බයගුළු ඇස්


"ආච්චි අම්මා ඇයි ඒ කාලේ දිගටම සිං කළේ නැත්තේ " බබා ඇල්බම් එකක් පෙරළගෙන හුරතල් විදියට අහනවා. මම හිනාවෙනවා. " බබා .. ආච්චිට කරදර කරන්න එපා ඉතිං". දුව සෝෆා එකේ ඉඳන් බබාට කෑගහනවා. මම ආයෙමත් හිනාවෙනවා.
දැන් මගෙ වයස හැට හතක්. කැනඩාවට ඇවිල්ලා අවුරුදු තිස් පහක් පහුවෙලා කියලා දැනුණේම නෑ.ලංකාව කොච්චර අගේ වුණත් මේ රටවල් ඊට වඩා කොයිතරම් නම් සාමකාමීද. හිතේ කරදරයක් නැතිව අවුරුදු ගාණක් ගෙවුණා. දුවගෙ මහත්තයා පවුලේ මළ ගෙදරකට ලංකාවට ගිහිං ආපු නිසා ගෙනාපු කෑම බීම අරගෙන මාව බලන්නත් ආවා. කුලියට දීලා තියෙන අපේ මහගෙදර පැත්තේ ගිහිං එන ගමං වහලා තියෙන කාමරේ තිබුණ ෆොටෝ වගයක් අරගෙන ඇවිත්. ඒවා කලු සුදු වුණාට මතක් කරනකොට ඔක්කොම පාට ගැලපිලා එනවා. අනේ ඒ කාලේ. දැන් නම් වයලීන් එකක් ගහන්න තියා තාලම්පොටක් වත් ගහන්න බෑ.
සංගීතාශ්‍රම් ඉන්න කාලේ ගත්ත ගෘප් ෆොටෝ එක දුව අඳුන ගත්තා. " අම්මා .. ලුක් ඇට් දිස් !! මේ බර්නි ආන්ටි නේද ? " එයා එක එක්කෙන අඳුන ගන්නකොට මම හිටියේ අසූ ගණන්වල මතකේ පා වෙලා. " බර්නි ආන්ටි වැලිවේරිය පල්ලිය ළඟ හිටියේ. එයා ඉස්සර අපිව බලන්න එන්නේ බටර් පාන් අරං" දුව එයාගේ මහත්තයාටයි බබාටයි බටර් පාන් ගැන කියා දුන්නා. ඇත්තටම බර්නි ගෙනාවා මිසක් මමත් කොහෙන්වත් බටර් පාන් කාලාම නෑ. බර්නිට තිබ්බේ වෙස්ටර්න් හඬක්. හරියට "මල් මල් හීනය සීතල උදයේ" සිංදුව මුලින්ම කිව්ව ජනීනා පීරිස් ට වගේ කැඩිච්ච සිංහල හඬක්. " මේ ඉන්නේ කපිල අංකල් නේද අම්මා ? " දුව එකපාරට අහනකොට මගෙ හිත ටිකක් වරදකාරී හැඟීමකින් ගැස්සිලා ගියා. ඒ කාලේ අපේ පංතියේ හිටිය හැඩම කොල්ලා තමයි කපිල. හැම වෙලාවෙම විනෝදෙන් ඉන්න , විහිළු තහළු කරන , ගිටාර් එක කරේ දාගෙන නළුවෙක් වගේ බයික් එකේ යන කපිල ! " අයි තින්ක් හී හැස් මැරීඩ් වන් ඔෆ් යුවර් ගුඩ් ෆ්‍රෙන්ඩ් නේ ? මට ඒ ආන්ටිවත් මතකයි" දුව කියනකොට මම අත දික් කරලා ෆොටෝ එක ඉල්ලුවා. ඇඟිලි වෙව්ලන්නේ වයස නිසා ද කපිල නිසාද කියලා මටම තේරුණේ නෑ. ෆොටෝ එක ගත්ත ගමං මගෙ ඇස් ෆොටෝ එක පුරා දිව්වා. කපිල හිටියේ ධම්මිකගේ කරේ අත දාගෙන. ධම්මික දැං ඉතාලියේ ලු. මම හිටියේ ඩිව‍යිඩඩ් ස්කර්ට් එකක් ඇඳලා. එක කණක් වැහෙන්න කොණ්ඩේ හදාගෙන. එහා පැත්‍තේ බර්නි , හැරියට් , මංගලා, වංශා එක්ක චන්ද්‍රාණි හිටියා. චන්ද්‍රාණි ඒ ෆොටෝ එකෙත් හිටියේ හැමදාම ඉන්න විදියට ලැජ්ජාවෙන් ,අපහසුවෙන් වගේ. කපිල චන්ද්‍රාණිට කැමති වුණේ ඇයි ?
කපිල චන්ද්‍රාණි එක්ක යාලු වෙනවත් එක්කම වගේ මටත් ගෙදරින් ගෙනාපු යෝජනාවට කැමති වෙන්න වුණා. කැමති වෙන්න වුණා කියනවට වඩා කැමති වෙන්න පුළුවන් වුණා කියලා කියන එක තමයි හරි. කසාදෙත් එක්ක මගේ සංගීත ජීවිතේම නතර වුණා. දුව ඉපදුණායින් පස්සේත් බර්නි නම් නිතරම ඇවිල්ලා නැවතිලා ඉඳලාත් ගියා. කොහෙ හරි ෂෝ එකක සහාය ගායනයට යන ගමං කියලා චන්ද්‍රාණිත් ගෙදරට ගොඩ වුණා. කපිල නම් ඒ ආපු එක පාරක ඇරෙන්න ආයෙම ආවේ නෑ. දුවට වයස දහයෙදි අපි කැනඩාවේ ආවා. එතනින් එහාට සංගීතාශ්‍රම් මතකය අතීතයට එකතු වුණා.
" ආච්චි අම්මාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කෝල් කරන්නේ නැද්ද ?" බබා අහන ප්‍රශ්නෙත් එක්ක මම ආයෙම හිනා වුණා. හිනා නොවී කොහොමද ? මම කොහොමත් වැඩි කතා බහක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. බර්නි ඇරෙන්න මේ කට්ටියගෙන් මා එක්ක යාලුවෙන් හිටියේ චන්ද්‍රාණි විතරයි. ගමෙන් ආපු ගති ඒ විදියටම තියාගෙන හිටිය චන්ද්‍රාණිගේ ඇස් ඇතුළේ කොළඹට බය ගතියක් තිබුණා. එයා කපිලව බැඳලා සතුටෙන් ඉන්නවා ඇති කියලා හිතුවට මුල්ම පාර මම ලංකාවට ගිය වෙලේ බර්නි කිව්වේ වෙන කතාවක්. " අනේ කපිලයා ඒ ගෑණිට වද දෙනවාලු. කොයි වෙලෙත් බීලා ඇවිල්ලා ගහනවලු" ඒකත් එහෙමද? මම හිතුවේ චන්ද්‍රාණි කපිලව බැඳලා සිසිර - ඉන්ද්‍රාණි වගේ ගායන ලෝකේ හොල්ලයි කියලා. ඒක අහපු බර්නිට හිනා ගියා. " සිසිර - ඉන්ද්‍රාණි කෙසේ වෙතත් දැන් දෙන්නා දයාරත්න - අමරා වගේ " තමන් එහෙම කිව්වේ සුදුසුකම් පැත්තෙන් සලකලා බව බර්නිම පැහැදිලි කළා. චන්ද්‍රාණි සුපර් ග්‍රේඩ් ගායිකාවක් විදියට ඉහළ යනකොටත් කපිල බී ග්‍රේඩ් ගායකයෙක්ලු. " බීපු දවසට ඔය කේස් එක අල්ලගෙන රණ්ඩුලු. සමහර දාට කපිල බීලා ආවාම චන්ද්‍රාණි එළි වෙනකං ඇඳ යට හැංගිලා ලු ඉන්නේ" ඒ කතා අහනකොට සෙල්සියස් සෘණ ගාණක් එක්ක වුණත් කැනඩාවේ ජීවිතේ හොඳයි නේද කියලා මට හිතුණා. කපිල ඉස්සර සනත් ගුණතිලක වගේ. එහෙව් මිනිහද මේ අර අහිංසක බයගුළු පෙනුමක් තියෙන ගෑනිට ගහන්නේ ? පස්සේ කාලෙක චන්ද්‍රාණිගේ සිංදු නිතර නිතර රේඩියෝ එකේ යන්න ගත්තා කියලා බර්නි කෝල් කළාම කිව්වා. එතකොට කපිල ? " ඒ මිනිහා දැන් මියුසික් කරන්නේ නෑ. ඉඩම් බ්‍රෝකර් කෙනෙක් විදියට වැඩ. අර ගෑණිටයි ළමයින්ටයි වද දිදී ඉන්නවා" මට පව් කියලා හිතුණා. ඒ වද විඳින චන්ද්‍රාණි ගැන ද සංගීතේ නවත්තපු කපිල ගැනද කියලා තේරුමක් නෑ.
" මේ අංකල් කෝ ? " බබා අලුත් සෙල්ලමක් පටන් ගත්තා. ෆොටෝ එකේ ඉන්න අය එක එක්කෙනාව පෙන්නලා කෝ කියලා අහනවා. බර්නි තාම වැලිවේරියේ. බබාගේ ආච්චි අම්මට අවුරුද්දකට සැරයක් වත් කෝල් කරලා ලංකාවේ විස්තරයක් කියන්නේ එයා තමයි. ධම්මික ඉතාලියේ . ඒ පාර බබා හැරියට් ව ඇහුවා. හැරියට් ආණ්ඩුවේ රස්සාවක් කරලා පෙන්ෂන් ගිහිං ලු. මම ඒක කිව්වා. මංගලා කෝ අහනකොට ලාවට මතකයක් තිබුණා කුරුණෑගල පැත්තේ ලෝයර් කෙනෙක් බැන්ද බව. වංශා හිටියේ ගුවන් විදුලියේ. ප්‍රවෘත්‍ති කිව්වත් එක්කනේ. චන්ද්‍රාණි කෝ කියලා අහනකොට මගේ පපුව හිර වෙන්න වගේ වුණා. " ශී ඊස් නෝ මෝර් විත් අස්" කියලා මම අමාරුවෙන් වුණත් කිව්වා. " ඕ.. වට් හැපන්ඩ් ආච්චි අම්මා" කියලා බබා උනන්දුවෙන් මගෙ මූණ බැලුවා. " හාර්ට් ඇටෑක් එකක් හැදුණා පුතේ " කියලා මම ෆොටෝ එක දිහා බැලුවා.
ෆොටෝ එකේ ඉතුරු වෙලා ඉන්නේ කපිල. ක්‍රේල් කොණ්ඩයක් තියාගෙන බර්නි එක්ක ක්ලැරන්ස් ගේ සිංදු කියපු කපිල. තාත්තා එක්ක මම කාර් එකේ යනකොට පස්සෙන් ඇවිත් හෝන් ගහපු කපිල. මල් ගවුම් ඇඳගෙන කොළඹ ආපු , සංගීතාශ්‍රම් හිටිය දක්ෂම ළමයා චන්ද්‍රාණිව බැඳපු කපිල.
" ඒ අංකල් නම් කොහෙද දන්නේ නෑ පුතේ " කියලා මම මේසෙන් නැගිට්ටා. චන්ද්‍රාණිගේ බොඩි එක පෙන්නන්න ඇරෙස්ට් කරලා හිටිය කපිලව ගේන්න හැදුව බවත් පුතාලා ඒකට කැමති වුණේ නැති බවත් බර්නි කිව්වා මතකයි. ඒ පණිවුඩේ අහපු දා ඉඳන් තාමත් කඩදාසියක් කපනකොට සංගීතාශ්‍රම් මතක් වෙනවා. චන්ද්‍රාණිගේ බයගුළු ඇස් දෙක මතක් වෙනවා. රෑට නින්ද යන්නේ නැති වෙනවා.
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. බිත්තියකටවත් නොකියමුයි කිව්ව අමනාප නපුරු කතුරක් අහගෙන හිටියෙ කොහොමද බර්නි…...

    ReplyDelete
  2. As usual well done.. felt it to deepest of my heart.. I still love her voice.. such a voice

    ReplyDelete
  3. Your style is very curious. I like it so much

    ReplyDelete