කඩු ලිබ්බොක්කේ සඟවා කුඩ එළියට ගෙන වඩිග පටුන නැටීම


සහජීවනය හෝ වෙනයම් දිව්‍යමය බිබික්කමක් නිරූපණය කිරීම පිණිස ධර්ම චක්‍රය ට අමතරව ඇලවූ කුරුස ලකුණ සහිත වෙසක් කූඩු වලට සංඝයා වහන්සේ නමක් විරෝධය පා එම කූඩු ප්‍රදර්ශනය කිරීම වළක්වා ඇත. වෙසක් කූඩු හැදූ පිරිස ඒවා ගිනි දෙවියන්ට පුදා ඇත. මහින්දාගමනයෙන් පසුව එතෙක් මෙරට පැවති ගිනි දෙවි වන්දනාව වෙනුවට ප්‍රදීප පූජාව ආදේශ කරනු ලැබූ අතර රාජාංගන තරුණ කැළ එය වඩාත් ආලෝකමත් කරනු පිණිස මැටි පහන් වෙනුවට වෙසක් කූඩු ගිනි තැබීමේ සිරිත හඳුන්වා දී ඇත. ආලොකෝ උදපාදි !
මානවකයිනි; 
බෞද්ධයින්ගේ ආගමික උත්සවයක පොදු ජන සම්ප්‍රදායක් ලෙස තැනෙන වෙසක් කූඩුවක කුරුසයක් හෝ අඩහඳ - තනිතරුව අලවා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් දැයි අප නොදන්නෙමු. ආගමික සංකේත හුවමාරු කරගෙන ප්‍රදර්ශනය කිරීම ආගමික සහජීවනය ලෙස හඳුනාගත හැකි නම් බොම්බිලි කරවලයක අයිසිං තලියක් ඉලූ විට එය රිබන් කේක් එකක් ලෙස හැඳින්විය යුතු ය.

මිත්‍රවරුනි; 
ආගමික සහජීවනය වනාහි සමස්ත මිනිස් සංහතිය එක් ව පෘථිවියේ සිට සඳ වෙත එල්ල කළ යුතු බැලස්ටික් මිසයිලයක් විය යුතු ව තිබිය දී නුඹලා සමූපාකාර කණ්ඩායම් පිහිටුවාගෙන බට කිරිල්ල තුවක්කු වලින් විද පැට්‍රොල්මැක්ස් ලාම්පු බිඳිමින් සිටී.

සල් වනයක ඉපදුණු රජ කුමරෙක් නෙළුම් මල් හතක් මතින් ඇවිද ගිය බව ද දිවැසි වැකිය ට අනුව ගවලෙනක බිළිඳු කුමාරයෙක් උපත ලද වග ට තාරකාවක් මග පෙන් වූ බව ද අප දන්නා ආගමික සාහිත්‍ය හා ආගමික ඉතිහාසය තුළ සඳහන් ව ඇත. ඒ හැරෙන්නට අට පට්ටම් ; දහඅට පට්ටම් ; ත්‍රපීසියම් ; කේතු ; රොම්බස ; රොම්බාබ ආදී හැඩ වලින් යුතු වෙසක් කූඩු හෝ නත්තල් ගසක් ගැන ඒ අදාල ඉතිහාසයක සඳහන් වී නැත.
මිත්‍රවරුනි ; 
ඔබ අප වාසය කරන්නේ සුක්කානම් ලාංඡනය සහ ධර්ම චක්‍රය වෙන් කරගත නොහැකි පුරවැසියන් සහ පොලිසිය සිටින රටක ය. සුක්කානම් ලාංඡනය රැගත් පාවහන් ඇති වෙළඳසැල් වලට කඩා පැන වෙළඳ සේවිකාවන් වාචික හිංසනයට ලක් කරන වීඩියෝ අන්තර්ජාලයට මුදා හරින පැවිද්දන් සිටින රටක ය. තමන්ගේ බල සීමව තුළ අනෙක් ආගමක ට ; ඉදි කිරීමකට ඉඩ නොදී ගහ මරාගන්න ට එන ගිහි - පැවිද්දන් සිටින රටක ය. සිවිල් ජනතාවට හිරිහැර වන පරිද්දෙන් උදේ හවස පීකර් කටින් ආගම ගොරැද්දේ අදින පූජක පක්ෂය සිටින රටක ය.

ඉදින් ;මේ සූදානම අපායේ විවේක සමය උදා වූ සැණින් අට පට්ටම් කූඩු වල කුරුස අලවා තමන්ගේ හෘද සාක්ෂ්‍යයට අමතරව තවත් පරම්පරාවක් රවටන්නට නොවේද ?
මිත්‍රවරුනි ;
පොලිස් නිවේදනයේ සඳහන් වූයේ රටේ පවතින තත්ත්වය මත ඔබ සන්තකව ඇති කඩු භාරදෙන ලෙස විනා ඔබ සන්තකයේ ඇති කඩු ලිබ්බොක්කේ සඟවා ඒ වෙනුවට කුඩ එළියට ගෙන වඩිග පටුන නටන්නට නොවේ ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment