නාලන්දාවේ සාරි - ගවුම්


කෙස් කළඹ හිස මුදුනට ගැට ගසා ගත් ලලනාව ගේට්ටුවෙන් ඇතුළට මුහුණ දැම්මාය.
" එක්ස්කියුස් මී. පේරන්ට්ස් මීටිං. ග්‍රේඩ් සික්ස් " ඇය සිනාසුණාය.
ගේට්ටුවෙන් එළිය බැලූ නාලන්දා විද්‍යාලයේ මුරකරු ලලනාව දැක කලබලයට පත් විය . ඔහු කෑ ගැසීය. " පිස්සුද මනුස්සයෝ. ඔහෙට විකාරද? "
ඒ ඇසූ ලලනාව තනිවම මුමුණන්නට විය. "මනුස්සයෝ ? ඒ වචනේ ගැන අරකේ කිව්වේ නෑනේ.. සාරි නම් අම්මා - ගවුම් නම් අක්කා.. " ඇය ලේන්සුවෙන් දාඩිය පිස දැම්මාය. "මනුස්සයෝ කියන්නේ මෙහෙම එනකොට වෙන්න ඇති එක්කො" ඇය සතුටට පත් වූවාය.
"අනේ වොචර්. මට ඇතුළට යන්න දෙන්න. ප්ලීස්. දැනටමත් ලේට්" ඇය කාරුණිකව ඉල්ලා සිටියාය. නමුත් මුරකරු කෝපයෙන් කෑගසයි. "නෝනා මෙතනින් යනවද ? පොලිසියට කතාකරන්නද ? මේක පිරිමි ළමයි ඉන්න ඉස්කෝලයක්" ඔහු දාඩිය පිස දැමුවේය. "යකෝ මුංට විලි සංගේ නෑනේ. මේවා ඇඳං පාරේ ආවනේ " ඔහු තනිවම දෙස් දෙවොල් තබන්නට විය.
"ඉඳා ! පාරේ නැතිව ඉතිං පුංචි බොරැල්ලට මූද දිගේ එන්නයැ අනේ ?" ලලනාව හිස ගස්සා අමනාපය පළ කළාය. "අනික වොචර් ! මොකක්ද අනේ මේ ඇඳුමේ වැරැද්ද ? " ඇය තම සාරිපොට විහිදාලූවේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසිනි. " එයිට් තවුසන්ඩ් ගියා මේ සාරි එකට. ඔයාට කියන්න ... අස්ලම් මාර්කට් එකේ පැය ගාණක් ඇවිදලා මේ පීකොක් බ්ලූ කලර් එක තෝර ගත්තේ. රන්ජනාස් එකේ සාරි වලට මම කැමති නෑ අනේ.. " එසේ පැවසූ ලලනාව එක්වරම මාතෘකාවට පිවිසුණාය.
" ඉතිං වොචර්. මම සාරියක් ඇඳලා නේ ඉන්නේ. ඔන්න ඔයාට බෑ මට අක්කා කියන්න. මම අම්මා. " ඇය සුරතල් ලෙස අත්පුඩි තැලුවාය. " කෝ .. කියන්න බලන්න අම්මා කියලා. .. අම්.. මා .." ලලනාව කට උල් කළාය.
මුරකරුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. "තොට පිස්සුද ගෑණියේ ? හැට්ටයක් නැතිව බ්‍රෙෂියර් එකකට උඩින් සාරියක් ඇඳං මේ ඉස්කෝලෙට රිංගන්න යන්නේ ? " ඔහු අඩි පොළවේ හැප්පීය. ලලනාව ඒ රුදුරු විලාසය දැක බියට පත් විය.
" ඉතිං වොචර් ... ඔයා ගවුම් අඳින අයට අක්කා කියලා හරවලා යවනවා කියලා අර ඩොක්ටර් පාදෙණිය කිව්වනේ. මම වෙනදට සාරි අඳින්නේ නෑ. මා ළඟ සාරිත් නෑ. ඩොක්ටර් හැට්ටයක් ගැන කිව්වේ නෑනේ මෙයා" ඇය කොඳුරන්නට විය.
සාරියක් අඳිනවා නම් හැට්ටයක් ද ඇඳිය යුතු බව මුරකරුවා පැවසුවේ සුද්ධ සිංහල වචන කීපයක්ද සමගිනි. ඒ අසා ලලනාව විමතියට පත් වූවාය.
"ඉතිං වොචර්. ඔයා මාර කතා නේ කියන්නේ. ඔයා හිතුවද මම ලෝබ කමට හැට්ටයක් මැහුවේ නෑ කියලද ? නොන්සන්ස්. මම හැට්ටයක් මහන්න දුන්නා. දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ මිස් බර්තොලමියුස් ගේ ෂොප් එකට. ඕනේ නම් කෝල් කරලා අහලා බලන්න"
ඇගේ කතාව අසා සිටි මුරකරු නැවතත් කෝපයෙන් ඇඟට කඩා පැන්නේය. " හැට්ටේ එහෙ මහන්න දීලා හෙලුවෙන් ඇවිල්ලා හරියනවද ගෑනියේ"
ලලනාව ද කෝපයට පත් විය " මේ වොචර්. ඔයා මට අම්මා කියලා කතා කරන්න ඕනේ හරිද ? මම ඩොක්ටර් පාදෙණිය ගේ ලෙක්චර් එක අහලයි මේ කතා කරන්නේ. සාරිය නම් අම්මා. ගවුම නම් අක්කා. ඔයා එහෙමලු කතා කරන්නේ. මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්" ඇය හති දමන්නට වූවාය. " මම ඩොක්ටර් කීවා වගේම ඉන්දියන් නාට්‍ය බලන්නේත් නෑ. අපි පොඩි කාලේ ඉඳන් ටී වී එකේ බැලුවේ බේවොච්. ඕ කේ ?"
හැට්ටයක් නොමැතිව සාරියක් හැඳි පමණින් පාසලක් ඇතුළට යා නොහැකි බව මුරකරු දිවුරුවේය.
" යූ ලිස්ට්න් ඉඩියට්" ලලනාව කෝපයෙන් කෑ ගැසුවාය. "ඊයේ හවස මම හැට්ටේ ගන්න යනකොට ටේලර්ස් ලා ස්ට්‍රයික් ලු. ඉන්ස්ටන්ට් සාරි ජැකට් කෝස් එක කරපු ටේලර් කෙනෙක් ව වැඩට ගත්තා කියලා පරණ අය ස්ට්‍රයික්. " ඇය ඇඟිල්ල ලෙලවා අවධාරණය කළාය. " ඉතිං වොචර් කියන්නේ මට හැට්ටේ මහගන්න කියලද ? "
"මේ නෝනා ! ඔහෙට පිස්සුද ?" මුරකරු විමතියෙන් විමසීය. "ටේලර් ලා ස්ට්‍රයික් කියලා නේ රටේ මිනිස්සු හෙළුවෙන් ඉන්නවද ? "
ලලනාව කම්මුලේ අත ගසා ගත්තාය. " නෑ. මොකද ටේලර් ලා ස්ට්‍රයික් කළේ අපේ ඇඳුම් වලට විතරයි. එයාලා ළමයින්ගේ ස්කූල් යුනිෆෝම් මහන එක නැවැත්තුවේ නෑ. ඒක එයාලාගේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ලු. ළමයි අපහසුතාවට පත් කරන්නේ නැහැලු. "
"ඉතිං වදේ ඒකට ඔහේ බාගෙට හෙලුවෙන් ඉස්කෝලෙටඇවිල්ලා හරියනවද ?" මුරකරු තමාගේ හිසකෙස් දෑතින් අදිමින් විලාප තැබුවේය. " මටත් පිස්සු හැදෙනවා දෙයියනේ"
" ඔව් ! ඔහෙට පිස්සු තමයි" ලලනාව සංසුන්ව පැවසීය. " අරහේ ඩොක්ටර් පාදෙණිය කියනවා නාලන්දේ වොචර් ගවුම් ඇඳන් එන ලේඩිස් ලාට අක්කේ කියලා හරවනවලු - සාරිම ඇඳං යන්න කියලා. මම සාරියක් ඇඳං එන්න හිටියාම හැට්‍ටයක් නෑ ස්ට්‍රයික් නිසා"
ඇය බෑගයෙන් විජිනිපතක් ගෙන පවන් සලන්නට වූවාය. " මේ රටේ ටේලර්ස් ලා ඇරෙන්න වෙන කවුරුත් ස්ට්‍රයික් කරන්නේ නැද්ද ? හා කියන්න ! " ඇය ගේට්ටුව සොලවමින් පැවසුවාය. " මිනිහෙක්ට අසනීපයක් හැදුණාම බේතක් හේතක් ගන්න තියෙන ඉස්පිරිතාල වල ස්ට්‍රයික් මෙහෙයවන එක සාධාරණයි කියන ඩොක්ටර් පාදෙණිය වුණත් මං කියන එක පිළිගන්නවා. අයෑම් ප්‍රිටි ශුවර්" එසේ පැවසූ ලලනාව ගේට්ටුව තල්ලු කළාය.
" සාරියනේ අඳින්න කිව්වේ. හැට්ටේ ඇන්දේ නෑ කියලා කවුරුවත් මැරෙන්නේ නෑ ඕයි" ඇය ගුගුළාය " ඇරපං මේ ගේට්ටුව"
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment