ඊයේ උණ විකාරේ කියලා බැලුවේ නෑ. යශෝදරා ෆිල්ම් එක බලන්න ගියා. ෆිල්ම් එක බලන ගමං කන්න හෝල් එකේ කැන්ටිමෙන්ම විළඳ අහුරක් ගත්තා. මී පිඩු තිබ්බේ නෑ. ඉතිං පෙප්සි එකක් ගත්තා. මම වාඩි වෙනකොටත් ෆිල්ම් එක පටන් අරගෙන.
අනේ අර විචාර වල තිබ්බ දේ ඇත්ත. ඉන්දීය නිළියෝ නිසා ද කොහෙද හරිම සුදු පාටයි. අනික් එක වන ගුල්ම , ලැහැබ් ,එහෙම හරි ලස්සනට පෙනුණා. ඖදාර්යය, කෘතහස්ත , අජරාමර වගේ වචන වලින් විචාරයක් ලිව්වට පාඩු නෑ ඒ කැළෑවේ දර්ශන වලට. සිනමාත්මකයි වගේම නිසි කැමරා කෝණ පෙනුණා.
එක පාරට සතෙක් කෑ ගහනවා වගේ ඇහුණා. කන්ථක අශ්වයාගේ ප්‍රවේශය හරිම ලස්සනට ගන්න හදනවා. ගමේ වෙස්සන්තරේ පෙන්නනකොට ජූජක බමුණා ඇදගෙන යන්න කලින්ම, ජාලිය - ක්‍රිෂ්ණජිනා ව දකින දකින සැරේට උපාසකම්මලා අඬන්න ගන්නවා. ඒ තමන් කතාව දන්න බව අනික් අයට පෙන්නන්නනේ.
ඉතිං සතා කෑගහන සද්දේ එක්ක මම ලේන්සුවෙන් ඇස් කොණ පිහ දදා පොඩි ඉකියක් ගහ ගහ කන්ථක අස්සයාව බලන්න ලෑස්ති වුණා. තිරිසන් සතෙක් වුණත් අන්තිමට ළය පැලී මිය යනවනේ අප්පා.
බුදු අම්මෝ ! එක පාරට තිරය මැද්දෙන් ඩයනසෝර් කෙනෙක් පැනපි. මට යටිගිරියෙන් කෑ ගැහුණා. විළඳ කෝප්පේ උඩ ගිහිං මල් වැස්සක් වැස්සා. පහළ හිටි අය පෙප්සි එකෙන් ස්නානය කළා.
ඉදකිං විතරක්. මම ඇවිල්ලා තියෙන්නේ Jurassic World පෙන්නන හෝල් එකකටනේ
Hitiya neda loku huunek?
ReplyDelete