දෙව් ලොවෙන් පණිවුඩයක් !


මිහිමත මිනිස් පුත්‍රයින් වෙත ;
ඔබ විසින් අප තුරුළට එවන ලද්දා වූ ඒ මහාර්ඝ සම්පත ප්‍රවේසම් සහගත ව ලද බව තුති පූර්වක ව පවසනු කැමැත්තෙමු. කම්කටොළු විඳින මනුෂ්‍යයා භාග්‍යවන්තයෙක් බව ද පරීක්ෂාවෙන් ජය ලද විටෙක පිළිණ දුන් පරිදි ම ජීවන කිරීටය හිමි වන බව ද හොඳින් දැන සිටි නිසා අවසාන මොහොතේ හෝ තැවුලක් නොවන්නට ඇති බව විශ්වාස කරමු.
මිහිමත පුතුනි ; 
අද සිට දෙව්ලොව ඉමිහිරි සාද පැවැත්වෙනු ඇති බවට ද , අසවල් අසවල් තැනැත්තන් සමග එක් ව තුටු ගී ගයනු ඇති ද යනුවෙන් භාවතීශ වංචනික අනුමාන ලේඛනගත කිරීමට ඉක්මන් නොවන්න. ඔබ විසින් අප වෙත තිළිණ කරන ලද්දා වූ ඒ මහරු සම්පතෙහි පිටත දිස්නය කෙරෙහි පමණක් සිත නොයොමවා , ඇතුළාන්තය කෙරෙහි ද බැලුම්ලන්නැයි උදෙක් ම ඉල්ලා සිටිමු.

බොහෝ අසීරු පරීක්ෂාවන්හි දී අප්‍රතිහත ව රැඳී හිඳ ජය ලද්දා හ. බොහෝ දුර්වල තැන් මග හැර අචල වූ විශ්වාසය පෙරදැරිව තම මංපෙත ලකුණු කළෙහි ය. කොතරම් සාගත උද්ගත වුව ද කොටලු මස අනුභව නොකරන්නට ඒ ඉගැනුම් රැක්කා හ. රිදී කාසි කෙරෙහි නොතිත් වූ ආසාවකින් මිරිකී නොගියා හ. නමුත් පරෙවි වසුරු ඇත්තේ සත්ත්ව පරිභෝජනය ට විනා පුද්ගල පරිභෝජනයට නොවන බව ද අවබෝධ ඇති ව තරයේ ක්‍රියාත්මක කරන ලද්දා හ. සම්පත ද අස්වැන්නේ ප්‍රථම ඵලය ද වෙන් කරන්නේ කා හටදැයි ස්ථිර දැක්මකින් යුත්තා හ.
මිහිමත පුතුනි ; 
ඔබ ලොවෙහි වසන තාක් කල් සියලු දුෂ්කරතා මධ්‍යයේ වුව ද තම අනන්‍යතාව වෙනස් නොකර පැවැත්ම උදෙසා තම අගනාකම් වෙනස් නොකළේ නම් , දෙව්ලොව ට පිවිස ඔබ අනුමාන කරන වර්ගයේ තමා කෙරෙහි හෝ අනෙකා කෙරෙහි අවංක බවක් නොමැති , බාහිර ආලේපන විනා ප්‍රතිපත්තියක් නොමැති , ප්‍රදර්ශනකාමය විනා අභ්‍යන්තර දැක්මක් නොමැති පුද්ගල සමූහයක් සමඟ එක පෙළට හිඳ සාද තෙපුල් පවත්වනු ඇතැයි ඔබ අනුමාන කරන්නේ ද ?

නගුලේ අත තබා ලියැද්දක බිම්පස මැනැවින් පෙරළූ යමෙක් ඒ රාජකාරිය අහවර ව අප සෙවණේ ගීතවත් ව වෙසේ. එවන් කෙනෙකු කිසිවිටෙක ආපසු හැරී නොබලනු ඇත.
එ මිහිරි සීනු නාදය !
පණිවුඩය දෙව්ලොවෙනි ;
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. තේරුනේ නැහැනේ
    :(

    ReplyDelete
  2. //නගුලේ අත තබා ලියැද්දක බිම්පස මැනැවින් පෙරළූ යමෙක් ඒ රාජකාරිය අහවර ව අප සෙවණේ ගීතවත් ව වෙසේ. එවන් කෙනෙකු කිසිවිටෙක ආපසු හැරී නොබලනු ඇත///
    👍

    ReplyDelete