උතුරේ නැතිවූ ජීවිත අමතක කරන්න තරම් නරුමවාදි වෙන්න මට බැහැ : විසාකේස චන්ද්‍රසේකරම්


සම්මානලාභී ලේඛකයෙක් , නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් , පිටපත් රචකයෙක් ලෙස ප්‍රකට විසාකේස චන්ද්‍රසේකරම් තම මුල්ම සිනමා නිර්මාණය වූ "ෆ්‍රැන්ජිපානි" හරහා නොමද රසික - විචාරක අවධානයට පත් වූ නිර්මාණකරුවෙකි. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වන "පාංශූ" තවමත් ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ තිරගත කිරීම් ආරම්භ කර නොමැත. නමුත් පසුගියදා පැවති දෙරණ සිනමා උළෙලේ දී "පාංශූ" තිරගත කළ බැවින් සීමිත ප්‍රේක්ෂකාගාරයකට එය නරඹන්නට අවස්ථාව ලැබිණ. සිනමානුරූපී බව සහ කලාත්මක අගය පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර සහ ඇගයීම් ලද "පාංශූ" හි දේශපාලනික කියවීම විචාරකයින්ගේ වැඩි අවධානයට ලක් වූ බව එහිදී දක්නට ලැබිණ. මේ "පාංශූ" පිළිබඳ විසාකේස චන්ද්‍රසේකරම් සමග ඉරිදා ලක්බිම පැවැත්වූ සාකච්ඡාවයි.

1. ඔබ මේ චිත්‍රපටයේ නම තුළින්ම කතාවක් යෝජනා කරනවා කිව්වොත් එකඟ වෙනවාද ?
ඔව්. පාංශු කියලා කියන්නේ පස් නේ. පස් යට වැළලුණු වගේම පස් යට වළලපු හුඟක් දේවල් තියෙනවා. බලනකොට "පාංශූ" කියන අර්ථය බෞද්ධ දර්ශනයේ එන අල්පේඡතාවටත් සංකේතීය නෑදෑකමක් තියෙනවා. මේ චිත්‍රපටයට තේමා වෙන්නේ 89 මර්දනය සහ 1990 ට පසු කාලීන යුගය.

2. ඔබගේ දෙවැනි චිත්‍රපටයට මෙවැනි තේමාවක් තෝරාගන්නට බලපෑ විශේෂ හේතුවක් තිබුණාද ?
මීට අවුරුදු පහළොවකට විතර කලින් මම "ගන්ධබ්බ නිම්නය" කියලා වේදිකා නාට්‍ය පිටපතක් ලිව්වා. වෙන කෙනෙක් වෙනුවෙන් ඒක ලිව්වේ. ඒක තමයි මේ පස්සේ කාලෙක චිත්‍රපටයක් කරන්න සුදුසුයි කියලා හිතලා වැඩ පටන් ගත්තේ. මම මගේ මුල්ම චිත්‍රපටය වුණු "ෆ්‍රැන්ජිපානි" කළේ සිනමාව ඇතුලේ ඒ තේමාව ගැන කවුරුත් හරියට කතා නොකළ හින්දා. "පාංශූ" නිර්මාණය කළේත් කවුරුවත් මේ ප්‍රශ්නය හරියට සාකච්ඡා නොකරපු නිසා. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ "උඩුගං යාමය" සහ "ස්මරණ සමාප්ති" කියන සිනමා නිර්මාණ දෙක ගැන. මම ලංකාවෙන් පිට ඉන්න නිසා මට ඒ කාල වලදි ඒ චිත්‍රපට බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.
දීර්ඝකාලීන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් අවශ්‍ය නම් අපිට ඉතිහාසය ගැන මීට වඩා කතිකාවක් අවශ්‍යයි. ඒ මාතෘකාවේ ඇවිස්සුණේ නැති කොටස් අවුස්සලා ගන්න එක අවශ්‍යයි. ලංකාවේ සිද්ධ වුණු සන්නද්ධ අරගල දෙක ගැන හිතන්න. දකුණේ ජ.වි.පෙ අරගලයේත් උතුරේ. එල්.ටී.ටී.ඊ අරගලයෙත් ඒ අය නිර්මාණය කළේ දේශප්‍රේමී - දේශද්‍රෝහී කියන යුග්ම කතිකාවක් විතරයි. අරගලයට පක්ෂ අය දේශප්‍රේමී - විපක්ෂ නම් දේශද්‍රෝහී. ඒත් මේ වගේ ප්‍රශ්නයක් එහෙම කළු - සුදු විදියට සරලව බෙදන්න පුළුවන් ද? 87-89 කාල සීමාව ඇතුළත දකුණේ විශාල ජන ඝාතනයක් සිද්ධ වුණා. හැට දහසක විතර මැරුණා කියලා කියනවා. ඒක සුළුපටු දෙයක් ද ? මුලින්ම කියන්න ඕනේ මේ ඝාතන වලට වගකියන්න ඕනේ පැවති රජය. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ. ඊට අමතරව සුළු පක්ෂ වලත් දායකත්වයක් තිබුණා. ඒත් මේ හැම දෙයක්ම දැක දැක අපි ඉන්නේ දේශපාලනික ඇම්නීසියාවක.

3. සමාජය දේශපාලනික ඇම්නීසියාවක එහෙමත් නැත්නම් විස්මෘතික තත්ත්වයක ඉන්නවා කියලා කියන්නේ ඇයි ?
88 - 89 කාලේ රජය දරුණු විදියට දකුණේ සන්නද්ධ අරගලය මර්දනය කළා. තරුණයෝ දහස ගණන ඝාතනය වුණා. දකුණේ අරගලය මැඩලලා ඒ මර්දනකාරී ලෙස ක්‍රියාත්මක වුණු මිලිටරි සම්පත් ම උතුර්ට ගෙනියනකොට අපේ මිනිස්සුන්ට සති දෙක තුනකට කලින් ඉතිහාසය අමතක වුණා. " උතුරු නැගෙනහිරට ගිය වීරෝදාර හමුදාවට ප්‍රණාමය" වගේ බැනර් දකුණේ පාරක් පාරක් ගානේ වැටෙන්න ගත්තා. මීට මොහොතකට කලින් දකුණේ තරුණයෝ මැරුණ හැටි අමතක කරලා උතුරේ මර්දනයට ආශිර්වාද කරපු අපි අදටත් ඒක අමතක කරපු අඳුරු තැනක සඟවලා තියෙනවා. මේ දේවල් ආයේ ආයේ මතක් කරන්න බැරි නිසාම සිංහල ජනතාව උතුරේ වුණු ජන සංහාරය ගැන කොහොමත්ම කතා කරන්නේ නැහැ.

4. "පාංශූ" චිත්‍රපටයේ බබා නෝනා තමන්ගේ මැරුණු පුතා පාවිච්චි කරපු තුවක්කුව පසුකාලීනව හොර රහසේම වැව් පතුළක හංගන දර්ශනයක් තියෙනවා. විචාරකයන් පවසන ආකාරයට් ඔබ වැවයි - දාගැබයි - ගමයි - පංසලයි සංකල්පයට අභියෝග කරන බවක් ඉන් හැඟෙනවාද ?
Secular හෙවත් අනාගමික දේශපාලන ආයතන රාමුවක් වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒත් එහෙම පෙනී සිටිය පළියට වැවයි - දාගැබයි - ගමයි - පංසලයි මත ගොඩනැගුණු ආගමික සංකල්පයකට පහර ගහන්න මට උවමනාවක් නැහැ. වැවක් කියන්නේ හුඟක් දේවල් සඟවාගෙන , ගලාගෙන යන්නේ නැතිව නිහඬව ඉන්න දෙයක්. ඒ නිහඬ වැව ඇතුළේ හැංගිලා , ගිලිලා තියෙන හැම දේම සුන්දර දේවල් කියලා කාටවත් කියන්න බැහැ. මම මතු කරන්නේ ඒ ප්‍රශ්න කිරීම. අනෙක් අතට වැවයි දාගැබයි කියන යටිතල ව්‍යුහයට ආර්ථිකමය මූල්‍යයන් තියෙනවා. අදටත් වැව කියන්නේ බොහෝ වියළි කලාපීය ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායේ ප්‍රභවය. ඉතිං මම ඒකට විකල්ප්යක් ඉදිරිපත් නොකර වැව - දාගැබ කියන සංකීර්ණ ආයතන ව්යුහයකට කොහොමද පහර ගහන්නේ ? ලංකාවේ තියෙන්නේ අන්ධානුකරණයෙන් ආගම සහ සංකල්ප වැළඳගන්න සමාජයක් බව ඇත්ත. නමුත් ග්‍රාමීය මිනිසුන්ගේ පැවැත්ම ඒකම නම් අර්ධ නාගරික අපි විකල්පයක් යෝජනා නොකර ග්‍රාමීය ජීවිතය රඳා පවතින කණු බිඳලා බිමට ඇදලා දාලා හරියනවද ? මෙච්චර කල් ලංකාවේ හැම වාමාංශික ව්‍යාපාරයකටම , සන්නද්ධ අරගලයකටම වැරදුණෙත් එතන. එයාලා පටන් ගත්තෙම ජන විඥ්ඥානය ට එකපාර පහර දීලා. ඉතිං මමත් ඒක කරන්න ගිහින් වරද්දගන්නේ මොකටද ?

5. බබා නෝනා තමන්ගේ මිය ගිය පුතා , කමල් වෙනුවෙන් පහනක් දල්වලා "ප්‍රේත ආත්මයක් ලැබිලා නම් හොඳ තැනක උපදින්න" කියලා ප්‍රාර්ථනා කරනවා. ඒම දර්ශනය හරහා ඔබ මියගිය ජ.වි.පෙ. සාමාජිකයින්ව ප්‍රේත ආත්ම මට්ටමට ඇද දැම්මා කියා දැඩි විවේචනයකට ලක් වෙනවා. ඒ පිළිබඳව අදහසක් තියෙනවද ?
මගේ ළමයා මැරුණා. ඒත් එයා මැරුණේ හුඟක් දුක් විඳලා. ඒ නිසා එයාට ප්‍රතිසන්ධියක් ලබා ගැනීම දුෂ්කරයි කියලා බබානෝනා හිතන නිසා තමයි මේ ප්‍රාර්ථනය කරන්නේ. මොකද බබානෝනා දැනගන්නවා එයාගේ පුතා පණපිටින් වළදාපු බව. ග්‍රාමීය බෞද්ධ විශ්වාසයේ දී මරණ මංචකයෙදි හුඟක් දුක් වේදනා විඳපු අයට හොඳ ප්‍රතිසන්ධියක් ලබා ගන්න අමාරුයි. ඒ වගේ අය වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න අය පිං දෙන්න , පිං පමුණුවන්න ඕනේ කියලා විශ්වාසයක් තියෙනවා. මම එතන ඒ දේ ගැන කතා කළා.
අනෙක් අතට , මෙතන දේශපාලනික කියවීමකුත් තියෙනවා. අපේ රටේ සන්නද්ධ අරගල කරපු දේශපාලන පක්ෂ අද කොතැනද ඉන්නේ ? එලොවටත් නැහැ - මෙලොවටත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න උත්සාහ කරනවා. ඒත් එයාලා ගාව නිසි ක්‍රමවේදයක් , සැලැස්මක් නැහැ. ඉතිං අර්ධ වැඩවසම් , ධනවාදී දේශපාලන කඳවුරු ඉස්සරහ මැතිවරණ වලින් පරාජය වෙනවා. අනෙක් අතට සමාජයීය පිළිගැනීම හරිම ප්‍රශ්නකාරීයි. අරගලයේ ඉන්න තුරුම ඒක ගැන බැණුම් ඇහුවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසුණාමත් "උඹලා ආයුධ අරගත්ත උං. දැං එනවද දේශපාලනේ කරන්න" කියලා ප්‍රතික්ෂේප වෙනවා.

6. මේ තේමාව තුළ සාකච්ඡාවට ලක් වෙන්නේ අඳුරු සහ කැළැල් සහිත , නමුත් මෑත යුගයේ ඉතිහාසයක් ගැන. ඔබට බාධාවකින් තොරව රූගත කිරීම් සිදු කරන්න පුළුවන් වුණා ද ?
මේක රූගත කළේ ගල්ගමුව ඇතුළේ ඉතා දුෂ්කර ගම්මානයක. 90 දසකයේ මැද භාගය , ඒ කියන්නේ අවුරුදු විස්සක් එහා අතීතය නිරූපණය කරන්න කියලා අපිට අලුතෙන් වෙනස් කරන්න දෙයක් තිබුණේ නැති තරම්. මධ්‍යම පාංතික අපි නොතේරුම් ගන්න දරිද්‍රතාවක් සහ වෙනමම සමාජ ස්ථරයක් ඒ ගම්මාන ඇතුළේ තවමත් ජීවත් වෙනවා. තේමාවට නම් ඉතිං තවම බලපෑමක් , හෝ අවුල්සහගත දෙයක් සිදු වුණේ නැහ. ඒත් මම දන්නවා. සමහරුන්ට රිදෙයි. හිතන්නකෝ උතුරේ සන්නද්ධ අරගලය ගැන. අවුරුදු දහයක් නෑ ඉවරවෙලා. ඒත් ඒක ගැන කතාකරද්දි කියන්නේම "ඒවා වෙලා ඉවරයි. ඇයි පරණ තුවාල පාරන්නේ" කියලනේ. ඉතිං 88-89 ගැන සහ පශ්චාත් සමය ගැන කතාකරන එකට මොන වගේ ප්‍රතිචාර තියෙයිද ? කෙවින් රඩ් ඕස්ට්‍රේලියාවේ අගමැති විදියට 2008 දි පාර්ලිමේන්තුවේ දීර්ඝ කතාවක් පවත්වමින් ස්වදේශික ඇබොරිජීන් ප්‍රජාවට සුදු ජාතිකයන්ගෙන් වුණු වැරදි වලට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා හිටියා. ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් වුණු දේවල් ගැන කතිකාවක් ඇති වෙලා ඒවා පිළිගත්තාම එතනින් එහා ඉස්සරහට ගමනක් යන එක ලේසියි.

7. ඔබ නිර්මාණය කරන්නේ 88-89 සන්නද්ධ අරගලය හා බැඳුණු කතා පුවතක්. චිත්‍රපටයේ පසු ශීර්ෂ පාඨ අතර උතුරේ අරගලයේ මියගිය පිරිස පිළිබඳ සඳහනක් වෙනවා. ඒ ඇයි ?
දකුණ ගැන කතා නොකරපු නිසා උතුර ගැන කතා කළේ නැහැනේ. ඉතිං දකුණ ගැන කතා කරනකොට උතුරේ දී සිදු වුණු මනුෂ්‍ය ඝාතන ගැන සඳහනක් නොකර ඉන්න තරම් , උතුරේ නැති වුණු ජීවිත අමතක කරන්න තරම් නරුමවාදී වෙන්න මට බැහැ. දකුණේත් උතුරේත් නැති වුණේ මනුෂ්‍ය ජීවිත. ඒක උතුර හෝ දකුණ කියන බෙදීම මත කිසිසේත්ම සුළුවෙන් තකන්න බැහැ.

සටහන : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව | 2018 ජූනි 03
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: