Kemi Adekoya තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වේ



2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක්‍රීඩිකාව Kemi Adekoya තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වේ.
බහරේනයේ පුරවැසි බව ලද නයිජීරියානු ක්‍රීඩිකාවක වන Kemi Adekoya 2014 ඉන්චියොන් ආසියානු තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ මූලික වටයේදී , එනම් අවසන් පූර්ව වටයේදී ම තත්පර 51.11 කින් තරගය නිම කළේ නව ආසියාතික තරග වාර්තාවක් සහ බහරේන ජාතික වාර්තාව පිහිටුවමිනි. ඇය විසින් බිඳ දමන ලද්දේ ශ්‍රී ලංකාවේ දමයන්ති දර්ශා විසින් 2002 බුසාන් ආසියානු තරගාවලියේදී තත්පර 51.13 ක් ලෙස පිහිටුවා තිබූ ආසියාතික තරග වාර්තාවය.
2014 වසරේදී බහරේනයේ පුරවැසි බව ලද Kemi Adekoya එම වසරේ ආසියානු තරගාවලියේ මීටර 400 ඉසව්ව සහ මීටර 400 කඩුළු ඉසව්ව සඳහා බහරේනයට රන් පදක්කම් දෙකක් දිනා දුන් අතර 2018 වසරේ ජකර්තා නුවර පැවති ඊ ළඟ ආසියානු තරගාවලියේ දී මීටර 400 කඩුළු ඉසව්ව සහ මීටර 4 x 400 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ද රන් පදක්කම් දෙකක් දිනා ගත්තාය. ඊට අමතරව 2016 ලෝක ගෘහස්ත මළල ක්‍රීඩා උළෙලේ දී මීටර 400 රන් පදක්කම දිනූ Kemi Adekoya එම වසරේ දී රියෝ ඔලිම්පික් උළෙලට ද තරග වැදුණාය.
2018 නොවැම්බර් මස දී Athletics Integrity Unit හෙවත් "සුපිළිපන් මළලක්‍රීඩා ඒකකය" මගින් Kemi Adekoyaට එරෙහිව තහනම් උත්තේජක චෝදනා නැගූ කළ අතර එම ඒකකය අද දන්වා සිටියේ ඇය Stanozolol භාවිතා කර ඇති බව සනාථ වී ඇති බවයි. 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී කැනඩා ක්‍රීඩක බෙන්ඩ් ජොන්සන්ට ද මීටර 100 රන් පදක්කම අහිමි වූයේ Stanozolol භාවිතා කළ බව තහවුරු වූ බැවිනි.
මෙම චෝදනාවට එරෙහිව Kemi Adekoyaට අභියාචනාවක් ඉදිරිපත්කළ හැකි අතර ඇයගේ දඬුවම අදාල වන කාල සීමාව තවමත් තීරණය කර නැත. යම් හෙයකින් 2014 ආසියානු තරගාවලිය දක්වා Kemi Adekoya ගේ ජයග්‍රහණ අවලංගු කළහොත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිණී රස්නායකට ආසියානු තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි වීමේ අවස්ථාවක් ඇත. අවසාන තරගයේ Kemi Adekoya රන් පදක්කම දිනාගන්නා විට වියට්නාම සහ ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනාට පසු පසින් සිව්වැනි තැන දිනාගත්තේ චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක විසින් වන බැවිනි. නමුත් එය සිදුවන්නේ Kemi Adekoya ගේ ජයග්‍රහණ 2014 ආසියානු තරගාවලිය දක්වා අවලංගු කළහොත් පමණක් වන අතර එසේ වීමේ සම්භාවිතාව බෙහෙවින් අඩු බව ද සිහිපත් කළ යුතු ය.
යම්හෙයකින් ඇයගේ 2014 ආසියානු තරගාවලියේ මීටර 400 රන්පදක්කම අවලංගු කළහොත් ඇය විසින් බිඳ දැමූ දමයන්‍ති දර්ශාගේ ආසියානු තරගාවලි වාර්තාවට කුමක් වේද ? එය නැවතත් දර්ශා නමින් ලියැවෙන්නේ නැත. මන්ද යත් Kemi Adekoya 2014 ඉන්චියොන් ආසියානු තරගාවලියේ මූලික වටයේ දී පිහිටවනු ලැබූ තරග වාර්තාව 2018 ජාකර්තා ආසියානු තරගාවලියේදී බහරේන ක්‍රීඩිකාවක විසින්ම බිඳ දැමූ බැවිනි. නයිජීරියාවෙන් ආනයනය කළ තවත් බහරේන ක්‍රීඩිකාවක් වන ඇය , Salwa Eid Naser ද ආසියානු තරගාවලියේ මූලික හෙවත් අවසන් පූර්ව වටයේදී තත්පර 50.86 ක් ලෙස ආසියානු තරග වාර්තාව පිහිටුවන ලද අතර අවසන් තරගයේදී තත්පර 50.09 ක් ලෙස යළිත් වරක් ආසියානු තරග වාර්තාව අලුත් කළාය. Salwa Eid Naser එයට මාසයකට පෙර මොනකෝහි පැවති තරගාවලියක දී තත්පර 49.08 ක් වාර්තා කරමින් 1993 වසරේ සිට වසර 25 ක් මුළුල්ලේ චීනය නමින් ලියැවී තිබූ මීටර 400 කාන්තා ඉසව්වේ ආසියානු වාර්තාව ද බහරේනයට ගෙන ආවාය.
තහනම් උත්තේජක සම්බන්ධව පැණ නගින සෑම චෝදනාවකදීම අදාල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නිසැක වංචාකරුවන් නොවන නමුත්, ක්‍රිස්තු වර්ෂ 2018 වනවිටත් සියලු පහසුකම් ඇති රටක් නියෝජනය කරන ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක් හට අත්වැරදීමක් වන්නට ඉඩ ඇතැයි සිතීම ද උගහටය.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment