මම ලංකාවට එනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. ප්‍රමුදි ගේ අවසන් කටයුතු ඉවර වෙලා තිබ්බ නිසා ගෙදර පුරා පාළු ගතියක් තිබුණා. තමරා ඇන්ටි , ඒ කිව්වේ ප්‍රමුදිගේ අම්මා බලාපොරොත්තු කඩ වුණු ශෝකාකූල මූණෙන් බලාගෙන හිටියා. වැඩිපුර කතා කළේ නෑ. " දුවේ !" කියලා මගේ අත්දෙක මිරිකුවා විතරයි. ඒ උණුසුම් අත් දෙක අතරින් ප්‍රමුදිගේ අත් වල සීතල මට දැනුණා. මම වාඩි වෙලා ඔහේ බලාගෙන හිටියා.
ප්‍රමුදියි මායි ඉස්කෝලේ දහය වසරේ ඉඳන් යාලුවෝ. අපි ඉතිං පුරුද්දට ඉස්කෝලේ කියලා කිව්වට අපේ ආච්චි අම්මා එහෙම කොන්වන්ට් එක කියලාමයි කියන්නේ. කොහොම හරි අපි දෙන්නම එකට පාඩම් කර කර ඒ ලෙවල් කළා. ඒ ලෙවල් වලින් පස්සේ මම අක්කගේ පිහිටෙන් ඕස්ට්‍රේලියාවට ළඟා වුණා. ප්‍රමුදිව රට යවන්න තමරා ඇන්ටි කැමති වුණේ නෑ. අංකල් නැති වුණාට පස්සේ ඇන්ටිට තිබුණ ලොකුම වස්තුව ප්‍රමුදි. " බෝට්ටුවක නැගලා හරි එනවකෝ ඕයි" මම ස්කයිප් එකෙන් කියනකොට ප්‍රමුදි හිනාවෙනවා. " අපි ආවොත් නාවුරු හරි ක්‍රිස්මස් අයිලන්ඩ් වලට තමයි ඉතිං" රෑ දෙගොඩහරියේ ඇහැරීගෙන මා එක්ක කතා කරලා ඊ ළඟ දවසේ වැඩට යන්න පරක්කු වුණා කියලා ආඩපාලි මැසේජ් එව්වට ආයෙම සතියකට පස්සේ ප්‍රමුදි එනවා ස්කයිප්.
ප්‍රමුදිට ලියුකේමියා බව දැනගත්තාත් එක්කම ඔක්කොම දේවල් හරි ඉක්මණට වෙනස් වුණා. වෙනදට ස්කයිප් එකට අත වනලා යන තමරා ඇන්ටිත් පැය ගණන් මා එක්ක කතා කරන්න ගත්තා. අපේ හිනාව අඩු වුණා. ප්‍රමුදි කෝල් සෙන්ටර් එකෙන් අයින් වුණා. තමරා ඇන්ටි මහරගම ට ළඟින් පහළ තට්ටුවක ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. ප්‍රමුදි වීල් චෙයාර් එකකට කොටු වුණා. ඔය ඔක්කොම අස්සේ අපි දෙන්නගේ වයස විසි හයත් පහු වුණා. මම ඕස්ට්‍රේලියාවේදි පටන් ගත්ත හතර වෙනි සත්‍ය ප්‍රේමයටත් නැවතීමේ තිත තියලා තනිකඩව ඉන්න කාලය උදාවෙනකොට ප්‍රමුදි රෝද පුටුවකට වෙලා කොමාවක් එක්ක ජීවත් වුණා. මට එයාට කතා කරන්න වෙලාව තිබුණා.
ප්‍රමුදිගේ කාමරේ ජනේලෙන් පේන්නේ අනෙක් පැත්තේ හවුසිං ස්කීම් එක. ඉස්සර ඉඳන් එයා ඒක ගැන සජීවි විස්තර විචාර දීලා තියෙනවා. "මතකද අපි ග්‍රේඩ් ටෙන් වල දි" ප්‍රමුදි මගේ තක්කඩි වැඩක් මතක් කළා. අපි ඉස්සර රැස්වීම දවසට එහා බිල්ඩින් එකේ කොරිඩෝර් එකේ පෝලිමට ඉන්ම නංගිලාට මේ බිල්ඩින් එකේ ඉඳන් සංඥා කරනවා. කවුරුහරි බැලුවාම එයාට අතින් කියනවා පිටිපස්සේ කෙනාට කියලා. එයා බැලුවම එයාටත් පිටිපස්සේ කෙනාට. ඕක ඉතිං අහු වෙනකං ඉවරයක් වෙන්නේ නෑ. " ඔයා හිටියා නම් අපිට ඒක කරන්න තිබ්බා" ප්‍රමුදි ඒක මතක් කළේ ඒ ස්කීම් එකේ ඉන්න ජනගහණය ගැන කියලා. වෙන එකක් තියා එහෙ අය වේලෙන්න වනන රෙදි ප්‍රමුදිලගේ වත්‍තටත් වැටෙන බව මම දැනං උන්නා.
අපේ කතා අස්සට "එයා " ආවේ ඔන්න ඔය අස්සේ. ඒ ප්‍රමුදිගේ බේත් සැර කාලේ නිසා දවසෙන් වැඩි වෙලාවක් නිදි. හවසට නැගිටලා වීල් චෙයාර් එකෙන් බලනකොට "එයා" ස්කීම් එකේ බැල්කනියක ඉන්නවා මුලින්ම දැක්ක දවසේ ප්‍රමුදි ඒ ගැන මට කිව්වේ නැහැ. ඒත් "එයා" බැල්කනි එකේ ඉඳං හිනාවෙවී බලන් ඉන්න බව ප්‍රමුදි මා එක්ක හොරෙන් වගේ කිව්වා. උදේ හවස වැඩට යන තරුණ කෙනෙක්. " ටිකක් පුබුදු චතුරංග වගේ" කියලා ප්‍රමුදි කිව්වට ලංකාවේ නාට්‍ය නොබලන මට එහෙම නළුවෙක් මතක තිබුණේ නෑ. මම ඉතිං ගූගල් කරලා බැලුවා. ඔය කියන විදියට චීස් බෝලයක් වගේ "එයා" ඔය ගෙදරට ආපු නේවාසිකයෙක් වෙන්න ඕනේ බවත් ඒ ගෙදර ඉන්න දරු පවුල එයාලගේ නෑයෙක් වෙන්න ඇති බවත් අපි අනුමාන කළා. සමහර දවස් වලට "එයා" ප්‍රමුදිගේ කාමරය දිහා හුඟක් වෙලා බලා ඉන්නවා. " මං හිතන්නේ එයා හවසට ජිම් යනවා" එක පාරක් ප්‍රමුදි චැට් එකේ එහෙම කියලා තිබුණා. එයාගේ මොබයිල් නම්බර් එක හොයමු කියලා මම කිව්වාම ප්‍රමුදි එපා කියලා මට ස්කයිප් එකෙන් වැන්දේ නැති ටික විතරයි. ඒ වෙනකොට ප්‍රමුදිගේ බෙහෙත් වල සැරට මූණ අත පය දිරලා තිබුණේ. කොණ්ඩේ ගැන නම් මම මතක් කරන්නෙම නෑ. අන්‍තිමේ මම එකඟ වුණා මම ලංකාවට එනකං නමක් නොදන්න මනුස්සයාගේ නොම්මරය හොයන තරම් දුරට යන්න ඕනෙ නැ කියලා. "නිකං කතා කරන්න ආසයි. එච්චරයි අනේ" ප්‍රමුදි අමාරුවෙන් වගේ කිව්වා. මම එයාට , නම නොදත් තරුණයාට දෙන්න පර්ෆියුම් එකක් මෙහෙන් එවන්නම් කියලා කිව්වා. "ඉසමියාකේ හොඳද ?" කිව්වම මට ඕ කේ කියලා රිප්ලයි එකක් ආවා. පර්ෆියුම් එක දෙන විදියක් ගැන නම් කතා කරගන්න වුණේ නැහැ. බළලාගේ කරේ ගෙජ්ජිය බඳින්න මීයෙක් කෝ ?
ඒත් මට පර්ෆියුම් එක එවන්න කාලයක් වුණේ නෑ. දවසක් උදේ පාන්දරම ඇන්ටි කෝල් කරලා කිව්වා ප්‍රමුදිට නිවුමෝනියාව නිසා ඉස්පිරිතාලේ නවත්තපු බව. ඒ දවස් වල එයාට හෙම්බිරිස්සාව තිබුණා. මට එක්සෑම් තිබුණා. අන්තිමට දවස් තුනක් ඇතුළත ප්‍රමුදි සටන අත ඇරියා. එක කෝල් එකකින් මගේ ජීවිතේ මෙතුවක් අහපු කණගාටුදායකම පණිවුඩය ඇහුණා. කොහොමත් ලංකාවට යන්න හිටිය මට කලින් යන්න අක්කගෙන් අවසරය සහ උදව් ලැබුණා. ෆ්ලයිට් එකේදි මය නින්ද ගියේ නැහැ. ඒ නිසා හෑන්ඩ් ලැගේජ් දාගෙන ආපු " වස්සාන සිහිනය" පොත කියවන්න ගත්තා. ඒක මට රට එනකොට ප්‍රමුදි තෑගි දුන්න පොත් වලින් එකක්. ඒ තියෙන්නේ ප්‍රමුදි ගැනද ? මම ආපහු එකම පිටුවක ගල් වෙලා බලාගෙන හිටියා. "චාපා ගංගාදරී අබේනායක පෙරදා රාත්‍රියේ සොම්නසින් යුතුව ජීවිතයෙන් සමු ගත්තීය. මරණය අප රිදවමින්, පෙළමින්, හඬවමින් සුසානයේ සිට අත වනයි" මට ඉකි ගැහිලා ඇඬුණා. එයාර් හොස්ටර් කෙනෙක් විමසුම් සහගත බැල්මෙන් මා දිහාට පියාඹගෙන වගේ ආවා.
" ටොක් .. ටොක් " මම දොරට තට්ටු කළා. තමරා ඇන්ටිගෙන් සමු අරගෙන මම මහගෙදර යන්නේ නැතිව ආවේ අනික් පැත්තේ හවුසිං ස්කීම් එකට. "එයාව" බලන්න. ප්‍රමුදි නැති බව දැනගෙනත් මම ඩියුටි ෆ්‍රී එකෙන් ඉසමියාකේ පර්ෆියුම් එකක් අරගෙන ආවේ. දොර විවර වුණා. එයා මං හිතිං මවාගෙන හිටිය එයාම තමයි. නළලේ රැළි මවාගෙන මගේ කතාව අහගෙන හිටිය එයා තමන්ගේ නම මධුශංක බව කියනකොට මගේ ඇස්වල කඳුළු නවත්තගන්න බැරි වුණා. මධුශංකගේ ගම කටුගස්තොට ලු. මහරගමට ට්‍රාන්සර් එකක් ආපු නිසා අක්කගේ ගෙදර නැවතිලා වැඩට යනවලු. මගේ කතාව මධුශංකට කියලා ඉවර වුණාට පස්සේ එයා මට බැල්කනියට අඬ ගැහුවා. එතන ඉඳන් අත දික් කරලා මට ප්‍රමුදිගේ කාමරේ ජනේලේ පෙන්නුවා. " අර කාමරේද ?" කියලා අහනකොට මම "ඔව්" කිව්වා. " අනේ සොරි. මම දැකලා තියෙනවා ලාවට කවුරු හරි ඉන්න බවක්. ඒත් ඇත්තටම මම දැනං හිටියේ නෑ එහෙම ළමයෙක් හිටියා කියලා. පව් " මධුශංක හරිම ආචාරශීලීව කිව්වා. ඇත්‍තටම එතනින් බලනකොට ප්‍රමුදිගේ කාමරේ හරියට පේන්නේ නැහැ තමයි. අනික් එක අසනීප නිසා ජනේල් වීදුරුත් වහලානේ. " මම හිනා වුණේ එහා කාමරේ දිහා බලාගෙන" මධුශංක ඇනෙක්ස් එකේ ප්‍රමුදිගේ ජනේලෙට එහා ජනේලය පෙන්නුවා. ඒක අයිති අනෙක් ගෙදරට. ඒකේ ජනේල් ඇරලා. " ඒ කාමරේ පොඩි එකෙක් ඉන්නවා. මම ඒ බබා දිහා බලා ඉන්න බව ඒ ගෙදර අයත් දන්නවා" කියලා කතාව නවත්තන්නේ නැතිව තවත් කොටසක් එකතු කළා. " මගේ බබාට තාම අවුරුදු එක හමාරයි. මම කැමැත්‍තෙන් නෙමෙයි බබාව දාලා මෙහේ ඇවිත් ඉන්නේ " කියපු මධුශංක ලොකු හුස්මක් හෙළලා ආයෙම හිනා වුණා. ප්‍රමුදි කිව්ව ඒ හිනාව.
ඒ මමයි ප්‍රමුදියි කතා කරපු එයාම නොවුණත් එයාම තමයි කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වුණත් මම ඉසමියාකේ බෝතලේ මධුශංකට දුන්නා. දුන්නා නෙමේ - බලෙන් ඇඟේ ගැහුවා. කොහොමත් අපි ඒක ගත්‍තේ එයාට නේ.
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment