ප්‍රියානි : මල් පුදින්නේ දෑඟිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ


ඒ අසූව අනූව දසකයේ යටපත් ව ගිය ඉමිහිරි ගීත පමා වී ආ වසන්තයකින් පිබිදුණු සහස්‍ර වර්ෂය ය. අසූ පහ තරම් ඈත කාලයක වසන්තා තිලකාංගනී ගැයූ " එපා තවත් ඔබ මා රවටන්නට" සමග කල එළි බසින්නේ ප්‍රියානි ජයසිංහ නම් ගායිකාවක අනූව දසකයේ මැද භාගයේ දී ගයා තිබූ "කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්" ගීතය ය. එකල සුදෝසුදු ටෙලි නාටකයේ රඟ පෑ යොවුන් නිළියත් ඇගේ නිවුන් සොයුරියත් කළ රාත්‍රී රූපවාහිනී ගී වැඩසටහනෙන් ජනාදරයට පත් මේ ගීතයත් සමග හඳුනාගත් ප්‍රියානිව අප දකින්නේ වැඩි විච්චූරණ නැති ගායිකාවක ලෙසිනි. ඇය ,තම සමේ අඳුරු පැහැයට කිසිසේත්ම නොගැලපෙන තවත් අඳුරු වර්ණ වලින් සැරසී සිටියාය. ඉන් නොනැවතී තම පෙනුමට නොගැලපෙන යල් පිනූ කොණ්ඩා විලාසිතා වලින් තව තවත් පසුගාමී වූවාය. අනෙක් සියලුම ගායිකාවන් සහස්‍රය සමග නව මුහුණුවරක් ගන්නා විට නොවෙනස් වූ පෙනුමක් ඇති ප්‍රියානි " සුන්දර හදකට දී පෙම් වරම්" ගීතය ගැයුවාය. "ළං කර ගැනුමට මා මේ තරම් - මං කළ පෙම කිව මැන රත්තරන්" යනුවෙන් විමසා විලාසිතා මන්දිරයකට ද ඇති කළ නොහැකි මහා කම්පනයක් තම වේදනාබර හඬ ඔස්සේ ජනිත කළාය.
ශාස්ත්‍රීය ගී ගැයූ ගායිකාවන් ද මද වේග රිද්මයේ ගී ගයන ප්‍රවණතාවක් උදා වන විට ප්‍රියානි ද " සකුන්තලාවක් වෙන්නද යළි මං" ගැයුවාය. ඒ අව් අස්සේ "අලුත් සඳ ඇවිත් " ගයමින් උරණ වූ ස්වාමි පුරුෂයෙකු ආදරයෙන් ප්‍රශ්න කළාය.
අලුත් සඳ ඇවිත් අහසට එළියයි මුළු රෑම
කඳුළු නිසා නොපෙනුණාය සුන්දර සඳපාන
බතද ඉදී ඉවරයි දැන් උණුහුම ඇත තාම
තරහ නිවී ඉවරයි මගෙ ඔබ තරහද තාම

ප්‍රියානි... ප්‍රියානි .... ප්‍රියානි..... !!!
පසුගිය වසරේ ඔක්තෝබර් තිස් වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති "රිද්ම රැයක්" ගී ප්‍රසංගයේදී ප්‍රියානි ජයසිංහ වෙනදා මෙන්ම මනහර හඬින් ගීත ගැයුවාය. සහස්‍රයෙන් වසර විස්සක් ගත වන තැන ඇය තරමක විලාසිතාවන්ගෙන් ප්‍රමුදිතව සිටියාය. මතකය නිවැරදි නම් එදින අනෙකුත් කලාකරුවන්ගේ දරුවන් සමග ඇයගේ පුතෙකු ද ගායනා ඉදිරිපත් කරනු ලැබිණ.
ඇය එදා නොගැයූ නමුත් යළිත් වරක් "අලුත් සඳ ඇවිත් අහසට" ගීතය සිහිපත් වෙයි. එහි දෙවැනි අන්තරා කොටසේ මෙලෙස කියැවේ.
සිත් යට ඇති කහට බිංදු වැස්සට තෙමුණාට
වැස්සට පසු පායන ඉර හරි එළියයි නේද
ඉස්සර වගෙ පෙමින් බැඳෙමු නොකියමු අවලාද
බිත්තියකටවත් නොකියමු දෙදෙනගෙ අමනාප

ප්‍රියානි... ප්‍රියානි .... ප්‍රියානි..... !!!
අද , 2018 ජූලි 08 ඉරිදා මධ්‍යම රාත්‍රියේ ප්‍රියානි ජයසිංහ නම් ගායිකාව ගැන යළිත් වරක් අසන්නට ලැබිණ. අපේ පාසල් කාලයේ දී විලාසිතාවන්ගෙන් වියුක්ත, මනහර හඬකින් හෙබි ගැහැණියක ලෙස අප දුටු ඒ ගායිකාව විසි වසරකට පසුව යළිත් ඒ මතකය අවදි කරන්නට තරම් සමත් වී ඇත. මුල්ම කාලයේ දී අසන විට එක හුස්මට කියන ටීකා සිව්පදයක්යැයි සිතුණු , පසු කලෙක අප ආදරයෙන් වැළඳගත් කඳුල නිවන්නම් පදවැල් තවමත් අතීතයේ සිට නින්නාද දේ.
එදා ඔබ පැවසූ වදන් යළිත් ඔබටම පවසන්නට මොහොතක් උදා වේ යැයි අප නොසිතුවෙමු.
ප්‍රියානි
මල් පුදින්නේ දෑඟිලි අතරේ 
තැලී පෙලී මියැදෙන්න නොවේ 
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි 
හිත රිදවා හඬවන්න නොවේ


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment