හත් පෙති මල ; ශේන්යා සහ අපි

ශේන්යා ට අරුම පුදුම හත් පෙති මලක් හම්බ වුණාට නානාප්‍රකාර වැඩ නිසා පෙති හයක්ම ඉවර වුණා. ඊට පස්සේ තමයි ශේන්යා ගේට්ටුව ළඟ වාඩි වෙලා හිටිය පිරිමි ළමයාව දැක්කේ. නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස් තිබුණ වීත්යා ගේ කකුල කොර වෙලා නිසා එයාට සෙල්ලම් කරන්න බෑ.
ඉතිං ශේන්යා අවසාන නිල් පාට මල් පෙත්ත කඩලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් මෙහෙම කියන්න ගත්තා.
''මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරටත්
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
මා කියන දේ කරදෙන්
මට වීත්යා සනීප කරන්න ඕනෑ''
අපිත් ඉතිං හත් පෙති මල අතේ තියාගෙන අර පුංචි ගෑණු ළමයා ශේන්යා වගේම එකල මෙකල වෙවී හිටියා. නපුරු බල්ලෝ කාපු පාන් වළලු ගැන , බිඳුණු මල්පෝච්චි ගැන, උතුරු කෙළවරට යන විදිය ගැන , සුදු වළස්සුන්ට බයේ ආයෙම එන විදිය ගැන වගේම ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු අයිති කරගන්න විදිය ගැන , ඒ සෙල්ලම් බඩු ආපහු සාප්පු වලට යවන විදිය ගැන හිතලාම අපේ මල් පෙති ටිකත් ඉවර වුණා.
අන්තිම නිල් පාට පෙත්ත අතේ තියාගෙන ගේට්ටුව ළඟ එනකොට අපි පරක්කු වැඩියි. නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස් තිබුණ පිරිමි ළමයාව ගේට්ටුවෙන් මෙහා ඉඳල මිසක් අපිට බලන්න යන්න බෑ. අවසාන නිල් පාට මල් පෙත්ත කඩලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් ගායනා කරන්න පරක්කු වැඩියි කියලා අපි තේරුම් ගන්නකොට නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස් තිබුණ පිරිමි ළමයා ශේන්යාට විතරක් නෙමෙයි ; කාටවත්ම අල්ලගන්න බැරි තරම් වේගෙන් දුවලා දුර ගමනක් ගිහිං ඉවරයි.
ශේන්යාට දැන් තේරෙනවා හත් පෙති මලක පෙත්තක් වුණත් වැඩක් නොවන මොහොතක් මේ ලෝකේ පවතින බව.
වීත්යා ආපහු එන්නේ නෑ. ඉතිං ශේන්යා ආපහු මල් පෙත්තේ සිංදුව කියන්නෙත් නෑ. එයා දැං වෙන සිංදු අහනවා විතරයි.
ගිනියම් ඉර, සඳ සිසිලස,
අතරේ හොයනවා හොයනවා මේ
අපි කවුරුද
ගීයකි ලොව, සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ,
අපි කවුරුද
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. That's very true... It's tooo late when we realize the truth..because we never think..we only follow..

    ReplyDelete