තිස්ස ගුණවර්ධන : පාසැල් වේදිකාවේ දුයිෂෙන්


චිත්‍ර විෂයය භාර ආචාර්යවරයා ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාල භූමියට ඇතුළු වූ තරුණයෙක් දසක ගණනකට පසුව වියපත්ව ඊයේ දිනයේ දැයෙන් සමුගෙන යන්නේ වේල්ස් කුමර ඉතිහාසයට ඈඳුණු පුරාවෘත්තයක් ලෙසිනි . හෙතෙම තිස්ස ගුණවර්ධන නම් විය.
සිතුවම් අඳින, මූර්ති ද කැටයම් ද නෙළන චිත්‍ර ගුරුවරයා ඊට අමතරව පාසලට නාට්‍ය කණඩායමක් ද හඳුන්වා දුන්නේය. ඉනික්බිති තිස්ස ගුණවර්ධනයන් ප්‍රමුඛ වේල්ස් කුමරුවෝ පාසල් නාට්‍ය ඉතිහාසය රන් අකුරෙන් ලියන්නට වූහ. 1986 වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය දිනන්නේ වේල්ස් කුමර විද්‍යාලයේ "සමනළ කන්ද" නාට්‍යය ය.
අපි තාමත් කරත්තේ
පූණු ගෙවුණු කරත්තේ 
කවුද ගොන්නු කරත්තේ 
අපියි ගොන්නු කරත්තේ

මෙම ගීතය අනූව දසකයේ මුල භාගයේ රූපවාහිනියේ නිරන්තරව අසන්නට ලැබුණේ "සමනළ කන්ද" නැවත නිෂ්පාදනය හරහාය. එම ගීතයේ රූපරාමු අතර සිටින එවකට යොවුන් ජගත් චමිල ද , කුඩා අශේන් මංජුල සහ සමන් ප්‍රනාන්දු ද ඊටත් කුඩා රුක්මාල් නිරෝෂ් ද හරහා ආදරණීය ගුරු පියෙකු පිළිබඳ අතීතකාමී මතකය දිගහැරේ.
වාඩිය , මොණරවිල , මැයිමල් සාදය , යුද්ධාංකල් වැනි දිගු නාට්‍ය ද තැනූ තිස්ස ගුණවර්ධනයන් මොරටුව නගරයේ වීර පුරන් අප්පු පිළිමය ද , වේල්ස් කුමර විද්‍යාලය තුළ පිහිටි චාල්ස් හෙන්රි සොයිසා ශ්‍රීමතාණන්ගේ පිළිරුව ද නිර්මාණය කළේය. ඔහු නිමැවූ සොයිසා පිළිරුව සවි කරනු පිණිස වරාය අධිකාරියේ ද සහාය ලැබූ බවක් පවසන මතකයක් ඇත. එපමණක් නොව එකල මෙරට පැවති බොහෝ ජාත්‍යන්තර උළෙල වල සමාරම්භක උළෙල පසුතල සහ ඔලිම්පික් පහන් පුවරුව තැනුණේ තිස්ස ගුණවර්ධනයන්ගේ අධීක්ෂණයෙන් වේල්ස් කුමර බිම තුළය.
ඔහු පාසල් වේදිකාව උදෙසා සමනළ කන්ද පමණක් නොව , රන් පංචායුධය, ඇපල් වත්ත, සඳේ අංකුර , සඳේ ආවාට , ප්‍රභූන්ගේ අවන්හල , සඳ කිරණ වැනි ළමා නාට්‍ය රාසියක් නිර්මාණය කළේය. ඒවාට ගීත ලිව්වේය. සැමවිටක පසුතල සහ ඇඳුම් වස්ත්‍රාභරණ සහිත පෙර පුහුණුවීම් සඳහා වේල්ස් කුමරුවන් පෙළඹවීය.
සමනළ අත්තටු ණයට ගෙනා
කිරිකැටි අත්වල අලවනවා
ඉහළට පියඹා යන්න කියාලා
ලොකු අය කා බී හිනැහෙනවා

ඒ ඔහු "ප්‍රභූන්ගේ අවන්හල" වෙනුවෙන් ලියූ පදවැලකි. තිස්ස ගුණවර්ධනයන්ගේ නාට්‍යානුභූතීන් නිතරම නැවුම් ඉසව් ස්පර්ෂ කළේය. "සමනොළ කන්ද" කතා කළේ සතුරු බලවේග මැඩගෙන සමනොළ කන්ද මුදුනට නගින කරත්තයක් ගැන ය. "පන්සිළු වැස්ස" මූසිලගේ දෘෂ්ටිවාදය කතා කරන විට "නොබෙල් තෑග්ග" සංවාදයට ගන්නේ න්‍යෂ්ටික ශක්තිය සහ එහි භාවිතය පිළිබඳවය. අනුරපුරයේ රජවරුන්ගේ අසු කුර හඬක් ඇසෙන මානයේ සිඟමන් යදින සිව් දෙනෙක් සිටින "තුරඟ කුරහඬ"ය. ජානකීහරණය වෙනස් ඇසකින් දකින, ලංකාව අත්හැර යාම ප්‍රතික්ෂේප කරන සීතා ගැන පවසන "පහන්‍ යාගය" ය. ලෝක සාමය උදෙසා හඬ නගන "සාමයට ආරාධනා" සහ "පර්ජන්‍ය ප්‍රාසාද" ය. යුනෙස්කෝ ඇරයුමෙන් තැනෙන "ටැම් ලිපිය" ඔස්සේ දිගහැරෙන්නේ අශෝක කුළුණ යටට වී දිනපතා යුධට යන තම පුතුන් එතැයි බලා සිටින විශ්ව මාතාව පිළිබඳවය.
සමකාලීන පාසල් නාට්‍ය මී වද සහ වළස් පවුල් වලින්, හාවා සහ නරියාගේ කතා වලින් පෝෂණය වද්දී වේල්ස් කුමරුවන් මානව දයාව සහ යහපත් හෙට ලෝකයක් ගැන කතා කළහ. තිස්ස ගේ මෙම දෘෂ්ටිවාදය ළමා නාට්‍ය වලට නොගැලපේයැයි සමකාලීන විරෝධයක් පැණ නැගුණද හෙතෙම ඒවා සිනහමුසුව ඉවසා සිටියේය. අසූව දසකය අග භාගයෙක සමාජවාදය නොවන මානව දයාව වෑහෙන කතා සමගින් වේදිකාගත ඔහුගේ නාට්‍යකරණයට ජේ.වී.පී හෝ චේගුරා ලේබලය ඇලවුණේ නැතිදැයි විමසූ කළ සුපුරුදු සිනා පහන් දැල්වුණි. " නෑ.. මට මතක විදියට නම් නෑ" යැයි පවසා යළිත් දීප්තිමත් දෑසින් හිනැහුණු තිස්ස ගුණවර්ධනයන් තම ප්‍රාණසමාන ගෝලයන් දෙස හැරී තමා නිවැරදිදැයි විමසා සිටියේය. ඒ සිනා පහන !!!
ඔහු සාම්ප්‍රදායික ගුරු දිවියෙන් විශ්‍රාම ලැබුවද නොකඩවාම වේල්ස් කුමර පියසට පැමිණ චිත්‍ර කාමරයට වී සිනහමුසුව දවස ගෙවීය. මානව දයාව තදින් විශ්වාස කළ මෙන්ම මැනවින් ප්‍රගුණ කළ මේ දයාබර මිනිසා විසල් මතකයක් ඉතිරි කර අප අතරින් වෙන් ව ගියේය.
ආදරණීය ගුරු පියාණෙනි;
වේල්ස් කුමරුවන් පිළිබඳ ඊර්ෂ්‍යා සිතින් මෙසේ පවසමි. ඔබ වැනි ගුරු පියෙක් ලබනට අප පින් කර තිබුණේම නැත.
ඔබ "ප්‍රභූන්ගේ අවන්හල"ට මෙසේ ලීවේය.
ගිලිහුණු මල් පෙති බිමට වැටුණු දා
සිනහව කඳුළට පෙරළෙනවා.

අප මේ අත් විඳින්නේ එමොහොතය. ඔබට සුබ ගමන් !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment