාවට විභාගය කරන අය ඉන්න ශාලාවක් භාර දීලා තිබුණේ. ඒක නාහෙට අහන්නේ නැති ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙවනි පාරට ලියන ළමයි කියන්නේ කොහොමත් අණ්ඩපාලයෝ. ශාලිත ගේ තාත්තා පිරිමි ඉස්කෝලෙක නියෝජ්‍ය විදුහල්පති නිසා ඔය ඕනේ එකකට ඔට්ටුයි. ඉතිං විභාගය ගෙවිලා ගියා. හුඟක් දෙනෙක් විභාගේ කළේ ගෙවල් වල උවමනාවට බව හිස් උත්තර පත්තර වලින් පෙනුණා. අතිරේක කොළ ඉල්ලන ළමයි හිටියේ දෙන්නයි. කොහොමින් කොහොම හරි ශාලිත ළමයි අතර ජනප්‍රිය වුණා. සමහර වෙලාවට පංති කාමරය ශාලිතට ටිකක් බලන්න කියලා නිරීක්ෂක ගුරුවරු තේ එකක් බොන්න යනවා. ඒ වෙලාවට කොපි කළාට , හොරෙන් කතා කළාට ශාලික නොදැක්කා වගේ හිනාවෙවී ඉන්නවා. අන්තිම දවස් වෙනකොට ශාලිත ළමයින්ට උත්තර කියා දෙන මට්ටමට පොරක් වෙලා හිටියා. නමය වසරේ ළමයෙක් දන්න විෂයය කරුණක්වත් දන්නේ නැති ඒත් දෙවනි වතාවටත් ඕ ලෙවල් කරන ළමයි ! ශාලිත ට පුදුමත් හිතුණා. 

හබක්කල කංකානමගේ තමරා සෙව්වන්දිත් දෙවනි පාරට විභාගය ලිව්ව ළමයෙක්. ඒ නම මතක හිටියේ ඒ වාසගමේ තියෙන වෙනස් ගතිය නිසා. මොකද ඉස්කෝලෙන් බාගයක්ම වගේ හිටියේ එකම සමාජ කුලකයක් නියෝජනය කරන වාසගම් තිබුණ ළමයි. මේක නිකම් ඔච්චමට දාපු වාසගමක් වගේ නේ. තමරා සෙව්වන්දි විභාග දවස් කීපයට අනික් ළමයි වගේම ශාලිත එක්ක හිත්වත් වෙලා කතා කළා. ඉතිහාසය ප්‍රශ්න පත්තරේ දවසේ තමරා ලේසිම ප්‍රශ්නයකට උත්තර ලියලා නොතිබුණ බව ශාලිත දැක්කා. ප්‍රශ්නේ තිබුණේ ලෝක සිතියම ඇන්දේ කවුද කියලා. ශාලිත ඒ ප්‍රශ්නයට ඇඟිල්ල තියලා ටොලමි කියලා කොඳුරලා ගියා. ඒත් තමරා සෙව්වන්දිට ඒක ඇහිලා තිබ්බේ "ඩොලමි" කියලා. "මෝඩ එළදෙන" ඒ බව අහපු ශාලිතට කේන්තිත් ගියා. තමරා ට නම් ලොකු පසුතැවීමක් තිබුණේ නෑ. විභාගේ ඉවර වෙනකොට ගෑණු ළමයි සමරු පොත් අරගෙන ඇවිත් එක එක්කෙනා ලවා ලියව ගත්තා. "මුංට ආසාවෙන් ලියන්න බැරි විභාගේ විතරමයි" තාත්තගේ ස්ටාෆ් එකේ ආරියලතා ටීචර් මූණ නරක් කරගෙන කිව්වා. ශාලිත එයාට දුන්න සමරු පොත් වල නිසඳැස් ලිව්වා. මාසෙකට විතර පස්සේ තමරා සෙව්වන්දි ලියුමක් එවලා තිබුණා. ශාලිතගේ හොඳ ගතිගුණ ගැන , ශාලිතගේ දැනුම ගැන, මතක ශක්තිය ගැන පසසලා තිබ්බ ඒ ලියුම එක විදියක විකාරයක්. තාත්තා මුලින්ම කියවලා ශාලිත ට ලියුම දුන්නා. "ඕ ලෙවල් එක පාරින් පාස් වෙන්න බැරි අක්කලා එක්ක ලියුම් ලිය ලිය ඉන්නවකෝ" ශාලිත ට ඒ සංඥාව තේරුණා. ඉතිං උත්තර ලියන්න කලබල වුණේ නෑ. එදායින් පස්සේ ආයෙම තමරා සෙව්වන්දි ව දකින්නේ කහටගස්දිගිලියේ දි.  එහේ බ්‍රාන්ච් එකේ වැඩ බලන කළමණාකරු විදියට ශාලිත දවස් දෙකකට ආවයින් පස්සේ. 

" අනේ ඉතිං සර් ට මාව මෙච්චර කල් මතක තිබ්බානේ. " තමරා සෙව්වන්දි ඒ කාලේ වගේම ශාලිත ගේ ඇස් දිහා බලලා බොළඳ විදියට කිව්වා. ඒ වෙනකොට ශාලිත කසාද බැඳපු බවත් හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන බවත් තමරා ට කියලා තිබුණා. " ඇයි අනේ බෑන්ක් එකකට ආවේ. ඔයාට තිබුණේ ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න" තමරා ආයෙම කියනකොට ශාලිත හිනා වුණා. ඔය කතාව නම් අහලාම එපා වෙලා. කසාද බැඳලා කහටගස්දිගිලිය ට ආව තමරාගේ කසාද පුරුෂයා වෙන අතක් බලාගෙන කියලා කියනකොට ඇස් දෙකේ හරිම බියගුළු බවක් මැවුණා. "මම පොඩි කඩයක් කරනවා සර්. අර මිනිහා පැනලා ගියා ට මම බිස්නස් එක නැවැත්තුවේ නෑ. ළමයා එක්ක ජීවත් වෙන්න මේ ආදායම හොඳටම ඇති" තමරා කියන විදියට බැඳලා ආපු ගමං ම මොළේ කල්පනා කරලා දේපොළ ටික තමන්ගේ නමට ලියා ගත්ත නිසා ආර්ථික අතින් පහළට වැටෙන්න වෙලා නෑ. "විබාග පාස් කරගන්න බැරි වුණාට දෙයියනේ කියලා අපිට මේ සමාජේ ජීවත් වෙන හැටි හොඳට තේරෙනවානේ සර්" තමරා හිනාවුණා. මාලාභරණ මහත්තයා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හොඳ මිත්‍රයෙක් නිසා බිස්නස් හිර වුණාම අත මාරුවට තමන්ගෙන් සල්ලි ගන්න බව කියනකොට ඇස් දෙක නැටවුණා. "අපිත් ඉතිං පොඩියට බැංකුවක් කරනවා"

තමරා සෙව්වන්දි ආපහු බැංකුවෙන් එළියට ගියේ මාලාභරණට දුන්න ණය සල්ලි වල චෙක් එක මාරු කරගෙන. ශාලිත අත්සනක් දාලා ගිණුම ඕවර් ඩ්‍රාෆ්ට් කරන්න අවසරය දුන්නා. දන්න කියන කෙනෙක් ද දැකලා තියෙන කෙනෙක් ද කියලා හිතාගන්න බැරි වුණත් උදව්වක් කරන්න පුළුවන් කම ලැබුණ එක ගැන හිතට සතුටක් දැනුණා. 

ඊ ළඟ දවසේ බෑන්ක් එකෙන් ඩියුටි ලීව් එකක් ලැබුණ නිසා ශාලිත ගමන් මහන්සියට එක්ක නිදාගත්තා. උදේ එකොළහ විතර වෙනකොට කහටගස්දිගිලිය බ්‍රාන්ච් එකේ මැනේජර් කෝල් කළා. හදිසියේ නිවාඩු දාන්න වුණ මළ ගෙදර ගැන තොරතුරු කතා කරලා නිරෝෂණ එක පාරටම අමුතු ප්‍රශ්නයක් ඇහුවා. "මචං මාලාභරණ ගේ චෙක් එක අරං ආපු ගෑණි උඹ එක්ක මොනාද කිව්වේ ? " ශාලිත ට එහෙම අහන්නේ ඇයි කියලා හිතාගන්න බැරිවුණා. මලබරාන ද මාලාභරණ ද මන්දා තමරා සෙව්වන්දිගෙන් ඉල්ලගෙන තිබ්බ ණය ගැන කතාව ශාලිත කිව්වා. "මාර වැඩේ මචං. මාලාභරණ ඊට කලින් දවසේ රෑ මැරිලා. වයිෆ් වරකාපොළ බ්‍රාන්ච් එකට ඩිසීස් ඉන්ෆෝම් කරන්න ගියාම තමයි මේ චෙක් එකක් ඕ ඩී කරලා ගෙවලා තියෙන බවක් දැනගෙන තියෙන්නේ" නිරෝෂණ කියාගෙන කියාගෙන යනකොට ශාලිත ගේ තොල කට වේලුණා. "මාලාභරණ කවදාවත් ඕ.ඩී ඉල්ලලා නෑ. මිනිහාගේ මේන් එකවුන්ට්ස් තියෙන්නේ අපේ බෑන්ක් එකේ නෙමේනේ. මේක මේ කලෙක්ෂන් එකවුන්ට් එකක් වගේ එකක්" ඒ කතාව ඇහුණාම ශාලිත තමරාගේ පොඩි බැංකුවේ කතාව කිව්වා. නිරෝෂණ අවුල් සහගත හඬකින් උත්තර දුන්නා. "මම ඔය කියන ගෑණි ව දන්නේ නෑ. අපේ සික්කා ,විජේසිරි දැකලා තිබුණා ගෑණි මගේ කියුබිකල් එකේ උඹ එක්ක කතා කර කර ඉන්නවා. ඒ ගෑණි මේ පොඩි තේ කඩයක් කරන ගෑණියෙක් නේ. ලක්ෂ ගණන් පොළියට දෙන්න පුළුවන් එකියක් නෙමේ.උඹට ඇයි ඒ චෙක් එකම ඕ.ඩී කරන්න හිතුණේ ?" ඒ කතාව ඇහෙනකොට ශාලිතගේ වචන පැටලවෙන්න ගත්තා. "සික්කා කියනවා ඒක ටිකක් අමුතු කැරැක්ටර් එකක් කියලා. කලින් මොකක්ද සීන් එකක් අහුවෙලා මිනිහත් දාලා ගියාලු. මාලාභරණත් ඔය ගේ අස්සේ රිංගනවා කියලා ගමේ කතාවක් තිබුණාලු. බලපංකො . උඹත් දාගන්න කේස්" නිරෝෂණ චහ්: කිව්වා. ශාලිත ලොකු හුස්මක් හෙලුවා. සමරු පොතක් අතින් ගත්ත මහත ගෑණු ළමයෙක් ඉස්කෝල කොරිඩෝ එකේ කණුවකට හේත්තු වෙලා බලා ඉන්නවා මැවිලා පෙනුණා. ඒ එක්කම ඇඟට මහා කෙඩෙත්තු ගතියක් දැනුණා. 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: