මාර්තු 22 : ආදරණීය ප්‍රොමිතියස්;සුබ පනස් පස් වැනි උපන්දිනයක් වේවා !


වයස අවුරුදු පනස් පහක් යනු ලංකාවේ රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාම වයස ට ඔන්න මෙන්න වයසකි. වෙළඳ දැන්වීම් වලට අනුව නම් ඔස්ටියෝපොරෝසිස් වැළඳී කොඳු ඇට පෙළ බෝංචි මෙන් කැඩෙන වයසකි. අතීතයේ රන් කහවණු ව සිටි බොහෝ දෙනා කණ සල්ලි බවට පරිවර්තනය වන සහ පරිවර්තනය කරවන වයසකි. ජින්නා සහ උපාලි විසින් බාලප්පුගේ ගුහාව පසුපස වූ ගුහාවේ දුටු ඇට සැකිල්ලේ දෙඇස් වසා තිබූ කණ සල්ලි !



නමුත් ඔහු තවමත් කණ සල්ලියක් නොවී බොහෝ තරුණයින්ට වඩා තරුණව ජීවත් වන්නේ ය. පාරම්පරික ළිඳ අතික්‍රමණය කරන්නට නොහැකි පරම්ප‍රාවක ට ඌරා ළිඳේ සටනට අභියෝග කරන්නේ ය. පහළ ළිඳෙන් වතුර ඇද නාමින් සිටි පරපුරකට දෙකේ ඇළෙන් නෑමේ උද්වේගකර අත්දැකීම බෝ කරන්නේ ය. 

ඇල්ටමයිරා ලැස්කෝ ගුහාවල පවා තමාගේ පංතියේ නම තිබූ බව ඔහු ලීෆ්ලට්ස් වල සඳහන් කළේය. 'අ' යන්නට උඩින් කොපිරයිට්ස් සලකුණ යොදා පෝස්ටර් ගැසීය. කොට්ලර් ලංකාවට එන්නට බොහෝ කාලයකට පෙර සිට ඔහු ලංකාවට මාකටිං වල අ යනු ආ යනු කියා දෙමින් සිටියේ ය. 

ගුරු අල්තාරයේ පහරන පව්කාරයාට ගල් ගැසීමට බොහෝ දෙනා මෙතුවක් කරපින්නා ගත් හණමිටි බර ද නොතකා දිව ආහ. නමුත් විෂයය ඉගැන්වීමට අවශ්‍ය දැනුම , පැවැත්ම පිණිස අවශ්‍ය අලෙවිකරණය සහ ඔළුව බේරාගෙන සිටීමට අවශ්‍ය තක්කඩිකම යන කරුණු තුනෙන් ම ඕනෑවටත් වඩා සන්නද්ධ වී සිටි කතා නායකයා ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් න්‍යායයේ අනුදත්තෙකු විය. අට ශ්‍රේණිය දහම් පාසල් පොතේ මිගෙට්ටුවත්තේ හිමියන් අරභයා වූ හැඳින්වීම වන 'පරවාද මථනය කළ' යන පදයට ජීවමාන පර්යාය නාමයක් ලෙසින් ජීවත් වන්නේ ය. 

දහ අට වන සියවසේ දී දර කඩන්නට කැළයට යන බර්නදෙත් සුබීරූ ගුහා ගර්භයක් තුළින් එන ආලෝක ධාරාවක් දුටුවාය. ඒ ආලෝකය I am the Immaculate Conception යනුවෙන් තමාව ම හඳුන්වා දුන්නාය. දහ නම වැනි ශත වර්ෂය අවසානය වන විට කිසිදු ආලෝක ධාරාවක් නොමැති ගුහා වාසීන් රැසක් තමන් ද නිමල පිළිසිඳගැනීම් යැයි හඳුන්වාදෙන සඳ අපගේ කතා නායකයා , තමා නම් බොහෝ සාමාන්‍ය සහ දුක්ඛිත පිළිසිඳගැනීමක් යැයි නොපැකිළ පැවසුවේ ය. ඔහු ගැසූ පොලු වැදී ෆැන්ටසි වලු පිටින් ඇද හැලුණේ ය. 

ග්‍රීක ප්‍රවාදයන් ට අනුව ගින්දර පැවතියේ දෙවියන් සතුව ය. ගින්දර නොමැතිව දුක් විඳින මිනිසා දැක ප්‍රොමිතියස් හිරුට අධිපති ඇපලෝ දෙවියන්ගෙන් ගින්දර සොරකම් කර මිනිසාට ලබා දුන්නේ ය. ප්‍රකෘතියේ සිට සංස්කෘතිය දක්වා වූ ගමන් මග ද අඳුරින් මිදී ශාස්ත්‍රය , විද්‍යාව , කලාව ආදී සියලුම විෂයයන් කෙරෙහි ද බලපානු ලබන්නේ එදා ප්‍රොමිතියස් විසින් සොරෙන් රැගෙන ආ ගින්දර රශ්මිය ය. 

ආදරණීය ප්‍රොමිතියස් ! සුබ පනස් පස් වැනි උපන්දිනයක් වේවා
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment