නූතන සිංහල කවිය තුළ වඩාත් කතාබහට ලක්වන , එනුමුදු නිහඬ වතක් අනුගමනය කරන කවියෙක් ලෙස හැඳින්විය හැකි නන්දන වීරසිංහයන් තම එකොළොස් වැනි කාව්‍ය කෘතිය "ක්ෂණ නියාම" නමින් මෑතකදී එළි දැක්වීය. මුල් කාලීනව වාමාංශික දේශපාලන ව්‍යාපාර වල නොමද ආකර්ෂණයට ලක් වූ කවියෙක් ලෙස හැඳින්විය හැකි නන්දන අද වන විට ඒ රාමුවෙන් මිදී කාව්‍යකරණයේ විවිධ රීතීන් සහ නැවුම් ඉසව් හදාරන්නෙකු බව ඔහුගේ නිර්මාණ තුළින් තහවුරු වේ. ඇමරිකානු හයිකු කවිය වැනි කාව්‍ය ප්‍රභේද පිළිබඳවද නැඹුරුතාවක් දක්වන , බුන්කා ත්‍යාගයෙන්ද පස් වතාවක්ම රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලද නන්දන වීරසිංහ සමකාලීන ප්‍රබලයන් වන ආරියවංශ රණවීරයන්ට සහ රත්න ශ්‍රී විජේසිංහයන්ට වඩා වෙනස් බස් වහරකට රුචියක් දක්වයි. ඉරිදා ලක්බිම ඔහු සමග සාකච්ඡා කරන්නේ නන්දනගේ තිස් හතර වසරක කාව්‍යකරණය හා බැඳුණු නන්දනීය මතක සටහන් පිළිබඳවය.
#. මුලින්ම නන්දන වීරසිංහ නම් කවියා බිහිවන පසුබිම ගැන කතා කරමුද ?
ගාලු දිස්ත්‍රික්කයේ , ගාලු ගඟබඩපත්තුවේ මාපලගම කියන ගමේ තමයි අවුරුදු දහයක් වෙනකම් බාල විය ගෙවුණේ. අපේ අම්මගේ ගම ඊට ටිකක් ආසන්නව තිබුණ හිනිදුම. මේ ගම් දෙකම එකම ආකාරයේ , ඒ කියන්නේ ස්වභාවික සම්පත් , කඳුවැටි වන ගහණ පිරුණු ගම්මාන. ඒ අතරින් ගිං ගඟ ගලා යනවා.මම අවුරුදු හයක් විතර ගමේ ඉස්කෝලෙට ගියා. මාපලගම මහා විද්‍යාලය. ඒ අතරේ අපේ මාමා කෙනෙක් යෝජනා කළා නුවර නතර වෙලා ඉගෙන ගන්න කියලා. ඉතිං මම හය ශ්‍රේණියෙන් පස්සේ නුවරට යනවා. එහෙදි පාසල් තුනකට විතර ගිහිං පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයෙන් උසස්පෙළ කරනවා.
#. ඔබ කන්ද උඩරටින් නැවතත් ගාල්ලට එන්නේ ඇයි ?
මම ගාල්ලට එන්නේ "ගිං ගඟ ජල ගැලීම් රක්ෂණ ව්‍යාපාරයේ" වැඩ පරිපාලකවරයෙක් විදියට. එතනදි ලබපු විශාල අත්දැකීම් වලින් සමහර ඊවා "ගිං ගඟේ විලාපය" පොතේ කවි වලටත් පාදක වෙලා තියෙනවා. මගේ තාත්තා ඉඩම් හිමි වැවිලි කරුවෙක්. මගේ තාරුණ්‍යයට එනකොට තාත්තා සතු දේපොළ සම්පත් සියල්ලම අහිමි වෙනවා. ක්‍රමානුකූලව පිරිහෙනවා.ඒ අත්දැකීම තමයි "කිරි සුවඳැති රාත්‍රිය" පොතේ "වලව්වට වැසි ඇවිත්" කියන කවියේ තියෙන්නේ. ඒක උසස්පෙළට නියමිත කවියක් විදියට මේ අවුරුද්ද දක්වා තියෙනවා. සමහරු මගෙන් ඇහුවා ඇයි ව්‍යාපාරිකයෙක් වෙලා තාත්තාට අහිමි වුණ ධනය , දේපොළ ගොඩනගාගන්නේ නැත්තෙ කියලා. ඒත් මම මුලින් දුටුවේ වන ගහණය, ස්වභාවික සුන්දර අහස, ඉර නැගීම - බැසීම, කඳු වගේ සාධක. අම්මගේ මග පෙන්වීමත් සමග මම වැඩුණේ එවා එක්ක. ඉතිං මට ව්‍යාපාරිකයෙක් වෙලා ජීවිතය ක්ෂණිකව හැරවුම් ලක්ෂ්‍යකට ගන්න එක අමාරුයි.
#. කඳු ගැන කතා කරනකොට ඇසිය යුතුම ප්‍රශ්නයක්. ඔබේ බොහෝ කවි වල කඳු ගැන සඳහන් වෙනවා නේද ?
ඇත්ත. මට පොඩි කාලේ ඉඳන් කඳු ගැන නොතිත් කුතුහලයක් තිබුණා. මම අම්මාගෙන් නිතරම විමතියෙන් ප්‍රශ්න කරනවා. ඒ කාලේ අපේ ගෙදරට ඈතින් මිටි කන්දක් පේනවා. මට හොඳටම මතකයි මම ඒ කාලේ අහනවා" ඒ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ මොකක්ද තියෙන්නේ ?" කියලා. එතකොට අම්මා කියනවා " ඈත නගරයක පහන් එළි පේනවා.අහස පෑදුණු දවස් වලට ඒ නගරයේ මුහුදු සීමාව ඇසුරේ තියෙන කොටු පවුරක් මතුවෙනවා. ඒ කොටු පවුරේ පහන් ටැඹක් , පැරණි ඔරලෝසු කණුවක් තියෙනවා" ඉතින් අපි යොවුන් කාලේ දි මේ මිටි කන්ද නැගලා බැලුවා. එහෙම කිසිම දෙයක් නෑ. පාළු හිස් කඳු ඉස්සරහින් නැමිලා හිටිනවා. අඩු ගාණේ ඒ මිටි කන්දේවත් පාමුල පේන්නේ නැහැ. හැබැයි මම අම්මගේ වචන වල තේරුම්ගත්තා. ඒ පරිකල්පනයෙන් ලොකු බලපෑමක් සිදු වුණා. "වැලි කතරේ වුවත් නිලන වැසි මාලා දකිම්" කියලා මම ලියන්නේ මට ඒ පරිකල්පනය ඇති කරගන්න පුළුවන් හින්දා.
#. ඔබ කලාව කෙරෙහි උත්තේජනය ලබන්නේ පවුලේ සාහිත්‍ය නැඹුරුවක් නිසාද ?
අපේ සීයා , ලුවිස් අප්පුහාමි කියන්නේ අනගාරික ධර්මපාල තුමාගේ ගෝලයෙක්. ධර්මපාල තුමා සමඟ ධර්ම ප්‍රචාරණ වැඩසටහන් වලට සහභාගි වුණු ඔහු මහාබෝධි වත්තේ පාලකයා ලෙස පත් කර තිබුණා. ධර්මපාල තුමා සමග ලිපි හුවමාරු කරගෙන තිබුණා. ආනන්ද කුමාරස්වාමිගේ "ධර්මපාල ලිපි" කෘතියේ ඔහු ගැන සඳහන් වෙනවා. ධර්මපාල තුමාගේ ධර්ම ප්‍රචාරණ රථයේත් ගිහිං තියෙනවා කියලා අපේ අම්මා කියනවා. ඇය අපේ ඒ කාලේ හැටියට හුඟක් දැන උගත් කෙනෙක්. සම්භාව්‍ය සාහිත්‍ය ,සංදේශ කාව්‍ය ගැන හොඳ දැනීමක් තිබුණා. අම්මා ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා ගේ සිසුවියක්. ඇය ජනකවි රාසියක් දැනගෙන හිටියා. ඒවා මිහිරි ලෙස ගායනා කළා. ඔන්න ඔය විදියට වෙන්න ඇති අපේ රස මනස වැඩෙන්න ඇත්තේ.
#. පාසල් කාලයේ නිර්මාණකරණය ගැන මතකය ගැන කතා කළොත්
අපේ පවුලේ අක්කලා තුන්දෙනයි - මමයි. බාලම අක්කා ජී බී සේනානායක , සිරි ගුණසිංහ ගේ පොත් පුස්තකාලෙන් ගෙනල්ලා සාලේ කනප්පුව උඩ තියලා තියෙනවා. මාර යුද්ධය , මස් ලේ නැති ඇට , පලිගැනීම පොත් දකිද්දි කියවන්න පෙළඹීමක් ඇති වුණා. මමත් සිරි ගුණසිංහ කවියා ලියපු කවි කියවලා, 'ශිෂ්ඨාචාරය ගලා බසී" කියවලා ඒ වගේ වෙනත් කවියක් ලිව්වා. මමත් කවියෙක් විය යුතුයි කියලා එල්ලයක් මට තිබුණා. පොඩි අක්කාට තිබුණේ පුදුමාකාර ලස්සන අත්අකුරු. ඉතිං පෙරැත්ත කරලා , එයාගේ වැඩපළ කරලා දීලා කොපි පොතක මගේ නිර්මාණ පිටපත් කරගන්නවා. ඒවා මුද්‍රිත අකුරු තරම් ලස්සනයි. මම පන්තියේ යාළුවන්ට ඒ කවි කියවන්න දෙනවා. පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයේ දිසානායක කියලා යාළුවෙක් "උඹ කවදා හරි ලොකු කවියෙක් වුණාම පෙන්නන්න තියාගන්නවා" ඒ කවි තියා ගත්තා. ඒ යාළුවා දැන් කොහෙද දන්නේ නැහැ. ඔහොම ලියන අතරේ 1972 දි සංචාරක මණ්ඩලයේ "සංචාරිකා " සඟරාවේ "විලාපය" නමින් මගේ කවියක් මුලින්ම පළ වුණා.
#. අද වන විට නන්දන වීරසිංහ හඳුන්වන්නේ පුවත්පත් කලාවේදියෙක් විදියට. ඔබ ගිංගඟ ව්‍යාපෘතියෙන් කෙළින්ම පුවත්පත් ලෝකයට එනවද ?
නැහැ. මම ගිංගඟ ව්‍යාපෘතියේ වැඩ කරන කාලේ පුවත්පත් වලට ලිව්වා. ඒ කාලේ එඩ්වින් ආරියදාසයන් සංස්කරණය කරපු "නවයුගය"ට ලියන මහාචාර්ය ජේ.බී. දිසානායකයන් පාඨකයින්ටත් ජන වහර ගැන ලියන්න කියලා ආරාධනා කළා. මම ඒ ගැන ලිව්ව කුඩා තීරු ලිපි කීපයක්ම පළ වුණා.78-79 කාලේ 'සිළුමිණ" පුවත්පතේ "කවි මුතුවැල්' සංස්කරණය කළේ දයාසේන ගුණසිංහ මහත්තයා. රත්න ශ්‍රී විජේසිංහ , යමුනා මාලිනී පෙරේරා , අතුල ජයදේව , නන්දසිරි හෙට්ටිආරච්චි සහ රංජිත් ආනන්ද වගේ අය ඒ කාලේ කවි ලිව්වා. දීපශිඛා පුවත්පතේ 'ඔබේ ඇසින්" කියලා පාඨක තීරුවක් තිබුණා. මම "කොපි කිරීමත් කලාවක්" වගේ පොඩි ලිපි ලියනවා. ඒවා පළ වුණාම දැනෙන සතුට! ඒ මුද්‍රිත අකුරු වල හැඩය ! මම ලිව්ව දෙයක් නේද මේ මුද්‍රණය වුණේ කියලා ඇති වුණ සොම්නස අද පුවත්පත් වල පිටු ගාණක් ලිව්වත් ලබන්න බැහැ.
ගිංගඟ ව්‍යාපෘතියෙන් පස්සේ මම එච්.ඩී ප්‍රේමසිරි මහත්තයා ප්‍රධානියා වුණු නුගේගොඩ සරසවි වර්ණ රසායනාගාරයේ රසායනාගාර සහායකයෙක් විදියට එනවා. එතකොට ලංකාවේ වර්ණ ඡායාරූප මුද්‍රණය වැඩි දියුණු වෙලා තිබුණේ නැහැ. ඒ සම්බන්ධව මට කියා දුන්න දෙන්නා තමයි අසෝක සිරිවර්ධන සහ ජනක වෙත්තසිංහ. අසෝක කියන්නේ දිනිඳු සිරිවර්ධනගේ තාත්තා. ජනක වෙත්තසිංහ කියන්නේ රෝහණ වෙත්තසිංහගේ මල්ලි. ඊට පස්සේ මම ප්‍රකාශන ක්ෂේත්‍රයේ විවිධ ආයතන වල සේවය කළා. අසූව දසකේ දි "දීපන" සහ "ඇමතුම" වගේ සඟරා සංස්කරණය කළා. අනූව දසකයේ "මාතොට" සඟරාව කළා. "දීපන"ට හෙන්රි වර්ණකුලසූරිය, "මාතොට"ට ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි , දයානන්ද රත්නායක වගේ අය ලිව්වා. අසූවේ දසකයේ අග මම ලේක් හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතට බැඳුණත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිහිං නිදහස් ලේඛකයෙක් බවට පත් වුණා.
#. ඔබේ පළමු පොත වන "ගිංගඟේ විලාපය"ට පසුවදන ලියන්න රත්න ශ්‍රී විජේසිංහ කවියාම තෝරා ගත්තේ ඇයි.
ඒ 1984 අවුරුද්ද. මට මතකයි රත්න ශ්‍රී මගේන් අහනවා ' මම මේක ලියලා හරියනවද? මේක ගුණසිංහ මහත්තයාට කියලා ලියාගන්න එපැයි" කියලා. නමුත් මම මගේ ඒ කාලේ ඉඳන්ම මිත්‍රයා වුණු රත්න ශ්‍රීටම ලියන්න බල කළා. මම අදටත් හිතනවා රත්න ශ්‍රී එදා මෙදාතුර ලිව්ව සුන්දරම පසුවදන ලිව්වේ මට කියලා.
#. භීෂණ යුගයේ බූස්ස වධ කඳවුරේ තෙල් බැම්මේ "මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු" කියන ඔබේ කවි පදය ලියා තිබූ බව පැවසෙනවා. නමුත් අද ඔබගේ මතවාදය ඊට වඩා වෙනස් නේද ?
ඔව්. මගේ ඒ කාලේ විශ්වාසයක් තිබුණා කවිය කියන්නේ සමාජයේ දේශපාලනික මුහුණිවර වෙනස් කරන්න ආදේශකයක් විදියට යොදාගන්න පුළුවන් මෙවලමක් කියලා. ඇතැම් විට ගොවි ජනපද වල අරගල අරභයා මම "හදවත් වෛරයේ බිජු උණුසුම් කරන - නිසි කල දමා ගසනට ලොහො ගුලි ලෙසින" කියලාත් ලියලා තියෙනවා මතකයි. "ගිං ගඟේ විලාපය" සහ "කිරි සුවඳැති රාත්‍රිය" ලියන කාලේ සමාජ කාර්යභාරයක් වෙනුවෙන් කවිය පෙනී සිටිය යුතුයි කියන මතයේ මම හිටියා. ඒත් පසුකාලෙක තමයි මේ මතය හරිද කියන විමසුමට ආවේ. "සත්‍යකාම නම් වෙමි " ලියනකොට ඒ මතය වෙනස් වෙමින් යනවා.
#. ඔබගේ දෙවැනි පොතෙන් පසුව ඔබගේ කවිය හයිකු සහ බුදු දහම ආශ්‍රිත වෙනසකට භාජනය වුණා කියලා යෝජනා කළොත් ඔබ එකඟ ද ?
ඒක ඉතාමත් නිවැරදියි. මගේ කියවීම් සහ හැදෑරීම් වලින් ලබාගත් සාරයක් තියෙනවා නම් , ඒ සාරයෙන් දැල්වෙන කණිකාවක් තියෙනවා නම් , එලෙස ඇතුළු නුවණක් ලෙස මට දැනුණු යමක් කාව්‍යොචිතව ප්‍රකාශ වෙනවා. ඇත්තෙන්ම ථෙරවාද සහ මහායාන් බුදු දහමේ ඇතැම් සංකල්ප සහ වගෙම සෙන් සහ තාඕ දහමේ මූලික සංකල්ප මට ලෝකය දිහා බලන්න විශාල කවුළුවක් විවර කළා. සම්භාව්‍ය දර්ශනය ඇසුරු කරනවාට වඩා ආලෝකයක් ඒ තුළින් ලැබුණා. විවිධ පාර්ශ්වයන්ට බෙදා දක්වන මේ ලෝකය විවිධ පාර්ශ්වයන්ගේ තනි සමස්තයක් විදියට දකින්න අනුබල ලැබුණා. ජීවිතය පිළිබඳ ආපසු හැරී බලන්න , ආධ්‍යාත්මය දිහා පුළුල්ව බලන්න ඇසක් ලබා දුන්නා. මම කියන්නේ නෑ ඒ සියල්ල පරමයන් කියලා. නමුත් තාඕ දහම වගේ දෙවල් තුළ මිනිසා මෙතෙක් ඇති කරලා තියෙන ආධ්‍යාත්මික මාර්ගයේ ඉතාම උච්ඡ අවස්ථා පෙන්නුම් කරනවා .
#. ඔබගේ කාව්‍ය මාර්ගයේ වෙනස්කමත් එක්ක ඔබගේ මුල්කාලීන කෘති දිහා හැරිලා බලනකොට පසුතැවීමක් වැනි යමක් දැනෙනවද ?
පසුතැවීමක් වශයෙන් එන්නේ කාව්‍යොචිත ව්‍යවහාරයේ තිබෙන අඩු පාඩු ගැන මිසක් අන්තර්ගතය දේවල් ගැන නෙමෙයි. ඒවා ඒ කාලයේ ලියැවෙන්න තිබුණ දේවල්. හේතුඵල සම්බන්ධයෙන් අනුව ගත්තත් ඒ විෂය මූලික , මනෝ මූලික තත්ත්වයන් සහ කවිය ලියැවෙන්න සාධක තිබුණා. මම අමතක කළේ මොනවද , මගෙන් මග හැරුණේ මොනවද කියන ස්වයං විචාරයක් තිබුණ නිසා සාපේක්ෂව පරිපූර්ණත්වයට ළඟා වෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.
ඉරිදා ලක්බිම | මංජුසාව | 2018 ජූලි 22
සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ
http://e-paper.lakbima.lk/2018/July/last_22_07_18/manjusawa.pdf
0 comments:
Post a Comment