ඉන්දියාවේ කල්පනා චෞලා සහ ලංකාවේ කෙස් වැටි


එක පෙළට හිස බිම නමා හිඳ කෙස් කළඹෙන් පාවඩයක් සදන උපාසකම්මලා රෑනක් සහ ඒ මතින් වඩිනා භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ඡායාරූප මේ දිනවල සංසරණය වෙමින් පවතී. මෙවැනි වහල් වන්දනා බුද්ධ දේශනාවට අනුකූල දැයි විවාදයක් හටගෙන ඇත.

මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ " කෙස් වැටිය " නම් කෙටිකතාවේ ද මෙබඳු සිදුවීමක් විස්තර කර තිබිණ. ධර්මය දෙසීමේ සූරයෙකු ලෙස ප්‍රකට නාගසේන නම් තරුණ භික්ෂුව කෙරේ බැතිබර වූ කාන්තාවන් මෙසේ කෙස් කළඹ විසුරුවා පාවඩ එළන්නේය. නමුත් අවසානයේ තම දේශනා අසන්නට පැමිණි මල්ලිකා නම් රූමත් තරුණියට ආසක්ත වූ නාගසේන සිවුරු හැර ඇයව බලන්නට ඇගේ නිවසට යන්නේය. "අර හීරළුවා වෙන්න ඇති"යි මල්ලිකා සමච්චලයෙන් පවසනු නාගසේනට ඇසේ.

මාර්ටින් වික්‍රමසිංහ මේ කතාව ලියන්නේ කාන්තාවන් යනු ඉතාමත් පසුගාමී සත්ත්ව විශේෂයක් යැයි සිතා සිටි යුගයකය. එවකට ලංකාවේ මුල් වරට තහනම් කරන ලද චිත්‍රපටය වන "නළඟන" තහනමට හේතු වූයේ එහි ප්‍රධාන නිළිය වූ රුක්මණී දේවි ජීන්ස් කලිසම් ඇඳ සිටීමය. " කෙස් වැටිය" කෙටිකතාව ලියූ මාර්ටින් වික්‍රමසිංහ නළඟන චිත්‍රපටය අරභයා විචාරයක් ලියමින් "මෙවැනි සංකර විලාසිතා නිසා ගම්බද තරුණියන්ගේ සිත් දූෂ්‍ය වන " බවට අනතුරු ඇඟවීය.

මිත්‍රවරුනි ; 

එක් පසෙක මාර්ටින් වික්‍රමසිංහයන් පිළිකෙව් කළ ජීන්ස් කලිසම ජය ගත් ලාංකීය කාන්තා ප්‍රජාවය. සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනාගන්නා විට ජයන්ති කුරු-උතුම්පාල එවරස්ට් කඳු මුදුන ද ජයගෙන ඇත.

අනෙක් පස මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ කෙස් වැටියේ සිටි උපාසක වනිතා ප්‍රජාවය. උඩ මළුවට යන්නට අවසර නොලබන , මහනායක හිමිවරුන් විසින් කාන්තා ආණ්ඩුකාරවරුන් ප්‍රතික්ෂේප කරන , ප්‍රවේශ පත්‍රයක් ගෙන ගමන් කරන බස් රියක පවා භික්ෂුවක් සමග එක අසුනක වාඩි වන්නට අවසර නොලබන පසුබිමක ඔවුහු අදටත් පිටස්තර භික්ෂූන් ළඟ දණින් වැටී පයට පෑගෙන්නට තම වරලස උනති. අනතුරුව හිජාබය , බුර්කාව උපහාසයට ලක් කරමින් බුදුදහමේ එන චින්තන නිදහසක් ගැන උදම් අනති.

ජීවිත කාලය පුරාවට බත් පිසුවද ඇඟිලි පුරුක් දෙකෙන් මැන මිසක බතට වතුර තබන්නට නොදන්නා බැවින් බුද්ධකාලීන භාරතයේ බමුණන් විසින් කාන්තාව හැඳින්වූයේ" ද්වංගුල පඥ්ඥා" හෙවත් දෑඟුල් නුවණැත්‍තී ලෙසිනි. බුදුන් වහන්සේ සිවුවණක් පිරිසට භික්ෂුණී සහ උපාසිකා යන සංකල්පයන් ඇතුළත් කර සමග ඒ මතය බිඳ දමා කාන්තාවන් සඳහා ගෞරවාන්විත හැඳින්වීමක් ලබා දුන්හ.

එවන් බමුණුමතධාරී භාරතීය සම්භවයක් සහිතව උපත ලද කල්පනා චෞලා 2003 වසරේදී මියයන්නේ අභ්‍යවකාශ තරණයක් අවසානයේදීය. කොලොම්බියා යානය පෘථිවියට පිවිසෙන විට සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට වන විට ඇය දින දහසයක් සක්‌වල තරණයේ යෙදී සිටියාය.

අභ්‍යවකාශ තරණය කරන්නට ගිය භාරතයේ කල්පනා මියැදී වසර පහළොවක් ගෙවෙද්දී අසල්වැසි ලංකාවේ කාන්තාවන් පිටස්තර පැවිද්දන්නට පාගන්නට තමාගේ හිසකෙස් විසුරුවාගෙන පශ්චාත් භාගය අභ්‍යවකාශයට දිගු කර සිටිති.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. Its a reminder for us to see where are we standing.
    No matter how we educated our society ,they still listen to monks who doesn't have a clue about the world..
    I don't blame them.. monks have to survive by making others to donate them. I blame the society who believe these stupid monks..
    Buddhism is totally different teaching while some our monks take it to extreme materialistic end..
    What can we say.. be a women after all... World is going forward with changing while we are so scared of changes..and still direct our young genaratgen to the same path.

    ReplyDelete
  2. නිර්භය ලියමනට මගේ උපහාරය++++++++++++++

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete