What a performance ට එදිරිව What an upset


'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය එක්ක ආයෙත් වතාවක් ජනතා විමුක්ති පෙරමුණ , රෝහණ විජේවීර සහ විප්ලවය ගත් මග වගේ දේවල් සාකච්ඡාවට භාජනය වෙන හැටි දකින්න පුළුවන්.
මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවක්. 88-89 කාලය ගැන අවබෝධාත්මක ජීවිත අත්දැකීම් නැති හුඟදෙනෙක් 71 කැරැල්ලේ ඉඳන් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ ආශ්‍රිත දේවල් දැක්කේ වික්ටෝරියානු ඇහැකින්. ඒ අදහස් කළේ වික්ටෝරියා රැජණ ගැන නෙමෙයි. වික්‍ටර් අයිවන් ගැන. මොකද මෑත ඉතිහාසය තුළ ඔය කියන විෂය පථය ගැන සමාජගත වුණ හුඟක් ලේඛන වල අයිතිකාරයා වික්ටර් අයිවන්. ඉතිං ; 71 වත් 89 වත් හරියට අත් නොවිඳපු හුඟ දෙනෙක්ගේ දෘෂ්ඨිවාදයට නොදැනුවත්වම හරි වික්ටර් අයිවන්ගේ සෙවණැල්ලත් වැටිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
එකම ආශ්‍රීය ග්‍රන්ථ ටිකක් වනපොත් කරලා , සෙක්කුව වටේ යන සයිබර් ගොන්නු වෙන්නේ නැතිව සංවාදයක් සහිතව අතීතය දිහා හැරිලා බලන්න ප්‍රවේශයක් හැදෙන එකම සාධනීය කාරණයක්. මොකද මේ සංවාද පැණ නගින්නේ ඔය ඉතිහාසයේ ෆර්ස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් තියෙන අතීතයේ නියෝජිතයෝ වගේම වර්තමාන නිරීක්ෂකයොත් ඉන්න එකම සමබිමක. අද කාලේ වෙනකොට කන්ද උඩරට රාජධානිය පසුබිම් කරගෙන හතු පිපෙනවා වගේ නවකතා බිහි වෙනවා. ඒත් ඔය කියන්නේ ඇත්තද බොරුද කියලා අහන්න රාජසිංහ රජ්ජුරුවෝවත් අමාත්‍ය මණ්ඩලයවත් ළඟ පාතක නෑනේ. ඒ තත්ත්වෙට පත් වෙන්න කලින් කතිකාවක් ඇති වෙන එක හුඟක් හොඳ දෙයක්.
මොකද ; එදා තිබ්බ තත්ත්වය ගැන අවලෝකනයක යෙදෙන්න පුළුවන් හොඳම කාලය තමයි මේ උදාවෙලා තියෙන්නේ. ඒ කාලේ හිතපු දේවල්; ඒ කාලේ විශ්වාස කරපු දේවල් අද වෙලාද ?
1997 ග්‍රීසියේ ඇතැන්ස් නුවර තිබුණ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනුවේ සුසන්තිකා ජයසිංහ. ඒ දිනුවේ සුසන්තිකාගේ වගේම ලංකාවෙත් මුල්ම ලෝක සූරතා පදක්කම. ලෝක ප්‍රකට මර්ලින් ඔටේව පරාජය කරලා රිදී පදක්කමක් දිනපු සුසන්තිකාගේ රූපරාමු දර්ශනය වෙනකොට නිවේදිකාව ඒ මොහොතේ මෙහෙම දෙයක් කියනවා.
'Jayasinghe is going to be a national hero back in Sri Lanka‘
දැන් අවුරුදු 21 ක් ගත වෙලා. අද ඒ අනාවැකිය හරි ගියාද කියලා ඇහුවොත් 'වූයේද නොවූයේද නැත' වගේ උභතෝකෝටිකයක් මිසක් කාටවත් කෙළින් උත්තරයක් දෙන්න පුළුවන් ද ? සුසන්තිකා ජයසිංහ ජාතික වීරවරියක් වුණාද ? ඔව්. හැබැයි අද වෙනකොටත් එයා ජාතික වීරවරියක් විදියට සැලකුම් ලබනවද ? නැහැ.
ඔන්න ඔය දේ නිසාම තමයි අපිට 'ගින්නෙන් උපන් සීතල' හරහා ඉතිහාසය සහ වර්තමානය අතර සංවාදයක් ගොඩනගන්න වෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. ජයග්‍රහණය හෝ පරාජය පුද්ගලාබද්ධයි. එකිනෙකා ඒක භාරගන්න විදිය වෙනස්.
2001 ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය තිබුණේ කැනඩාවේ එඩ්මන්ටන් නුවර. ඒ වෙනකොට මේරියන් ජෝන්ස් සිඩ්නි ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් අරගෙන , යුගයේ ක්‍රීඩිකාව විදියට අභිෂේක ලබලා හිටියේ. ඒත් මීටර 100 කාන්තා ඉසව්වේ අවසාන තරගයේදී නොසිතූ දෙයක් වෙනවා. එදා 1997 දි සුසන්තිකාට ඉස්සරහින් දුවපු යුක්රේනයේ සානා පින්ටුසෙවිච් - බ්ලොක් මුල සිටම මේරියන් ජෝන්ස්ව අභිබවා ගිහිං රන් පදක්කම ගන්නවා. තරගයේ නිවේදකයාට සහ නිවේදිකාවට නොදැනුවත්වම තමන්ගේ විස්මය පිටවෙන්නේ දෙආකාරයකට.
What a performance ! කියලා නිවේදකයා කියනකොට ඒ තත්පරෙන් නිවේදිකාවට කියැවෙන්නේ What an upset ! කියලා.
නිවේදකයාගෙන් පිට වුණේ මේරියන් ජෝන්ස් පරාජය කිරීමේ ප්‍රහර්ෂය. නිවේදිකාවගෙන් පිට වුණේ මේරියන් ජෝන්ස් පරාජය වීමේ වේදනාව.
'ගින්නෙන් උපන් සීතල' ට විතරක් නෙමෙයි; ඒ සිනමා නිර්මාණයට හේතුභූත වුණු ප්‍රස්තුතයටත් ඔය කතාව පොදුයි.
What a performance ට එදිරිව What an upset
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment