වැඩිහිටි පාලනයකින් තොර හුදෙකලා යෞවන දූපත


ශ්‍රීමත් විලියම් ගෝල්ඩිං විසින් රචිත Lord of the Flies කෘතියෙහි කියැවෙන්නේ යුධ සමයෙක පාලු දූපතකට කඩා වැටෙන බ්‍රිතාන්‍ය පාසල් සිසුන් කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් පිළිබඳ ය. අනතුරෙන් නියමුවා මිය ගියද සිසුන් සියල්ලම තම දිවි බේරාගන්නේ වැඩිහිටියෙක් තොර දූපතක හුදෙකලා වෙමිනි. ආරම්භයේ එකිනෙකා සහයෝගයෙන් වැඩ රාජකාරි බෙදා හදාගෙන තම පැවැත්ම සුරක්ෂිත කරගන්නා යොවුන් දරුවන් කල් ගතවත්ම නායකත්වයේ සහ පාලන බලයේ වියරුවෙන් එකිනෙකා හා සටන් වදින්නට ගනී. සිසුන් දෙදෙනෙක් ඝාතනය වන අතර කඳු මුදුනේ සිට පහළට ගල් පෙරළමින්; කුසගිනි නිවන පළතුරු ගස් සහිත කැළෑව ගිනිතබමින් පවා විරුද්ධවාදියා නැසීමට තරම් ඔවුන් සැහැසි වූහ.
අවසානයේ තමා හඹා එන අනෙක් වියරු යෞවනයින්ගෙන් බේරීමට දිවවුත් වෙරළේ පැකිලී වැටෙන රැල්ෆ් දකින්නේ නාවුක භට කණ්ඩායමක් ගොඩ බැස තමා දෙස බලා සිටින බවය. ඔවුන් මේ කැළෑව ගිනි තබමින් ම්ලේච්ඡ වෙස් ගෙන එකිනෙකා හඹා යන ළමුන් සෙල්ලමක් කරන්නේ යැයි සිතති. බ්‍රිතාන්‍ය ළමුන් පිරිසක් නිසා සියලු දෙනාම මීට වඩා වැදගත් ආකාරයට හැසිරෙතැයි සිතූ බව නාවුක නිළධාරියා පැවසූ විට තම සමවයස් පිළිමළුන්ගෙන් දිවි බේරාගත් රැල්ෆ් මෙසේ පවසයි.
" අපි එකට තමයි හිටියේ .. පස්සේ"
නාවුක නිළධාරියා ඊට බාධා කරමින් තම උපකල්පනය ළමයා මත ආරෝපණය කළේය.
" මට තේරෙනවා. සාමූහික වැඩ. හරියට කොරල් දූපත පොතේ වගේ"
" I know. Jolly good show. Like the Coral Island"
රැල්ෆ් හඬන්නට ගනී. ඒ , නිතරම සාමය සහ සමගිය වෙනුවෙන් හඬ අවදි කළ තරබාරු , ඇදුම රෝගී මිතුරා පිගී සිහි වූ නිසාය. පිගීව ගල් කුලකින් පහළට තල්ලු කර මරා දමනු ලැබුවේ ගින්දර අවුලාගන්නට දූපතටම තිබූ එකම උපකරණය වූ ඔහුගේ උපැස් යුවළ ද පැහැර ගැනීමෙන් පසුවය.
මිත්‍රවරුනි ;
ඔබ අප ජීවත්වන්නේ ද විලියම් ගෝල්ඩින් මැවූ ඒ දූපතේය. වැඩිහිටි පාලනයකින් තොර යෞවනයින් බඳු අපට දිනෙන් දින අහිමි වන සහ අහිමි කරගන්නා අගනා කම් පිළිබඳ තක්සේරුවක් නැත.
නාවුක හමුදාව වෙරළ බට සෑම මොහොතකම සාමූහිකව , කොරල් දූපත කතාවේ මෙන් සමගිව සිටි බව අප ඒත්තු ගන්වන්නෙමු.
නමුත් අප තුළ සැබෑව වෙනුවෙන් හඬ අවදි කරගත නොහැකි රැල්ෆ් ලාද , සෑම විටකම වියරුවෙන් ලේ සොයන ජැක් ලා ද සිටින බව අප දනිමු. පිගී ගේ ඉරණම ගැන පශ්චාත්තාප වන්නෙමු. නමුත් ඒ සියල්ල නොදන්නාක් මෙන් පෙනී සිටිමු.
ඔබ අප ජීවත්වන්නේ ද විලියම් ගෝල්ඩින් මැවූ ඒ වැඩිහිටි පාලනයකින් තොර යෞවනයින් වෙසෙන හුදෙකලා දූපතේය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment