අභිමානය සහ අගතිය


ඒ කාලේ ආසාවෙන් කියවපු පොතක් තමයි හත් පෙති මල. ඒකේ ශේන්යා ට ලැබෙන අරුම පුදුම හත් පෙති මලේ දෙවනි මල් පෙත්ත වෙන් වෙන්නේ 'අම්මාගේ මල් පෝච්චිය තිබුණ විදියට ම හැදෙන්න' ඕනේ නිසා. දඟකාර ළමයෙක් වුණ ශේන්යා පුටුවකට එහෙම නැගලා රාක්කේ උඩ තියෙන මල් පෝච්චිය ගන්න හැදුවේ මේ මහානර්ඝ හත්පෙති මල 'හොඳම ලස්සන පෝච්චියේ' දාලා තියන්න ඕනේ නිසා. ඒත් ; ඒ වෙලාවේ ජනේලය ළඟින් කාක්කො රංචුවක් ඉගිලිලා ගියා. ශේන්යා ට ඕනේ වුණා ඒ රංචුවේ ඉන්නේ කාක්කො හත් දෙනෙක් ද අට දෙනෙක් ද කියලා දැන ගන්න. අන්තිමට මල් පෝච්චිය බිඳෙනවා. හත්පෙති මලේ රතු පෙත්ත විසි කරලා ඒක හරි ගස්සා ගන්නවා.
ඇත්ත ජීවිතේ දි බලනකොට අපි ශේන්යා ට වඩා කොයි තරම් බොළඳ ද ? නිකමට හිතන්න. අපි ට හත්පෙති මලක් ලැබුණා නම් අපි ඒක හොඳම මල් පෝච්චියට දායි. හැබැයි එහෙම වුණා නම් අපිට ජනේලෙන් එළියේ ඉගිලෙන කාක්කෝ පෙනෙයි ද ? හත්පෙති මල අතේ තියෙනකම් කාක්කො නෙමෙයි ; ප්‍රහාරක යානා හතක් කණ ළඟින් ගියත් අපිට පේන්නේ , දැනෙන්නේ නෑ. ඒ අතින් බලනකොට පුංචි ගෑණු ළමයා ; ශේන්යා අපට වඩා බුද්ධිමත්. එයා,හත්පෙති මල අතේ තියෙන වෙලාවට එළියෙන් කාක්කො ඉගිලුණ බව විතරක් නෙමෙයි - එතන හිටියේ කාක්කො හත් දෙනෙක් ද අට දෙනෙක් ද කියලාත් දන්නවා.
අපේ ජීවිත වලත් ශේන්යා ට වගේම හත්පෙති මල් පිපෙනවා. අපි ඒවා මල් පෝච්චි වල දාගෙන රකිනවා විතරයි. මල නැති වෙයි කියලා ලෝබ කමට එක පෙත්තක් වත් කඩන්නේ නෑ. හතර වටෙන් කාක්කො පියෑඹුවා කියලා අපි තේරුම් ගන්නකොට පරක්කු වැඩියි.
ජේන් ඔස්ටින් ලියපු "Pride and Prejudice” පොතේ එලිසෙබෙත් විසින් කොලින්ස් මහතා ගෙන ආව විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. එලිසෙබෙත් ගේ අම්මා තමන්ගේ ස්වාමිපුරුෂයා ලවා එලිසෙබෙත්ගේ සිත වෙනස් කරවන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. එලිසබෙත් ට එයාගේ තාත්තා මෙන්න මෙහෙම කියනවා.
"An unhappy alternative is before you, Elizabeth. From this day you must be a stranger to one of your parents. Your mother will never see you again if you do not marry Mr. Collins, and I will never see you again if you do.”
"එලිසෙබෙත් ඔබ ඉදිරියේ තියෙන්නේ අසතුටුදායක තේරීමක්. අද ඉඳන් ඔබට ඔබගේ අම්මා තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් නැති වෙනවා. ඔබ කොලින්ස් මහතා ව විවාහ කර නොගත්තොත් ; ඔබේ අම්මා ඔබ දිහා නැවත නොබලන බව දිවුරනවා. හැබැයි ඔබ ඒ දේ කළොත් මම ඔබ දිහා ආයේ කවදාවකවත් බලන්නේ නැහැ"
සංවාදයට නොගැණුනත් අපේ ජීවිත වලත් මේ වගේ දෙගිඩියාවන් කොයි තරම් තියෙනවද ? තමන් අකැමති සහ ඉවසා දරාගන්න අමාරු දේවල් ජීවිත කාලේ පුරා ම බලා ඉන්න වෙන එක තරමක් අප්‍රසන්න දෙයක්. ජීවිතේ කියන්නේ තෝරා ගැනීමක්. ඒ තේරීම් හරහා අඩුම තරමේ තමන් ගේ ප්‍රතිපත්ති රැකෙනවා නම් ; එච්චරයි. අමතක කරන්න එපා. හත්පෙති මල අතේ තියෙනකම් ම වටේ ඉගිලෙන කාක්කන් ව නොදකින මිනිස්සු අපි.
"Pride and Prejudice" කියන එකේ සිංහල තේරුම "අභිමානය සහ අගතිය". කලින් කිව්වා වගේ ජීවිතේ සමහර තීරණාත්මක මොහොත වල දී අපිට අසීරු තීරණ ගන්න වෙනවා. හැමදාම Pride and Prejudice එක ට තියාගන්න බැහැ. බොහෝ උපේක්ෂා සහගත බලා සිටීම් ; ඉවසීම් සහ කළකිරීම් අවසානයේ Pride ද Prejudice කියන එක තීරණය කරන්න දවසක් එනවා.
අභිමානය ද අගතිය ද කියන කඩඉම් පරීක්ෂණයේ දී මම නම් තෝරගන්නේ අභිමානය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment