සියවසකට කලින් පැමිණ දූපතක අතරමං වූ සිනමා විද්‍යාඥයා : ගිවන්ත අර්ථසාද්



"වීරෝදාර සිංහලය දැන් එක රටකි. ජාතියේ නිදහසත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් , බෞද්ධ උරුමයත් වෙනුවෙන් අභීතව සටන් වැදුණු වීරෝදාර සිංහල ජනතාව ගෙනගිය අප්‍රතිහත ප්‍රයත්නයේ එක් කීර්තිමත් පරිච්ඡේදයක් ප්‍රභාවත් වෙයි" ඒ 1979 වසරේ ඔක්තෝබර් 19 වැනි දා තිරගත වු ලාංකේය සිනමාවේ මුල් ම කාටූන් චිත්‍රපටය වන "දුටු ගැමුණු" චිත්‍රපටය වෙනුවෙන් එකල විකාශය වූ පූර්ව ප්‍රචාරණ චිත්‍රපටයයි. දෙවියන් වහන්සේට වත් මුහුදුබත් කළ නොහැකියැයි විශ්වාස කළ ටයිටැනික් නෞකාව තම මංගල ගමන අරඹා දිනක් ගත වූ තැන උතුරු අත්ලාන්තික් සාගරයේ මුහුදුබත් ව ගියේ ය. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි අචල වූ විශ්වාසය සහ භක්තිවන්ත ඇති පුද්ගලයෙක්, මහත් වූ කැපකිරිම් සහ පරිශ්‍රමයන් මැද නිම කළ ලංකාවේ මුල් ම කාර්ටූන් චිත්‍රපටය එහි මංගල දර්ශන වාරයෙන් ම තහනම් විය. කුළුඳුල් සිනමා නිර්මාණය සහ ඉන් ප්‍රකට කෙරෙන චින්තන ධාරාව ඔස්සේ ලාංකේය සිනමා ඉතිහාසයේ නැවුම් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට අවැසි වූ මිනිසා හට තහනම් කරන ලද මුල් ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා යන හංවඩුව පමණක් ඉතිරි විය. නමුත් මොරටුව ශ්‍රමදාන මාවතේ පිහිටි වන ගුල්මාකාර සිහිලැති නිවෙසක වෙසෙන හෙතෙම, එදා මෙන් ම අදටත් දෙවියන් වහන්සේ කෙරෙහි අචල වූ විශ්වාසයෙන් ද ප්‍රීතියෙන් ද තම නිර්මාණකාර්යයේ ද දැනුම බෙදාදීමේ කාර්යයේ ද සතතාභ්‍යාසයේ ද යෙදෙන්නේ ය. බැමිණිහැන්නදිගේ ගිවන්ත අර්ථසාද් පීරිස් ලෙස ජන්ම පත්‍රයේ නම සඳහන් වුව ද ඔහු අප සැම හඳුනන්නේ ගිවන්ත අර්ථසාද් නමිනි.
" මම පොඩි කාලේ ඉස්කෝලේ ගියේ කටුනායක මෙතෝදිස්ත උසස් විද්‍යාලය ට. මගේ තාත්තා ජෝර්ජ් ඒ. පීරිස් විදුහල්පතිවරයෙක්. ඒ කාලේ ලංකාවේ බාලදක්ෂ කොමසාරිස් වරයා. අම්මා ඩල්සි පීරිස් ගුරුවරියක් " බාල කාලය සිහි කරමින් කතා බහ අරඹන ගිවන්ත ට ඒ කාලයේ අම්මා විසින් හවස් කාලයේ නිවසේ දී ගැහැණු ළමුන් හට මැහුම් ගෙතුම් , චිත්‍ර , අත්කම් කියා දුන් ආකාරය හොඳ හැටි මතක ය. ඒ මැහුම් රටා , නොයෙක් සිතුවම් මැද සුන්දර ළමා කාලය ගත කරන ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කෙරෙන්නේ දෙවැනි පංතියේ දී ය. "ඒ කාලේ අපිට හුඟාක් හොඳ ගුරුවරු හිටියා. මම චිත්‍ර අඳින්න , සිංහල භාෂාවට දක්ෂකම් පෙන්නුවා" ගිවන්ත අර්ථසාද් පාසල් කාලය සිහි කළේ ය. "පීරිස් ! තමුසේ ඕයි මේ රටේ නෙමෙයි ඉපදෙන්න තිබ්බේ" දෙවැනි පංතියේ ගුරුවරයා මේ හත් හැවිරිදි සිසුවා චිත්‍ර අඳිනු දැක එසේ නියත විවරණ දී තිබිණ. ඒ ගුරුවරයා කවුරුන්දැයි දැයි අපෙන් විමසා සිටි ගිවන්ත අප ඒ බව නොදන්නා බව වටහා ගත්තේ ය. "ඒ තමයි සිරිල් වික්‍රමගේ" ඔහු ආඩම්බරයෙන් සිනාසුණේ ය. "සිරිල් වික්‍රමගේ තමයි මගෙ දෙකේ පංතියේ දි ගුරුවරයා". ඒ නියත විවරණ ලැබීම් සිරිල් වික්‍රමගේ ගෙන් නොනැවතුණ බව ද පැවසුවේ ය. " මම දහය පංතියේ ඉන්නකොට 'පේනවා නේද' චිත්‍රපටය තිරගත වෙනවා. සිංහල පාඩම ඉවර වෙලා මම පෑනෙන් ටෝනි රණසිංහ ගේ චිත්‍රයක් ඇඳ ඇඳ හිටියේ. සර් පිටිපස්සෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මමත් බය වෙලා නැගිට්ටා" ඒ ගුරුවරයා ගේ නම ලෙනාඩ් අල්ගම ය. ඔහු බිය වී සිටින සිසුවාට මෙසේ පවසා තිබිණ. "හරි හරි පීරිස්. තමුසේ පාඩම ඉවර වෙලානේ අඳින්නේ. කමක් නෑ" දසක පහකට ආසන්න අතීතයක් සිහිපත් කරන ගිවන්ත ට යමක් පැහැදිලි කරන්නට අවශ්‍ය විය."ඒ කාලේ අපිට ඉස්කෝල වල කතා කළේ එහෙමයි. තමුසේ, උඹ, පලයං වගේ වචන එදිනෙදා කතා වහරේ තිබුණ දේවල්" ඒ අනුව ලෙනාඩ් අල්ගම ගුරු මහතා තම අවංක හැඟීම මෙසේ වචනයට හරවා තිබිණ. "අයිසේ .. තමුසේ වගේ මිනිහෙක් ජර්මනියේ ඉපදුණා නම් කෝටිපතියෙක් වෙනවා." පාසලේ දී චිත්‍ර කලාව පිළිබඳ විනා සිනමාව පිළිබඳ උනන්දුවක් නොතිබිණිදැයි කෝටිපතියෙක් හෝ ජර්මානුවෙක් නොවූ මොරටුවාසී පීරිස්ගෙන් විමසීමු. " අපි තුන් වැනි පංතියේ දි ඉස්කෝලෙට මිලි මීටර් 16 චිත්‍රපට ගෙනල්ලා පෙන්නුවා. මම ඉතිං පංතියේ දි මිකී මවුස් - ඩොනල්ඩ් ඩක් වගේ කට හොල්ලලා අනුකරණය කරනවා. අපේ පංතිය භාරව හිටියේ අයිවි මාරසිංහ කියන ගුරු මෙනවිය. අපිට එතකොට වයස අටයි. ටීචර් ට වයස විසි දෙකක් ඇති " මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ගේ පුංචි අම්මා වන අයිවි ගුරු මෙනවිය ගෙන් කාර්ටූන් චිත්‍රපට සාදන්නේ කෙසේ දැයි අසන්නේ ලාබාල ගිවන්ත ය." මැඩම් හොස්ටල් එකේ නැවතිලා හිටියේ. එයා හවසට ඉස්කෝලේ බිත්ති වල භූගෝල සිතියම් වගේ විෂයානුබද්ධ චිත්‍ර අඳිනවා. එවෙලේට තීන්ත පීරිසිය අල්ලගෙන ඉන්න අපිට කතා කරනවා" දිනක් අයිවි ගුරු මෙනවියගෙන් කැඳවීමක් ලබන ගිවන්ත අර්ථසාද් ඇය හමුවට යන්නේ ය. ඇය ඔහුට කාර්ටූන් චිත්‍රපට සාදන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් සහ දැනුමක් ලබා දෙන්නීය. අට හැවිරිදි ගිවන්ත ට කාර්ටූන් චිත්‍රපට ඉගැන්වූ අයිවි මාරසිංහ ගැන සිහි කළ හැටපස් හැවිරිදි ගිවන්ත අර්ථසාද් අප දෙස බලා මද විරාමයක් ගත්තේ ය. "එයා මගෙ අවශ්‍යතාව තේරුම් අරගෙන , බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගිහිල්ලා කාර්ටූන් චිත්‍රපට ගැන තිබුණ පොතපත කියවලා ඇවිල්ලා තමයි ඒ මට කියා දීලා තියෙන්නේ " ගිවන්ත මහත් ගෞරවයෙන් පැවසීය. පසුකාලීනව ගුරු වෘත්තියෙන් ඉවත් වූ ඇය නීතිඥවරියක වී අවසානයේ මහේස්ත්‍රාත්වරියක් බවට පත් ව තිබිණ. ගිවන්ත අයිවි මාරසිංහ මහත්මිය මෙලොවින් සමුගන්නට මාස හතරකට පෙර ඇයගේ සුව දුක් විමසන්නට ගොස් තිබිණ."ඒ වෙනකොට මං ගැන ඒ තාක් ගිය පුවත් පත් ලිපි කපලා පොතක අලවලා තිබුණා" ඇය තම සිසුවා තුන්වැනි පංතියෙන් අත් නොහැර ජීවිත කාලය මුළුල්ලේම ඔහු දෙස බලා හිඳ තිබිණ.


අට වෙනි පංතියෙන් පසු විද්‍යා විෂය පංතිය ට යොමු වූ ගිවන්ත අර්ථසාද් මහත් අභිරුචියෙන් ඒ විෂයයන් හැදෑරීය. මොහාන්දාස් කළුපහණ නම් ගුරු මහතා ඉගැන්වූ භෞතික විද්‍යා විෂයයට මහත් සේ ආසා කළ ද චිත්‍ර ප්‍රදර්ශන වලට චිත්‍ර ඇඳීම ද නොකඩවා සිදු විය." චිත්‍ර ඉදිරිපත් කරනකොට පාසලේ විදුහල්පති තුමා අත්සන් කරන්න ඕනේ." ගිවන්ත තම චිත්‍ර කලා ජීවිතයට ලද ආශිර්වාදය සිහිපත් කළේ ය." විදුහල්පති තුමා හිටියේ ෂෙල්ටන් වීරසිංහ මහත්තයා. එක දවසක් මම චිත්‍රයක් ගෙනිච්චාම එතුමා මේක කරන්න බෑ කියලා කිව්වා " අනතුරුව වෙස්ලි විද්‍යාලයේ චිත්‍ර කලා ගුරු ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතා කැඳවන විදුහල්පති තුමා ගිවන්ත ව පෙන්වා ඔහුගේ හැකියාවන් වැඩි දියුණු කිරීම පැවරීය. " ඊට පස්සේ මම සති අන්තේ මොරටුවේ ඉඳන් මහරගම ට ගිහිං චිත්‍ර ඉගෙන ගත්තා. සර් මට කිව්වා 'ගිවන්ත මට ඔයාට චිත්‍ර උගන්නන්න බෑ. ඒක ඔයාගේ ඇඟ ඇතුළේ තියෙනවා. මම ඔයාට තාක්ෂණය උගන්නන්නම් කියලා" පාසල් ජීවිතය සහ පවුලේ පරිසරය තම කලා ජීවිතයට නොමඳ උත්තේජන සැපයූ බව පවසන ගිවන්ත අර්ථසාද් ෆීලික්ස් ප්‍රේමවර්ධන නම් රංගවේදියා තම සිංහල ගුරුවරයා ව සිටි බව සිහිපත් කළේ ආඩම්බරයෙනි. "අපි ඒ කාලේ ගම්පෙරළිය කියෙව්වේ ඉස්කෝලේ හතර පංතියේ දි" ගිවන්ත සිනාසෙයි. ඔවුන් ගම්පෙරළියෙන් හෝ මාර්ටිම් වික්‍රමසිංහගෙන් නතර වී නැත. ඩීමන් ආනන්ද ගේ සත හැත්තෑ පහේ මාරක කතා ද එකල පාසල් ළමුන් අතර ඉතා ජනප්‍රිය ව තිබී ඇත. " රාවතාවත්තේ අමරදාස මුදලාලි කියලා කෙනෙක් ඉන්නවා. ඉස්සර එයාගේ පත්තර ලෑල්ලයි සරුවත් කඩෙයි එකට තිබුණේ" පත්තර ලෑල්ලේ විකුණන්නට තබා ඇති ඩීමන් ආනන්දගේ පොතක් ඉල්ලගෙන මොරටුවෙන් ඩබල් ඩෙකර් බසයට නගින ගිවන්ත වෙස්ලි විද්‍යාලය ළඟින් බහින විට එය කියවා අවසාන ය. හවස ආපසු එන විට එය වෙනකෙකුගේ කියවන පොත ය. රාවතාවත්තෙන් බැස අමරදාස මුදලාලි ට පොත ආපසු භාර දෙන්නේ සත පහ බැගින් වූ කියවීමේ ගාස්තුවක් ද සමගිනි.
"1967 - 68 කාලේ එනකොට සමාජවාදය ගැන ලංකාවේ කතාබහක් ඇති වෙමින් තිබුණා. එක එක ලිපි ලේඛන අතින් අතට හුවමාරු වෙවී කියවන්න ලැබුණා. චීන පොත් පත්. රුසියානු පොත් පත්. ඒ කාලේ ෆොටෝ ස්ටැට් මැශින් ලංකාවේ තිබුණේ නැහැ. මම තමයි ලෙනින් , කාල් මාක්ස් , චේ ගුවේරා ගේ චිත්‍ර ඇඳලා ළමයින්ට දෙන්නේ." ගිවන්ත දෙවුර සැලී ය. කුමක් හෝ හේතුවක් නිසා තමා ඒ දේශපාලන ප්‍රවාහයට ලැදියාවක් , නැඹුරුවක් නොදැක්වූ බව පැවසීය. "මම ඒ පංතිවලට ගියේ නෑ. ඒ බය මොකක්ද කියලා මට අදටම තේරෙන්නේ නෑ" බයිබලය තුළින් කිය වූ ලෝකය සහ සැබෑ ලෝකය අතර දෝලනය වන්නට වූ ගිවන්ත ඒ වික්ෂිප්ත භාවය නිසා ම පද වැලක් ලියුවේ ය. "අඳුර දුරු කරන් - සමිඳුනි පාප මල නසන් - කරනු මැන පහන් - අප සිත් එළිය කර තොසින්" එදා සිට අද දක්වා ම වසර පණස් තුනක් තිස්සේ ක්‍රිස්තියානි සභාව ඒ පද වැල ගීතිකාවක් ලෙස භාවිතා කරනු ලබන අතර ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර පවසන්නේ ගිවන්ත අර්ථසාද් ගේ කලා ජීවිතයේ ආරම්භය යනු මේ ගීතිකාමය මොහොත බව ය.

1971 වසරේ ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය මගින් මෙහෙයවන ලද "කෙටි චිත්‍රපට" උළෙල ට ගිවන්ත අර්ථසාද් ඉදිරිපත් කරන්නේ "අන්දරේ" නම් කෙටි චිත්‍රපටය ය. සුනිල් ආරියරත්නයන් ඉදිරිපත් කරන්නේ "සරාගී" ය. 1972 වසරේ දී කැමරාවක් භාවිත නොකර දළ සේයා පටයක් මත අතින් ඇඳි "මුහුද යටින් ඉර පායයි" නම් කෙටි චිත්‍රපටයක් ඉදිරිපත් කරන ගිවන්ත ඒ සඳහා ජූරියේ විශේෂ සඳහනක් හිමි කර ගනී. එතෙක් කල් මිලි මීටර් 35 ප්‍රමාණයෙන් චිත්‍රපට ඉදිරිපත් කළ ඔහු 1973 වසරේ දී "දේවදත්ත" නම් පුළුල් තිර චිත්‍රපටයක් ඉදිරිපත් කරමින් වසරේ හොඳම කෙටි චිත්‍රපටය ට හිමි සම්මානය දිනා ගනී. කැමරාවකින් තොරව රූප හකුළුවා ඇඳීමෙන් පුළුල් තිරය මත රූප දිග හැරී පෙනෙන්නට සැලසීම එහි ක්‍රමවේදය විය.


දුටු ගැමුණු ! ගිවන්ත අර්ථසාද් නම් මේ පරිණත කලාකරුවා එළෙඹෙමින් සිටින්නේ අපගේ සංවාදයේ කූඨප්‍රාප්තියට ය. 1979 ඔක්තෝබර් 19 වැනි දා තිරගත කිරීම ඇරඹූ "දුටු ගැමුණු"චිත්‍රපටය වහා ක්‍රියාත්මක වන පරිදි පසු දා සිට ප්‍රදර්ශනය අත් හිටුවන ලදි. මෙතැනින් ඉදිරියට අප සමග ඉතිහාසය බෙදා ගන්නේ ඒ ඉරණමට ලක් වූ අධ්‍යක්ෂවරයා ය.
'හරියටම 1974 අවුරුද්දේ මැයි මාසේ පළමු වැනිදා මම ගියා සරත් කැල්ලපත ව හමබ වෙන්න. අපි කතා වුණා කාර්ටූන් චිත්‍රපටයක් කරන්න. ඒක වීර කතාවක් වෙන්න ඕනේ කියලා අපි තීරණය කළා" ඒ අනුව The Magnificent Seven , Seven Samurai වැනි ලෝක පූජිත චිත්‍රපට වල ව්‍යුහය සිහියේ තබාගෙන "දුටු ගැමුණු" තිර පිටපත නිර්මාණය කිරීම කැල්ලපතයන් ට භාර වේ. 1975 වසරේ දී "බී" ශ්‍රේණියේ චිත්‍රපටයක් ලෙස එය චිත්‍රපට මණ්ඩලයෙන් අනුමත කළ බව ගිවන්ත පවසයි. " ඒ ශ්‍රේණිය නම් 100% ක් ම සංස්ථාවෙන් ණය මුදලක් ලැබෙනවා. බී ශ්‍රේණියට 50% යි. සී ශ්‍රේණියට ණය ලැබෙන්නේ නැහැ. ප්‍රචාරක සහ මුද්‍රණ කටයුතු වලට ආධාරයක් ලැබෙනවා." කෙසේ නමුත් "දුටු ගැමුණු" යනු කාර්ටූන් චිත්‍රපටයක් ය යන පදනම මත සහ , මෙතෙක් කාලයකට ලංකාවේ කාර්ටූන් චිත්‍රපටයක් නිෂ්පාදනය වී නැති නිසා "බී" ශ්‍රේණියට අදාල 50% ක ණය මුදල ද ලබා දීමට නොහැකි බව චිත්‍රපට සංස්ථාව මගින් දන්වනු ලැබේ. "නිහාල්සිංහ මහත්තයා කිව්වා සංස්ථාවෙන් ඉදිරිපත් කරන හේතු එයාට අතික්‍රමණය කරන්න බැහැ කියලා. මොකද මම හදපු කැමරාවට ලෝක පූජිත වෙළඳ නාමයක් නැහැ. ඇරිෆ්ලෙක්ස් , මිචෙල් ,බෙල් ඇන්ඩ් නවල් , ක්‍රාස් කේ.ජී වගේ කැමරා වලි චිත්‍රපට හදනකොට මම මේ හදන්නේ මම ම හදපු කැමරාවකින් චිත්‍රපටයක් කරන්න" ගිවන්ත මැදහත් ලෙස ඔවුන්ගේ තීන්දුව අර්ථකථනය කළේ ය. "හැබැයි නිහාල්සිංහ මහත්තයා මට කෙටි චිත්‍රපටයක් කරන්න දෙන බලපත්‍රය නිකුත් කළා" ඒ අනුව ගිවන්ත අර්ථසාද් හට කෙටි චිත්‍රටයක් සඳහා උපරිමය වන දළ සේයා පට අඩි 3,000 ක් මිලට ගැනීමට බලපත්‍රය ලැබිණ. "මේ ටිකෙන් වැඩ පටන් ගන්නා. බාගයක් කරලා පෙන්නුවාම අපිට පුළුවන් ඉතිරි ටිකට අනුමැතිය ගන්න" යනුවෙන් නිහාල්සිංහයන් පැවසූව ද ඉරණම එතරම් ලේසි පහසු වූයේ නැත. 1977 ආණ්ඩු පෙරළියත් සමග නිහාල්සිංහ මහතා තව දුරටත් සේවයේ රැඳුණේ නැත "ඒත් ගාමිණී ෆොන්සේකා මහත්තයා අපි වෙනුවෙන් සංස්ථාවට ලියුමක් ලියලා දුන්නා. මමයි මල්ලියි ඒක අරගෙන ගියා උපසේන මාර්සිංහ මහත්තයාව හම්බවෙන්න" ගිවන්ත අර්ථසාද් ගේ බාල සොහොයුරු වන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ය. අවසානයේ කෙටි චිත්‍රපට බලපත්‍රය වෘතාන්ත චිත්‍රපටයක් ලෙස දීර්ඝ කරන ලදුයෙන් අවශ්‍ය දළ සේයා පට මිල දී ගැනීමට හැකියාව ලැබිණ.

"දුටු ගැමුණු" නිර්මාණය වන්නේ පුළුල් තිර උදෙසා වුවද එහි පුළුල් තිර කාචයක් භාවිතා වන්නේ නැත. රූප හකුළා අඳිනු ලබන අතර එය පුළුල් තිරයේ දී දෙපසට විහිද වී ප්‍රදර්ශනය වේ "ඔය අතරේ සංස්ථාවෙන් ලියුමක් ආවා පස්වෙනි මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා.ඉදිරිපත් කළා.තේරුණා" ඒ අතරවාරයේ චිත්‍රපට සංස්ථාව විසින් "දුටු ගැමුණු " ප්‍රංසයේ Annecy International Animation Film නම් සිනමා උළෙලට ට සහ ස්පාඥ්ඥයේ Festival Gijón International Film Festival ළමා චිත්‍රපට උළෙලට ද ඉදිරිපත් කරනු ලැබිණ. " ඒවාට සම්මාන ලැබුණේ නැහැ. සංස්ථාවෙන් ඉදිරිපත් කළා විතරයි" යනුවෙන් පවසන ගිවන්ත ට 1979 වසරේ දී චිත්‍රපට සංස්ථාවෙන් දන්වා සිටින්නේ 1979 ලෝක ළමා වර්ෂය වන බැවින් "චූඩා මාණික්‍යය" චිත්‍රපටය පසු ව "දුටු ගැමුණු" චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන ලෙස ය.


"පස්වැනි මංඩලේට දුටුගැමුණු එයි. ජාත්‍යන්තර ළමා වර්ෂය නිමිත්තෙන් නිපදවා ඇති'දුටුගැමුණු' ප්‍රථම කාටූන් ළමා චිත්‍රපටය මේ මස 19 දා සිට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ පස්වැනි ප්‍රදර්ශක මණ්ඩලයේ ප්‍රදර්ශනය වේ" එසේ පළ වූයේ 1979 ඔක්තෝබර් 16 වැනි දා "ඇත්ත" පුවත්පතේ ය. 1979 ඔක්තෝබර් මස 16 වැනි බදාදා පෝය දිනයේ වැල්ලවත්ත සැවෝයි ශාලාවේ දී මංගල දර්ශනය පැවැත්වුණේ රාජ්‍ය ඇමති ආනන්ද තිස්සසිරි ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙනි " රූපවාහිනිය ආවට පස්සේ තමයි ඔයාට වැඩ තියෙන්නේ කියලා චිත්‍රපටය බලපු රාජ්‍ය ඇමති තුමා කිව්වා" ගිවන්ත ආවර්ජනය කළේ ය.
1979 ඔක්තෝබර් 19 වැනි සෙනසුරාදා දින "දුටු ගැමුණු" චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය අරඹයි. පස්වැනි මණ්ඩලයේ චිත්‍රපට ශාලා 15 ක ප්‍රදර්ශනය වන බවට දන්වා තිබුණ ද "දුටු ගැමුණු" තිරගත වූයේ චිත්‍රපට ශාලා 13 ක පමණි. "මීගමුව - කිංග්ස්" චිත්‍රපට ශාලාව පෙර චිත්‍රපටයේ ගනුදෙනු පියවා නොතිබූ බැවින් "දුටු ගැමුණු" චිත්‍රපටය ඔවුන් වෙත නිකුත් කර නොතිබූ අතර දුම් රිය ප්‍රමාදයක් නිසා "මාතර - නිව් සිනමා" වෙත චිත්‍රපටය ලැබී නොතිබිණ. අනෙක් චිත්‍රපට ශාලා වල බොහොමයක දර්ශන වාර හතරම ප්‍රදර්ශනය කර තිබිණ. "ඒ ටෙල්ෆෝන් වත් නැති කාලේ. අපිට ආරංචියක් ආවා චිත්‍රපටය නවත්තලා කියලා. මල්ලි යාළුවෝ එක්ක බයික් වල එහෙ මෙහේ කැරකිලා බැළුවා. කතාව ඇත්ත" එදින රාතියේ ම චිත්‍රපට සංස්ථාවේ ලොරි රථ පිටත් කර සියලුම සිනමා ශාලා වලින් චිත්‍රපටය ඉවත් කරගෙන තිබිණ. පසු දිනයේ චිත්‍රපට සංස්ථාවට යන ගිවන්ත අර්ථසාද් සහ දිනේෂ් ප්‍රියසාද් ඇන්ටන් වික්‍රමසිංහ හමු වී තම චිත්‍රපටය පිළිබඳ විමසා සිටී. "එයා කිව්වේ මෙක ජනාධිපති තුමාගෙන් ආපු නියෝගයක් කියලා විතරයි" ඒ අනුව සියලුම ගනුදෙනු භාර දෙන්නැයි නියෝග කෙරෙන අතර රජය මගින් සියලුම ශිල්පීන්ට ගෙවීම් ද නිෂ්පාදන වියදමෙන් 60% ක් ද ගෙවනු ලැබිණ. " මගේ බුද්ධිමය දේපොළ අයිතිය තියෙන්න ඕනේ නිසා නිර්මාණ ගාස්තුව විතරක් ගෙව්වේ නැහැ" ගිවන්ත අතීතය කැළඹවූ එක්තරා සිදුවීමක අවසාන ප්‍රතිඵලය එක මිටට ගෙනහැර දැක්වීය.
ඉතිහාසය සහ ප්‍රවාදයන් අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. රජය මැදිහත් වී "දුටු ගැමුණු" චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවීමට හේතු යැයි කරුණු කීපයක්ම නොයෙක් තැන් වල පැවසෙමින් , ලේඛනගත වෙමින් පවතී.ඒවා අධ්‍යක්ෂවරයා ඉදිරියේ ම තබා විසඳා ගැනීම නුවණට හුරුයැයි අපි යෝජනා කළෙමු. පහත පරිදි එකින් එක පෙළ ගස්වන විට සුපුරුදු සිනහවෙන්ම අපට අමතක වූ තැන් පවා මතක් කරදෙන්නේ ගිවන්ත අර්ථසාද් ම ය.
1. දුටුගැමුණු යනු බෝධිසත්වයෙක් බැවින් එවැනි චරිතයක් කාටූන් චිත්‍රපටයකට නැගීම නුසුදුසු ය
2. චිත්‍රපටයේ එන භික්ෂු චරිතයක නාසය ජනපති ජේ.ආර් ජයවර්ධනගේ නාසය අනුකරණය කර ඇඳ ඇත.
3. සුරනිමල යෝධයා අලියෙක් නැට්ටෙන් කරකවා වීසි කිරීම හරහා එ.ජා.ප ආණ්ඩුව සමච්චලයට නැගේ

"මෙන්න මෙහෙමයි" ගිවන්ත බැරෑරුම් කතාවකට පිවිසුණි. "ඔය බෝධිසත්ව කතාව ගැන නම් හේතු ඉදිරිපත් කරලා වැඩක් නැහැ. හැබැයි ඔය නහයේ කතාව නම් නොදැනුවත් ව වුණ දෙයක්. සමහර විට අපි හකුළලා ඇඳලා ඒක පුළුල් තිරයට ගන්න කොට නහය දිග වුණා වෙන්නත් පුළුවන්. කොහොමත් ඒ භික්ෂු චරිතය එක තැනකදි විතරයි පෙන්නන්නෙත්" එසේ පැවසූ අධ්‍යක්ෂවරයා අවසාන චෝදනාවට ද උත්තර බැන්දේ ය. " සුරනිමල යෝධයා අලියා නැට්ටෙන් කරකවලා විසි කරන එක විතරක් නෙමෙයි මේ චිත්‍රපටයේ අමුතු දේවල් වලට තියෙන්නේ. " ගිවන්ත මහ හඬින් සිනා සෙයි. " ඒකේ කතාව දැනගෙන ඉන්න ඕනේ මුලින් ම"

"මේ කතාව කියන්නේ ටයි කෝට් දාගෙන සන්ග්ලාස් දාගෙන ඉන්න පූසෙක්. පූසා උගේ පැටව් එක්ක කාර් එකේ නැගලා අනුරාධපුරේ යනවා. යනකොට තමයි මේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කතාව කියන්නේ. පූසා කියන විදියට ඌ දුටුගැමුණුගේ එකල උපදේශකයෙක්. ඉතිං පූසා ඒ පරණ කතාව කියනකොට තිරයේ ඒ කතාව කාටූන් වලින් පෙන්නනවා. තේරුණා නේද ?" ගිවන්ත විමසයි. ඔහු පවසන ආකාරයට පූසා පවසන ඉතිහාස කතාව තුළ සෑම වැදගත් අවස්ථාවකම පාහේ පූසා ද ප්‍රධාන චරිතයක් ව හිඳ ඇත. " පූසා හැම එකටම කට දානවා. .දුටු ගැමුණු රජ්ජුරුවෝ එක්ක ඉන්නකොටත් පූසා ඉන්නේ සරුවාලයක් ඇඳං සන්ග්ලාස් දෙකක් දාගෙන. චිත්‍රපටය පුරා ම පූසා ඉන්නේ සන්ග්ලාස් දාගෙන. මොකද පූසා ඉතිහාස කතාව කියන්නේ වර්තමානයේ ඉඳං නේ"
ඒ අනුව පූසා පවසන ඉතිහාස කතාව අමුතු සිදුවීම් සහ අමුතු දෙබස් වලින් යුක්ත ය. එක් තැනක අලියෙක් මෙසේ පවසයි "පියාඹන පීරිසියක් - හඹායන විලාසෙන් - වෙළඹ මා හිසමතින් - පැන්නුවේ වේගයෙන්" තව තැනක දුටුගැමුණු රජු කණ්ඩුල ඇතු අමතා මෙසේ පවසයි " මා පුතුනි කණ්ඩුල - බිඳිනු මැන එකවරම - විජිතපුර මහ යදොර " නමුත් කණ්ඩුල ගේ ප්‍රතිචාරය මෙබඳු ය."නොවනු බිය මහරජුනි - සිලින්ඩර දහ අටක - කැටපිලරයක් සේ - බිඳ දමා පවුරු දොර - ෆ්ලැට් කරමි" ඔත්තු බලන්නට යන වේළුසුමන පසුපස සතුරන් හඹා ඒ.ඔහු දීඝතූනිකා නම් වෙළඹට මෙසේ පවසයි " සතුරන් පසුපස ලුහුබැඳ එන්නේ - කුරහඬ මරහඬ ලෙසින් ඇසෙන්නේ" එවිට මහා දූවිලි වළාවක් අවුස්සන දීඝතූනිකා වෙළඹ " නැපෝලියන්වත් නොකළ විදියකට - නියම වැඩක් මං දෙන්නම් උන් හට" යනුවෙන් පවසා වේළුසුමනගේ කඩුව තම කටේ රඳවාගෙන උදාරම් ලීලාවෙන් හිඳී. දූවිලි අතරින් අන්දමන්දව මතුවන සතුරු සේනාව ඒ කඩුවට ගෙල කැපී වැටේ. ඉන් අනතුරුව ඇත්තේ කාර්ටූන් චිත්‍ර වල මෙන් දෙබස් අකුරෙන් ලියන ලද බුබුළකි. වේළුසුමන වෙළඹගෙන් මෙසේ විමසයි "මොකක්ද අර තමුසේ නැපෝලියන් කතාවක් කිව්වේ?" දීඝතූනිකාගේ පිළිතුර ද එලෙසින් ම තිරයේ දිස් වේ " ආහ් ගණන් ගන්නෙපා. මේක මේ කාර්ටූන් චිත්‍රටයක්නේ"
ගිවන්ත අර්ථසාද් ඉතිහාසයේ තුළ තහනමට ලක් වූ කාටූන් චිත්‍රපටයක් ලෙස ලඝු කළ එසේ නමුත් වෙනස්ම යටි පෙළ කියැවීමක් ඇති දුටු ගැමුණු" චිත්‍රපටයේ දෙබස් එකින් එක මතකයෙන් කියවයි. දර්ශන සිහියට නගයි. " යුද්ධය වෙලාවේ පූසාත් රණ බිමේ ඉන්නවා. සන්ග්ලාස් දාලා , කිරි ගොට්ටක් ඔළුවේ නමාගෙන , කුල්ලකින් පළිහක් හදාගෙන" මදහස නංවන ගිවන්ත පවසන්නේ කුස්සියේ ම ලැග සිටින පූසාගේ ලෝකය එලෙස ගොඩනගන බව ය. " යුද්ධේ දිනුවාට පස්සේ තුවාලකාරයෝ කොර ගහ ගහ එනවා. අලි එන්නේ කිහිලිකරු වලින්. දස මහා යෝධයෝපිට ටික කණ්ඩුල ඇතාව උස්සගෙන ජය ඝෝෂා පවත්වනවා. කණ්ඩුලගේ පිට උඩ දුටු ගැමුණු රජ්ජුරුවෝ" එසේ වුව ද පූසා ගේ අතීත කතාව සතුටින් අවසාන වන්නේ නැති හැඩ ය. "පූසා අන්තිමට සෙල් ලිපියක් දකිනවා. ඒක කියවලා හරි දුකෙන් කියනවා. 'මේ තියෙන්නේ. මං හිතුවා හරි. දුටු ගැමුණු ගැන විතරයි තියෙන්නේ. මං ගැන ලියලා නෑ' ඒ දුටු ගැමුණු ගේ කතාව ය.

 

1979 ඔක්තෝබර් 19 වැනිදායින් පසුව චිත්‍රපටය තහනම් වන්නට එ.ජා.ප රජයේ බලපෑමක් තිබූ බවට පවතින ප්‍රවාදය නැවත නැවතත් විමසන්නට තීරණය කළේ එවකට පැවති තත්ත්වය පිළිබඳ අවබෝධය නිසා ය. "ලංකාදීප" පුවත්පතේ උප කර්තෘ ව සිටි සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා 1979 ඔක්තෝබර් 24 වැනි දා අනිවාර්ය නිවාඩු යවා තිබුණේ ජනාධිපත් ජේ.ආර් ජයවර්ධන මහතා සම්බන්ධ ලිපියක 'ජනාධිපතිතුමා" යන යෙදුම වෙනුවට "ජනාධිපතිවරයා" යනුවෙන් සඳහන් කිරීමේ වරදට ය. එවන් පසුබිමක දේශපාලන මැදිහත්වීමක් නොතිබුණ බව විශ්වාස කළ හැකිදැයි අපි ගිවන්ත අර්ථසාද්ගෙන් නැවතත් විමසා සිටියෙමු.
"එහෙම තිබුණා නම් මට මගෙ චිත්‍රපටයේ වියදම් සියල්ල්ම දෙන්නේ නැහැ නේද ? මට ආර්ථික අලාභයක් වුණේ නැහැ. මම මේ ඉන්න ගෙදර ගත්තේත් ඒ සල්ලි වලින්" යනුවෙන් පැවසූ අධ්‍යක්ෂවරයා යමක් සිහිපත් කළේ ය. " මගෙන් නම අහන්න එපා. ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයෙක් කිව්වා එක කාරණයක්. ඒක සෑහෙන කාලයක් යනකම් එළි කරන්න එපා කිව්වා. හැබැයි කවදාවත් කියන්න එපා කියලා කිව්වේ නැහැ" ඔහු තීක්ෂණ බැල්මක් හෙළයි. "දුටුගැමුණු පාසල් විෂය පද්ධතියෙන් අයින් කරලා තියෙන්නේ. ජන වර්ග අතර ගැටුම් අඩු කරගන්නයි ඕනේ. ඒ නිසා හේතුව ලිඛිතව දෙන්න බැහැ. නමුත් ඔයාගේ වියදම දෙනවා" එම ජනාධිපති ලේකම්වරයා එසේ පැවසූ බව පැවසූ ගිවන්ත මේ කරුණ ද එයට එක් කළේ ය. " ආනන්ද තිසා ද අල්විස් මහත්තයා මාව රූපවාහිනියට ගත්තා. 1987 දි මගේ ඇස් වල ආබාධයක් නිසා මම රූපවාහිනියෙන් ඉල්ලා අස් වුණා." ඔහු ලිපියක් අප ඉදිරියේ තැබී ය. ඒ අකැමත්තෙන් වුව ද ඔහු ගේ ඉල්ලා අස්වීම භාරගත් බව ට රූපවාහිනී සංස්ථා සභාපතිවරයා විසින් දන්වන ලද පිළිතුරු ලිපිය ය. " මගේ දෘෂ්ටි විතාන ඉරිලා. ඩොක්ටර් උපාලි මෙන්ඩිස් පවා පුදුම වුණා. මගේ ඇස් අන්ධ නොවී බේරුණ එක ගැන. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ මා එක්ක හිටියා සහ ඉන්නවා කියන එක මම අදටත් විශ්වාස කරනවා. " බයිබලයේ මෙලෙස සඳන් ව ඇත." ඔබ නොමිලයේ ලැබුවාහු ය. නොමිලයේ දෙන්න" පුද්ගලික පාසල් වලින් මුදල් ගෙවා අධ්‍යාපනය ලද ගිවන්ත අර්ථසාද් අද වන විට ඒ ඉගැන්වුම් පරිද්දෙන්ම තම ඖගත් දෑ පරම්පරා ගණනකට නොමිලයේම උගන්වන්නේ ය. ප්‍රීතිමත් සැඳෑ සමයක සතතාභ්‍යාසයෙන් ගත කරන්නේ ය.

"දුටු ගැමුණු" චිත්‍රපටය විනාශ නොකළ බවත් පිටපත් දිරායමින් තිබෙන බැවින් චිත්‍රපට සංස්ථාව මැදිහත්ව එය සංරක්ෂණය කරන ලෙස ඉල්ලා සිටි බවත් ගිවන්ත අර්ථසාද් පැවසීය. සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා ගේ සහාය ද ඇති ව තම චිත්‍රපටය ඩිජිටල් ස්කෑන් පිටපතක් ලෙස ලබා ගත් බව ද ඉදිරියේ දී එය පිළිසකර කරන බව ද පැවසීය. පුවත්පත් අතිරේකයක් පිරෙන්නට ඇසූ පිරූ තැන් ඇති තැනැත්තා සුදු රැවුලකින් මුහුණ වසාගෙන අතීත මතකය දිග හරිමින් , විශ්වාසයෙන් යුතුව ඉතිහාසය ට සාක්ෂ්‍ය දරමින් සිටී. ඒ ගිවන්ත අර්ථසාද් ය. එඩ්වින් ආරියදාසයන් විසින් හඳුන්වන පරිදි "සිනමා විද්‍යාඥයා' ඔහු ය ය. දෙවියන් වහන්සේ කෙරෙහි අචල වූ විශ්වාසයෙන් යුතු තැනැත්තේ ඔහු ය. නමුත් කුමක් හෝ හේතුවකට දෙවියන් වහන්සේ විසින් සියවසකට මෙපිටින් හුදෙකලා දූපතක අතරමං කළ සිනමා ලැදි මනුෂ්‍යප්‍රාණියා ද ඔහු ය.

සහන් කසීර වික්‍රමසිංහ | රැස | 2019 අප්‍රේල් 02

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: