ගින්නෙන් උපන් සීතල : දේශපාලනික ගොදුරක් වූ විල්ලෝරවත්තේ යුවතිය


ගින්නෙන් උපන් සීතල සමස්ත සිනමා පටය මුළුල්ලේම මැවී පෙනෙන එකම එක රුවකි. ඇය වන්නකු වත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීරය.
වැඩිමල් සහෝදරයාගේ උවමනා බහට සහ බල කිරීමට අනුගත වී විසි තුන් හැවිරිදි වියේදීම දේශපාලන සටන්කරුවෙකු සමග විවාහ වූ මොරටුව විල්ලෝරවත්තේ යුවතියක අවසානයේ මතුවන්නේ උලපනේ ප්‍රදේශයේ වතු යායකිනි. ඒ වනවිට ඇය පස් දරු මවකි. ගැබිණියකි.
චිත්‍රාංගනී විජේවීර : රජය භාරයට පත් වන සය දරු මාතාව - 1989
පසු කලෙක පුවත්පතකට අදහස් දැක්වූ චිත්‍රාංගනී විජේවීර තමාව බලහත්කාරයෙන් ආවාහ කරදුන් තම සහෝදරයා චන්ද්‍රා ප්‍රනාන්දු යනු මෙලොව වෙසෙන ආත්මාර්ථකාමීම පුද්ගලයා බව ප්‍රකාශ කර තිබුණාය. එදා ; සාන්ත මේරි වතුයායේ දී විජේවීර හසු වූවාට පසුව දේශපාලන සරණාගතයින් ලෙස කවර හෝ තානාපති කාර්යාලයක් වෙත නොගොස් රජයේ හමුදා වෙත භාර වීමට ගත් තීරණය පිළිබඳව අද පසුතැවෙන බව ද ප්‍රකාශ කළාය. පසුදිනයේ ඇය මුණ ගැසුණු රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා විජේවීරගේ පවුලේ උදවිය මරා දමන ලෙස තමාට ඇමතුම් සිය ගණනක් ලැබෙන බවත් - ඒ ඇමතුම් දෙන අය 'සර්ප පැටවුන් කෙදිනක හෝ සර්පයින් වන බැවින් ඔවුන් මරා දැමිය යුතු'යි අවධාරණය කරන බව තමාට පැවසූ බවත් සිහිපත් කළාය. ජනපතිවරයා එය පවසන විට 'මරනවා' යන වචනය තේරුම් ගන්නා වයසක සිටි ඊෂා සහ චාගා දියණියන් බියවැදී තමා පසුපස සැඟවුණු බව ද චිත්‍රාංගනී විජේවීර ආවර්ජනය කළාය.
චිත්‍රාංගනී - රෝහණ : රාජ්‍ය බලය අල්ලන්නට යාමේදී කැණිමඬල බිඳ වැටීම
ඇය දේශපාලනයේ මළපොත හෝ දැන නොසිටින්නට ඇත. බාගදා රෝහණ විජේවීර සිතාමතාම ඇය අදේශපාලනික වදන මැෂිමක් ලෙස නඩත්තු කරන්නට ද ඇත. නමුත් සුලෝචනා වීරසිංහ නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය නැවත නැවතත් පාරමින් අපට වටහා දෙන එක් අනුවේදනීය සත්‍යයක් ඇත. ඒ , චිත්‍රාංගනී විජේවීර යනු විප්ලවවාදියෙක් හෝ රජය විසින් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස නම් කළ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර නම් පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිඳ පමණක්ම නොවන බව ය. චිත්‍රාංගනී විජේවීර යනු නඩු විභාගයකින් තොරව , රාජ්‍ය මැදිහත්වීමෙන් පියා මරා දමන ලද දරුවන් හය දෙනෙකුගේ බර උසුලන මාතාව බව ය. තිස් නම වසරක් තිස්සේ බාහිර සමාජය ඇය තුළින් නොදුටු පැතිකඩ අපට පෙන්වමින්, වේදනා ඇති කරවමින් අප පාරවන්නේ සුලෝචනා වීරසිංහ ය. ගින්නෙන් උපන් සීතල ය.
සුලෝචනා වීරසිංහ : දේශපාලනික ගොදුරක් වූ කුලවමියක සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීම  
වැදූ දරුවන් ගඟට විසිකරන, වැදූ දරුවන්ගේ ගෙල මිරිකා මරා දමන මව්වරුන් වෙසෙන රටක චිත්‍රාංගනී නාවුක හමුදා කඳවුරු තුළ , සමාජ ඇසුරක් නොමැති පීඩිත ජීවිතයක් ගෙවමින් වුවද ගැහැණු දරුවන් සිව් දෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙක් ඇති දැඩි කළාය. ඉන් එක් පුතෙක් උපදින්නේ තම පියා කවුදැයි පුසුඹක් හෝ නොලබා ය. රජය විසින් ඔහුගේ පියාව ඝාතනය කරන ලද්දේ ඔහු දරු ගැබෙහි සිටින යුගයේදී ය. තවත් දුවක් කුඩා කල සිට අද දක්වාම, රැක බලාගතයුතු මට්ටමේ රෝගී දැරියකි. බලහත්කාරී විවාහයකින් උපන් කළකිරීම , උපන් පවුලෙන් දුරස්ත වීමේ වේදනාව , සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමේ ලජ්ජාව , සමාජ ප්‍රතිරෝධය සමග ඇතිවන අවදානම , අහිකුණ්ඨික කුටුම්භයක විඩාව , සැමියාගේ අනීතික ඝාතනය , අපේක්ෂා බිඳ වැටීම සහ අනාගතයක් අහිමි දරු රැළක් සමග තනිවීම යනාදී සියලුම දුක් කම්කටොළු වලින් චිත්‍රාංගනී විජේවීර පීඩාවට පත් වන්නට ඇත. නමුත් නාවුක හමුදා කඳවුරු තුළ අනුන්ගෙන් ඉල්ලා ගත් ජීවිතයක් විඳිමින් වුවද මේ ගැහැණිය තම දරුවන් සය දෙනාගේ ගෙල මිරිකා නොදමා ඔවුනට අධ්‍යාපනය ලබා දෙන්නටත් , ඔවුන් වැඩිහිටියන් බවට පත් කරන්නටත් සමත් වූවාය.
චිත්‍රාංගනී ! දේශපාලනය නොදන්නා නමුත් දේශපාලනිකව කොටු වූ තනි ගැහැණියක් කළ ඒ විප්ලවයම මදිද ?
විජේවීර - චිත්‍රාංගනී : ඉතිහාසයට එක් වූ හෝ නොවූ ජීවිත 
ඛාලීඩ් හොසේනි ගේ A Thousand Splendid Suns කෘතියේ දී ඇෆ්ගන් තලිබාන් වරුන්ට හසුව මරණ දණ්ඩනයට නියම වන මාරියම් ට වෙඩි තබා මරාදමන්නට සූදානම්ව මෙසේ අණ ලැබිණ.
"Kneel here hamshira and look down."
One last time, Mariam did as she was told.
"මෙතැන දණගහන්න. හම්ෂිරා, බිම බලාගන්න"
මේ එක අවසන් වතාවටත් මාරියම් ඈට කී දේ කළාය.

චිත්‍රාංගනී විජේවීර සහ මාරියම් අතර වෙනසක් නැත.තලිබාන් නොවූවද සෝවියට් මතවාදයක සිරකාරියක වූ ඈට කී දේ කිරීම හැර වෙනත් විකල්පයල් තිබුණේ නැත. 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණයේ අවසානයේ අත් අඩංගුවට පත් විජේවීර හමුදා වාහනයට යන අතර හමුදා නිළධාරියාගේ උපදෙස් මත චිත්‍රාංගනීට මෙතැන රැඳී නොසිට පිටවන්නැයි පවසා සිටී.
"කොහෙටද යන්නේ ? " චිත්‍රාංගනී බියපත් මුහුණින් විමසන්නීය.  "විල්ලෝරවත්තට යන්නද ?"
"එහෙට යන්න එපා" විජේවීර වික්ෂිප්ත මුහුණින් පවසමින් හමුදා නිළධාරියා පසුපස ඇදේ.
"එහෙනම් ?" යනුවෙන් චිත්‍රාංගනී විමසූ නුමුදු මුනිවත රකින විජේවීර සිය ඉරණම්කාර ගමන යන්නට වාහනයට ගොඩ වැදිණ.
මාරියම් ට නම් කරන්නට දෙයක් තිබිණ. වෙඩි තබන්නට බලා සිටින තලේබාන් වරුන් කී දෙය ඇය එලෙසින් ඉටු කළාය.
දරුවන් පහක් සහ දරු ගැබක් දරාගත් විල්ලෝරවත්ත තිස් දෙහැවිරිදි තරුණිය අදටත් පීඩා විඳින්නේ ලංකාවේ දෙමළ ඊලාම් අරගලයට පවා විසඳුම් ලියූ ඇයගේ විප්ලවවාදී සැමියා සන්තකව මේ ප්‍රශ්නයට ප්‍රායෝගික පිළිතුරක් නොතිබූ නිසා නොවේද ?
"එහෙනම් ?"
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment